සැහැල්ලු මනසක් ලබාගන්නෙ මෙහෙමයි | දිනමිණ

සැහැල්ලු මනසක් ලබාගන්නෙ මෙහෙමයි

ගැඹුරු හුස්මක් නො හෙළීම නිසා, ඔබේ ශරීරය කාන්සිය වෙත නිරායාසයෙන් ම ප්‍රතිචාර දක්වයි. හුස්ම හෙළන ආකාරය වෙනස් කිරීම සඳහා කාන්සිය පාලනය කරමින්, සිත තුළ සන්සුන් බවක් වර්ධනය කිරීමට පුළුවන.

එය බැලූ බැල්මට පහසු ක්‍රියාවලියක් ලෙස සිතුණ ද, එය හොඳින් පුරුදුපුහුණු කළ යුතු වූවකි. හුස්ම හෙළීමේ ක්‍රියාවලිය පාලනය කර, කාන්සිය මඟහරවන ආකාරය ඔබගේ දිවියට අතිශයින් ම වැදගත් ය. මෙය හොඳින් පුරුදු පුහුණු වන විට, ඔබ තුළ සන්සුන් බවක් ඇති වන ආකාරය දැනෙනු ඇත. මෙසේ ක්‍රියා කරන තාක්, කිසිදු අවස්ථාවක සිත කාන්සියෙන් වෙළී යන්නේ නැත.

ඔබේ සිත තුළ නිරන්තරයෙන් සැහැල්ලුව හා සතුට රඳා පවතී.හුස්ම සමඟ ක්‍රියා කිරීම කාන්සියේ උච්ඡ අවස්ථාවට පත් වීමට පෙර, එය වැඩිවන සංඥා ඔබ හඳුනාගත යුතු ය. කාන්සියේ මෙකී වර්ධනීය අවස්ථා ඔබට වැටහෙන විට, ඔබ සිහියෙන් යුතුව ඊට බාධා කළ යුතු ය. එය කළ යුතු වන්නේ ඔබේ හුස්ම ගැනීමේ වේගය අඩු කරමින් සහ ගැඹුරු කරමිනි. එමෙන් ම, ඔබ තුළ කාන්සිය ඇතිවන විශේෂ අවස්ථා පිළිබඳ ඔබ දන්නේ නම්, එහි දී ගැඹුරින් හුස්ම ගැනීම සහ හුස්ම පිට කිරීමට අදාළ ක්‍රියාවලියේ දී, එහි වේගය අඩු කිරීමට, පෙර සිට ම සූදානම් විය යුතු ය. එය ඔබේ ජීවිතයේ වඩා ආරක්ෂාකාරී චර්යාවක් කරගත යුතු ය.

කිමිඳුම්කරුවකු මුහුදට පැනීමට පෙර, ඔහුගේ ඔක්සිජන් ටැංකිය හා මුහුණු ආවරණය පරීක්ෂාර කර බලන ආකාරයෙන්, මානසික ආතතිය ඇති කරන අවස්ථාවට එළැඹීමට පෙර, ඔබේ ඉරියව්ව සහ ආශ්වාස ප්‍රාශ්වාසය වෙනස් කළ යුතු ය.

“මුලින් ම ඔබේ උරහිස් පහත හෙළන්න. ශරීරය සෘජුව සිටින සේ හිටගන්න. ඔබේ උදරය දක්වා පිරීයන තෙක් හොඳ හුස්මක් ගන්න. හුස්ම පිට කිරීමට පෙර තත්ත්පරයක් රැඳී සිටින්න. දැන් ක්‍රමයෙන් ඔබේ හුස්ම හෙළීමේ වේගය අඩු කරමින්, හුස්ම පිට කරන්න. එසේ හුස්ම පිටකළ විට එය උපරිමයෙන් සිදුකළ බව ඔබට වැටහිය යුතු ය. මෙහි දී නැවත හුස්මක් ගැනීමට පෙර, තත්ත්පරයක හෝ දෙකක කාලයක් හුස්ම නොගෙන සිටිමින්, සම්පූර්ණයෙන් හුස්ම පිට කරන්න.”

ආශ්වාසය හා ප්‍රාශ්වාසය අතර පවතින තත්ත්පරයක හෝ දෙකක විරාමය, සිත තුළ සැහැල්ලුව හා ශාන්තිය ඇති කරන බව, භාවනාව ප්‍රගුණ කරන්නකු දන්නා කරුණකි. මේ ක්‍රමයට හුස්ම හෙළීම, සැහැල්ලුවට පත් කරන ආශ්වාසය හා ප්‍රාශ්වාසය අතරතුර ලබන මොහොතක විරාමයේ, සැබෑ ශාන්ත බව අත්විඳිනු ඇත.

කාන්සාව සමඟ උදෑසන අවදි වන ඔබට, ඉහත දැක්වූ හුස්ම පාලනයට හැකි වීමෙන්, දවසේ වැඩ කටයුතු වඩාත් සැහැල්ලුවෙන් හා පාලනයකින් යුතුව කර ගැනීමට හැකියාව ලැබෙයි. මෙය ඔබේ සිරුරට කාවැදීමට සහ එය ඔබේ දෛනික පුරුද්දක් බවට පත්කර ගැනීමට යම් කාලයක් ගත වුව ද, නිතිපතා ක්‍රියාවේ යෙදීමෙන්, මෙහි ප්‍රතිඵල නෙළාගත හැකි ය.

සන්සුන්ව හුස්ම ගැනීම

විශේෂ පුහුණුවක් ලැබූ හමුදා සොල්දාදුවකු, යම්කිසි මෙහෙයුමක දී ක්‍රියා කරන ආකාරයෙන්, සාමාන්‍ය පුද්ගලයකුට ක්ෂණිකව ක්‍රියාත්මක විය නොහැකි ය. එසේ කිරීමට යැයි පැවසුවහොත්, ඔහු ගල්ගැසී හෝ පුදුමයෙන් බලා සිටින්නේ මන්දැයි ඔබට සිතෙනු ඇත. එහෙත් පුහුණු හමුදා සෝල්දාදුවා ක්ෂණයකින් එම ක්‍රියාවේ යෙදේ. නිරන්තර පුහුණුව හා අභ්‍යාසය මඟින් ඔවුන් එසේ ක්‍රියා කිරයි. එමෙන්, ඔබේ හුස්ම පාලනය කරමින්, හුස්ම ගැනීම ඉගෙනීමට, නිරන්තර අභ්‍යාසය අවශ්‍ය වෙයි. ආශ්වාස හා ප්‍රාශ්වාසය ඔබ තුළ සතුටක් ඇති කරයි.

උදෑසන අවදි වූ අවස්ථාවේදී, දිනකට විනාඩි පහක කාලයක් මෙවැනි අභ්‍යාසයක නිරත වීම මඟින්, ඉතා ඉක්මණින් ම එහි යහපත් ප්‍රතිඵල ඔබට අත්විඳීමට හැකිවේ.

 

මනෝවිද්‍යා උපදේශක
දිනුක මදුෂාන් වන්නිනායක

නව අදහස දක්වන්න