වෙහෙසකර දිවියේ විඩා සංසිඳුවන සෙම්බුවත්ත

එකා පරයමින් එකා නැගෙන්නට වෙර දරන, අතිශය තරගකාරී ජීවන තරගය තුළ ඔබ වෙහෙසට පත් වෙලාද? රැකියාවෙන්, එහෙමත් නැත්නම් අධ්‍යාපන කටයුතුවලින් හෙම්බත්ව සිටින මොහොතක, සොඳුරු පරිසරයක සෞන්දර්යයෙන් අනූන චමත්කාරජනක ආස්වාදය විඳගන්නට ඔබත් නිසැකව ම පෙරුම් පුරනවාට සැකයක් නැත . ගතසිත සැණින් නිවා සනහන, නිහඬ, නිසසල, සුවදායි පරිසරයක දිනක් දෙකක් ගත කරන්නට ඇත්නම්, එය ම මේ විඩාබර ජීවිතයට අගනා තිළිණයක් නොවේද? එසේ නම් ඔබේ ගතසිත නිවන නොඉඳුල්, ස්වාභාවික පරිසරයක් ගැන ඔබට හෝඩුවාවක් දීමටයි මේ සූදානම.

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය නොඅඩුව ම ඇදබැඳ ගනිමින්, මාතලේ දිස්ත්‍රික්කයට අයත්ව පිහිටි මේ මනරම් සංචාරක ඉසව්ව, කොයිකවුරුත් හඳුන්වන්නේ “සෙම්බුවත්ත” නමිනි. ඇල්කඩුව වැවිලි සමාගමට අයත් මේ බිමෙහි, විශාල වපසරියක පැතිර පවතින කඳුකර තේ වතු යායත්, ෆයිනස් කැලෑවත් හේතුවෙන් මුළුමහත් ඉසව්ව ම හරිත වර්ණයෙන් දිස්වේ. සෙම්බුවත්තේ තේ වගාව ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකාව ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක්ව පැවැති යුගයේ ය. තේ වතු යායටත්, ෆයිනස් කෑලෑවටත් මැදින් පිහිටා ඇති වැව අයත් භූමිය, පෙර දී සුදු ජාතිකයන් පෝලෝ ක්‍රීඩාව සඳහා යොදාගත් භූමියක් බව කියැවේ.

මේ සොඳුරු පරිසරයේ අසිරිමත් චමත්කාරය විඳින්නට එන කාගේ වුව නොමඳ අවධානයට යොමු වන්නේ සෙම්බුවත්ත වැව ය. නිල් ම නිල් පැහැයෙන් නිල් කැටයක් ලෙසින් දුරට දිස්වන මේ වැව, අඩි 30- 40 අතර ගැඹුරකින් යුක්ත ය. 1949 වසරේ දී සෙම්බුවත්ත ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවක් ඉදිකර තිබුණ ද, මීට වසර ගණනාවකට පෙර එය වසා දැමීම හේතුවෙන් සෙම්බුවත්ත වතු යායෙන් නෙළාගන්නා තේ දලු, මඩොල්කැලේ තේ කම්හල වෙත යැවීමට සිදුව ඇත.

මේ ප්‍රදේශයට “සෙම්බුවත්ත” යන අපූරු නම පටබැඳී ඇති ආකාරය ගැන ප්‍රදේශවාසීන් කියාපාන අපූරු පුරාවතකි. මෙහි තිබුණු ජල උල්පතකින් සෑම පෝ දිනක ම රන් සෙම්බුවක් ඉහළට මතු වී ඇති අතර, එලෙස මතු වූ එක් වරක මේ වතුයායේ සේවය කළ කංකානි, රන්සෙම්බුව ගෙන ඉන්දියාවට පලාගොස් ඇත. ඉන් පසුව එම පුරාවතෙහි කියැවෙන කංකානි ගැන කිසිඳු සඳහනක් නොවුණත්, පසු කලෙක ඔහුගේ පුතු විසින් සෙම්බුව මතු වූ ජල උල්පත තිබූ තැන කෝවිලක් සාදා, පුදපූජා පැවැත්වූ බව කියැවේ. අද ද එම කෝවිලේ නටබුන් සෙම්බුවත්තේ දී දැකගත හැකි ය.

මෑතක් වන තුරු ම ප්‍රදේශවාසීන් අතර මිස පිටස්තර වැසියන් අතර එතරම් ප්‍රසිද්ධියක් නොඉසිලූ මේ ඉසව්ව, දෙස් විදෙස් සංචාරක අවධානයට යොමු වන්නේ, මේ වතු යාය බාරව සේවය කළ රැඩ්ලි දිසාගේ මහතාගේ මැදිහත් වීමෙන් ය. සෙම්බුවත්ත වැව අවටින් මනරම් ජල තටාකයක් හා ගිම්හාන කුටි ඉදි කෙරෙන්නේත්, වැවත් ඒ අවට පෙදෙසත් නිසි ලෙස නඩත්තු කොට සංචාරයට සුදුසු ස්ථානයක් බවට පත් කරන්නේත් මෙතුමාගේ සංකල්පයකට අනුව ය. පසු කලෙක සංචාරකයන්ගෙන් යම් මුදලක් අයකර ඇත්තේ, මෙහි නඩත්තු වියදම් පියවීමට ය.

ඈතට විහිද යන කඳුකර තේ වතු යාය මැදින් නිදහසේ ඇවිද යන්න, නිකැලැල් වැව් දිය පිස එන සීතල මඳනලින් කුල්මත් වෙන්න, ස්වාභාවික ජල උල්පත්වලින් පෝෂණය වන සිහිල් දියෙන් සිත්සේ ස්නානය කරන්න කැමැත්තෙන් සෙම්බුවත්තට එන ඔබට, මෙහි දිනක් දෙකක් ගත කිරීමට අවැසි නම්, ඒ සඳහා ම වෙන් වූ මනස්කාන්ත නිවාඩු නිකේතනය පිහිටා ඇත්තේ වැවේ සිට මීටර් 500ක් පමණ දුරිනි. තව ද, සෙම්බුවත්ත වැවට නුදුරින් කුඩා ළමයින් සඳහා ම වෙන් කෙරුණු අගනා ක්‍රීඩා ස්ථානයකි.

එය අමද්‍යප ප්‍රදේශයක් වන අතර, ඒ අවට ගිම්හාන කුටි කිහිපයක් ද ඉදිකර තිබේ. සුවපහසු ලෙස බෝට්ටුවක යමින්, සෙම්බුවත්තේ සැබෑ ම අසිරිය නෙතින් සිතින් විඳගැනීමට, සෙම්බුවත්ත වැව අසල පවත්වාගෙන යන බෝට්ටු සේවය ඔබට අනගි අවස්ථාවක් හිමි කර දේ. නුවර නගරයට පැමිණ, නුවර-මාතලේ ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන්කර, උකුවෙල හන්දියෙන් දකුණට ඇති ඇල්කඩුව පාරේ ගමන්ගෙන, ඇල්කඩුව හන්දියට පැමිණ, එතැන් සිට හුණුගල මාර්ගයේ කි.මී. 3-4ක් ගමන්කර නැවත දකුණු පසට ගමන්ගත් විට, ඔබට සෙම්බුවත්තට ළඟා විය හැකි ය.

ඔබේ වෙහෙසකර දිවියේ සියලු විඩා සංසිඳුවාගෙන, ප්‍රබෝධවත් වන්නට, ඔබේ හිතෛෂීන් සමඟ, ඔබත් එන්න සෙම්බුවත්තට. මේ සොඳුරු පාරාදීසයේ දිනක් ගතකර ඔබේ දිවියට සදා නොමැකෙන අපූර්වත ම අත්දැකීමක් එක්කර ගන්න.

 

කාංචනා සිරිවර්ධන


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...