රෙදි සෝදන යන්ත්‍රය නිවැරැදිව භාවිත කරන්නේ මෙහෙමයි | දිනමිණ

රෙදි සෝදන යන්ත්‍රය නිවැරැදිව භාවිත කරන්නේ මෙහෙමයි

ඔබට නැතුව ම බැරි රෙදි සෝදන යන්ත්‍රය, ඔබ නිවැරැදිව භාවිත කරනවාද? සමහරවිට ඔබ ඒ පිළිබඳ පිළිතුරක් දීමට නොහැකිව නිරුත්තර වන්නට පුළුවන.

රෙදි සෝදන යන්ත්‍ර ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය වශයෙන් වෙළෙඳ පො‍ළේ දක්නට ලැබේ. යන්ත්‍ර නිෂ්පාදකයන්ගේ උපදෙස් අනුව, යන්ත්‍රයට දැමිය හැකි ඇඳුම් ප්‍රමාණය දමා, අදාළ සබන් කුඩු සහ ජලය ද එක්කර පෙඟෙන්න සැලැස්වීමෙන්, ඔබට කරදරයක් නැතිව රෙදි සෝදා ගැනීමට පුළුවන. වේලා ගැනීම, ස්වයංක්‍රීයව කෙරෙන යන්ත්‍ර හා වේලීමේ කොටස තමාම කරගතයුතු ඒවා වශයෙන් රෙදි සෝදන යන්ත්‍ර වර්ග කර දැක්වීමට පුළුවන.

රෙදි අවශ්‍ය ලෙස යොදා , ස්වීචය ක්‍රියා කරවූ විට ඇඳුම් සහිත කොටස දෙපැත්තට මාරුවෙන් මාරුවට කැරකැවීම සිදු වේ. මේ චක්‍රණය නිසා රෙදි සමඟ ඇති සබන් සහ ජලය රෙද්දට හොඳට වැඳීමත්, කැලැත්තීම නිසා කුණු හොඳින් ඉවත්වීමත් සිදුවේ. කුණු බුරුල් වූ පසු පිරිසුදු ජලය අවශ්‍ය ලෙස ගලා ඒමත්, ඒ තුළ රෙදි හොඳින් කැළැතෙමින් සේදීමත් නිසා , පහසුවෙන්ම කුණු ඉවත් වී, රෙදි හොඳින් පිරිසුදු වීම, රෙදි සෝදන යන්ත්‍රයේ දැකගත හැකි ක්‍රියාකාරීත්වයයි. එසේ රෙදි සේදීමේදී, පහත සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම, ඔබේ රෙදි සෝදන යන්ත්‍රයේ කාර්යක්ෂමතාවට මෙන් ම, කල් පවත්වා ගැනීමට ද හේතුවේ.

* භාවිතයට පෙර විද්‍යුත් සැපයුම පරීක්ෂා කර බලන්න.

* වතුර හා සබන් කුඩු අවශ්‍ය පමණ නියමිත මට්ටමට යොදන්න.

*යෙදිය යුතු බර ප්‍රමාණය ඉක්මවා රෙදි නොයොදන්න. අදාළ ප්‍රමාණයට රෙදි යොදන්න.

* තුනී හෝ ඝන වශයෙන් එක ම වර්ගයේ රෙදි පමණක් එකවර යොදන්න.

* රෙදි ප්‍රමාණය අඩු නම් ජලය අඩුවෙන් යොදන්න.

* උණු වතුර යෙදීම අවශ්‍ය වූ විට, අවශ්‍ය පමණට ජලය රත් කරන්න.

* පාට ඉවත්වන රෙදි වෙනම සෝදන්න.

* අනෙක් ඇඳුම්වලට හා යන්ත්‍රයට හානි විය හැකි නිසා, බොත්තම් කාස අමුණා තබන්න. සිප් හා වෙනත් විසිතුරු බොත්තම් ආදිය අමුණා තබන්න.

* ඇදුම්වල සබන් ගතිය ඉවත් වනතුරු කිහිපවරක් ජලය මාරු කරන්න.

රෙදි සෝදන යන්ත්‍රයක් භාවිත කරන පුද්ගලයන්, එය පිරිසුදු කිරීමේ දී මේ කරුණු කාරණා පිළිබඳ සැලකිලිමත් වීමෙන්, දීර්ඝ කාලයක් රෙදි සෝදන යන්ත්‍රය අලුත්වැඩියාවකින් තොරව භාවිත කළ හැකි ය.

* රෙදි සෝදා අවසන් වූ පසු සබන් මිශ්‍ර උණු දියෙන් යන්ත්‍රය ඇතුළත සෝදන්න.

* පිටත පොඟවා ගත් රෙදි කඩකින් පිසදමන්න.

* ඉන් පසු වියළි, පිරිසුදු රෙදි කඩකින් පිසදා තෙත මාත්තු කරන්න.

* පැනලය සහිත කොටසට (විද්‍යුත් කොටසට) වතුර බිඳුවකුඳු නොයන ලෙස වගබලා ගන්න.

මේ කරුණු පිළිබඳ අවධානයෙන් සිටීමෙන්, ඔබේ මුදල් නිකරුණේ නාස්ති වීම වළකාගත හැකිවා සේ ම, විදුලි බිල ද පාලනය කරගත හැකි ය.

 

උපදෙස් -
කථිකාචාරිනී
රාණි එදිරිසිංහ,
නිල්වලා අධ්‍යාපන විද්‍යා පීඨයේ ගෘහ ආර්ථික විද්‍යා අංශ ප්‍රධානී

 

මදාරා මුදලිගේ 

නව අදහස දක්වන්න