ක්‍රීඩකයා | දිනමිණ

ක්‍රීඩකයා

කොලින් ඩෙනිස් සමරදිවාකර කාර්යාල කාමරයේ හිඳගෙන සිටියි. වැඩිපුර කඩදාසි නැති මේසය මත තරුණයින් දෙදෙනෙකුගේ ඡායාරූප හිටුවා ඇත. පසෙකින් විසල් ගේ අධිෂ්ටාන පූර්වක ජයග්‍රාහි මුහුණය. අනෙක් පසින් නිසල්ගේ අහිංසක සිනාව පිරුණ මුහුණය. ඒ මැද්දේ මේ දැන් රියදුරු විසින් ගෙනෙන ලද සීල් තැබූ ලියුම් කවරයෙන් එළියට ගත් රෝහල් වාර්තාව ඇත.

ඔරලෝසුව කාලයේ හිරි කඩයි. තව වැඩිපුර ඉතිරි වී නැත.

කළුවර ලී ලෙස බොහෝ දෙනා සිතන කාල වර්ණ ලීයෙන් කළ මේ ඔරලෝසුව වසර තිහකට පෙර දවසක ඔහොමම කාලයේ හිරි කඩමින් හිටි හැටි සමරදිවාකරට සිහි වේ. එදා ඒ අසල දොන් ආනෝල්ඩ් සමරදිවාකර ආදරණීය පියාගේ මළසිරුර ගාම්භීර ලෙස ඇත් දළ යුවළක් මැද, සාලයේ තැන්පත් ව තිබුණි. රාජ රාජ මහාමාත්‍යයෝ ඊට හිස් නවා පැමිණ එවකට මැදිවිය කරා එළඹෙන පුත්‍ර සමරදිවාකර හා අලුත් හිතවත්කම් ඇති කර ගන්නට මෙන් කතා කළහ. සල්ලිකාරයාගේ පුත්‍රයා සල්ලිකාරයා වී ඇත. පරම්පරාවෙන් ද ශූර බුද්ධියෙන් ද කූට උපායෙන් ද සමරදිවාකර වලව්ව මත බිහි වූ දැවැන්ත ප්‍රාග්ධන අධිකාරියේ රියදුරු අසුන පියාගෙන් පුතාට පැවරී ඇත. ඒ වගකීම සහ බලය එහි වූ මරණයේ සීතල මකා දැමීය.

මරණයේ සීතල පමණක් නැවත පැමිණ ඇත. අඩුම ගාණේ ළඟ එන බවට පණිවුඩයක් එවා ඇත.

කාලයේ කෙටි ගිණුම් ශේෂය තුළ ලබා ගන්නට ලොකු ඉලක්ක නොතිබුණි. සමරදිවාකරට අල්ලන්නට අමුතු ඉරක් හෝ හඳක් නැත. දැනට ඒවා කැරකෙන්නේ ඔහු වටාය. කරන්නට බැරි වූ යමක් වී නම් ඒ පාර්ලිමේන්තුව හා ක්‍රිකට් ආයතනයේ මහා පුටුව පමණි. සමරදිවාකර පාර්ලිමේන්තු නොගියේ එහි ඉන්න අය සමරදිවාකර වලව්වට ගෙන්වා ගත හැකි නිසාය. ඔහු ක්‍රිකට් ආයතනයේ මහ පුටුවට නොගියේ සිය පුත්‍රයා එහි යැවිය යුතු නිසාය.

ක්‍රිකට් ආයතනයේ මහ පුටුව කොහෙත්ම ඔහුට නොහැක්කක් නොවේ. සමරදිවාකර ඉල්ලුවා නම් සුද්දාත් ගුවන් ටිකට් පතක් ගෙන ඇවිත් ඡන්දය දෙනු ඇත. සමරදිවාකර යනු පාසල් ක්‍රීඩකයෙකි. පළමු පෙළ ක්‍රීඩා නොකළේ ක්‍රීඩා සමාජවල අගුපිල් හි ලගින්නට හද්දීබ්බාගෙන් ආ නායකයන්ගෙන් පන්දු යවන්නට පිති කරන්නට අවස්ථා ඉල්ලන්නට තිබූ අකමැත්ත නිසාවෙනි. එහෙත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල ලකුණු පුවරුවල ඔහුගේ නම ඇත. මේ ඇඟේ දුවන ලේවල ක්‍රිකට් ඇත. ඒ ලෙයින් හැදුණු විසල් සමරදිවාකර පියා නොයා තමන්ට ඉතිරි කළ ඒ මග ජය කෙහෙළි නැංවීය.

පරම්පරාව ගොඩ ගැසූ ඉලක්කම් නිසා කොලින් ඩෙනිස් සමරදිවාකර වටා මිලියන විස්සක දූපත් වැසියා දණ නවන මුත්, වසර දහ අටක ක්‍රිකට් දිවියක ගොඩ ගැසූ ඉලක්කම් නිසා විසල් සමරදිවාකර ළඟ ලෝක ජනගහනයෙන් පහෙන් එකක් දණ නවතී. අයිසීසීයේ මහා ක්‍රීඩක ලැයිස්තුවේ ඉහළින්ම මෙන්ම කොල්කටාවේ දේවාලයක දේව රූප අතර ද විසල් සිටියි. ක්‍රිකට් විස්තර විචාරකයෝ නවකයින්ගේ විසල් සලකුණු හඳුනා ගනිති. එහෙත් ඒ එකෙක්වත් විසල් කෙනෙකු නොවීම ගැන විස්සෝප වෙති. දෙවසරකට පෙර ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් ඔහු විශ්‍රාම යන විට මිනිස්සු මගට බැස උද්ඝෝෂණය කළහ. එය පුදුමයක් නොවන්නේ ඔහු එදා ද ද්විත්ව ශතකයකින් සිය සමුගැනීම සැමරූ බැවිනි.

ටෙස්ට් ද්විත්ව ශතක විස්සක්. ටෙස්ට් ශතක අසූ අටක්. එක් දින ශතක සියයකට වඩා. ටෙස්ට් තරග එකසිය හතලිහකදී ලකුණු විසිපන්දාස් ගණනක්. සාමාන්‍යය එකසිය විස්සයි. ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සචින් තෙන්ඩුල්කාර් ගාෆිල්ඩ් සෝබර්ස් කුමාර් සංගක්කාර මේ ඕනෑම එකෙක් යම් කිසි දෙයකට ලොව ප්‍රමුඛයන් වී නම් අද ඔවුන් හැම එක සමරදිවාකර නමකට පසුපසිනි.

“මේ තරුණ ක්‍රීඩකයාගේ වාර්තා පුදුමාකාරයි” මීට වසර පහළොවකට පමණ පෙර විසල් සිය විසල් ගමන අරඹද්දී නවකයින් අගයන ඇතැමුන් කියන්නට විය. “ශ්‍රී ලංකාවේ තෙන්ඩුල්කාර්” ඉන්දියන් කාරයෝ තමන්ගේ අවමානය කල්තියා වසා දමන්නට උත්සහ කළහ. “මොහුගේ පිත්ත ජාත්‍යන්තර මිනුම් නීතිවලින් පිටස්තරද?” ආඩම්බරකාර සුද්දෝ අහුකොන් සොයන්නට විය. “අක්ෂි ආබාධයකින් පෙනෙන මේ කණ්ණාඩි පොළඟා දෙනෙත් අගේට පෙනෙන එකාලට වඩා හොඳට ගහන්නේ කොහොමද?” අවලම් විචාරකයෝ විචාරයේ සම්මුති බිඳ දැමූහ. “පන්දුව දෙකට පලන්නට විසල්ට කන්නාඩිය අපෙන්” දෘෂ්ටි විශේෂඥයෝ දැන්වීම් පළ කළහ.

එය දැක කොලින් ඩෙනිස් සමරදිවාකර සිනා විය.

“තාත්තා මට ස්කොල් එකක් වුණත් දෙන්න එයාල කැමතියි” ඒ තවත් වසර පහළොවකට පෙරයි. ඒ වෙද්දී විසල්ට වඩා සය අවුරුද්දක් වයසැති නිසල් ලන්ඩන් උසස් පෙළ යහමින් සමත් වූවා පමණි.

“මෙයාව නම් කීයටවත් යවන්න බැහැ” සමරදිවාකර මැතිණිය පුත්‍රයා ගේ හිස අතගාමින් පැවසුවාය.

“අම්මා එහෙ යුනිවර්සිටිවල මෙහෙ වගේ නෙවි. ස්පෙෂල් නීඩ්ස් සපෝට් කරනවා. රෝද පුටුවකින් ඕනෙම තැනකට යන්න පුළුවන්.”

“ඒ වුණාට තනියම ඔහොම ටවුමක ඔයාට ඉන්න බැහැ” අම්මා අම්මාය. තීන්දු දෙන්නේ ඇය යි.

කොලින් ඩෙනිස් සමරදිවාකර මේ දෙබස අසා සිටියා පමණි. මේ බිත්ති හතර ඇතුළත ඔහු විසින් මුදා නොගත් එකම කලාපයයි. ඇය එහි පාලනය ගෙන ගියාය.

“තාත්තයි අම්මයි නිසා මට ජීවිතයක් නැහැ” දරාගන්න බැරි වූ විට යොවුන් තරුණයා හඬයි. කවදාවත් කඳුළක් නොසැළූ මුත් කොලින් ඩෙනිස්ගේ හිතද ඊට අනුනාද දෙයි. මීට දස වසරකට පෙර මේ විවාදයම ආවේ පුතා පාසලකට දැමීම ගැනයි. ඒ කලක් තිස්සේ ලොව පුරා රෝහල් රාශියක ශල්‍යකර්ම ප්‍රතිකාර තෙරපි ආදියෙන් හෙම්බත්ව හුන් කාලයකි. නිසල් ලෝකයට ආවේ කලාතුරකින් පිහිටන විශේෂ අවශ්‍යතා රාශියක් කැටුවයි. පළමුවෙන්ම ඔහුගේ දෙපා අක්‍රිය විය. එසේම මනසේ කිසියම් සුවිශේෂීතාවයක් නිසා ඔහුට සාමාන්‍ය කෙනෙකු මෙන් ජීවත් වීම අසීරු විය. බුද්ධියේ අඩුවක් නොවුවත් ඔහු ජීවත් වූයේ වෙනස් මානසිකත්වයකය. ලොව පුරා වෙදුන්ගෙන් ලද උපකාරයෙන් ඒවා සමහරක අඩුපාඩු මකා ගත් මුත් කොලින් ඩෙනිස් ගේ මහාමේරු බූදලයටත් කළ හැකි දේ සීමා විය.

අවසානයෙ පුත්‍රයාට පාසලකට යා නොහැකි නිසා කොලින් ඩෙනිස් පාසල ගෙදරට රැගෙන ආවේය. නිසල් ලන්ඩන් අධ්‍යාපන ක්‍රමයට නිවසේ උගත්තේ රටේ උසස්ම ගුරුවරුන්ගේ සේවය සමඟය. නිසල් ලන්ඩන් උසස් පෙළ සමත් වූයේ ඉහළම මට්ටමිනි.

“what is your dream?” විදෙස් අධ්‍යාපන අවස්තාව අහිමිව හඬන පුත්‍රයා අසළට යන පියා අසයි. ඒ හඬ අනුකම්පා භරිත හෝ ආදර භරිත එකක් නොවේ. සමාගමක විධායකයෙකු පහළ සේවකයෙකුට දෙන විධානයක් වැනිය. එහෙත් එහි නොදැනෙන ආදරය නිසල් දනියි.

“I don't know තාත්තා. something engineering”

“huh engineers... do you know how many of them I have in my businesses?”

නිසල් වචන අහුලයි.

“ඉංජිනේරුවෙක් වෙන්න ඕනෙනම් මම සහතිකේ අරගෙන දෙන්නම්. ඒක ජීවිතේට ලොකු දෙයක් නෙවි. අවුරුදු දහයේ පොඩි මල්ලි කියනවා එයා දවසක සචින් තෙන්ඩුල්කාර් ගේ වාර්තා කඩනවලු”

“oh you and your cricket” නිසල් සිය රෝද පුටුව හරවාගෙන යයි.

ලෝකය නම් පිරමීඩයේ මුදුනේ හිඳගෙන සිටීම මිනිසෙකු අමනයෙකු කරතැයි කොලින් ඩෙනිස් සිතයි. නො එසේ නම් සීමාරහිත සිය කටින් රෝද පුටුවේ යන පුත්‍රයාට ක්‍රිකට් ගැන කියන්නේ නැත. උවමනා වුණත් සචින් තෙන්ඩුල්කාර්ගේ වාර්තා කඩන්නට නිසල්ට නොහැක.

“son you still have to tell me, what your dream is” පුත්‍රයා පසුපස යමින් කොලින් ඩෙනිස් පවසයි. දැන් හඬ බාල ය.

“ඇයි ඉංජිනේරුවෙක් වෙන්නේ. තියෙන සිස්ටම් බලා ගන්න ද?”

“හ්ම්ම්ම් නැහැ තාත්තා මට අලුත් සිස්ටම් හදන්න ඕනේ. මට මේ ලෝකය වෙනස් කරන්න ඕනේ. my dreams are bigger than that Indian cricketer, will you let me go there and achieve them?”

නිසල් සුපුරුදු තනිකම පිරුණු කාමරයට ඇතුළු වේ.

“tell me that dream son. I will make it happen” පියා ඒ උත්තරය දුන්නේ ඊට මාස හතරකට පසු දිනකයි. ඒ නිසල්ගේ දහ හත්වන උපන්දිනයයි.

නැවතත් මතකය වර්තමානයට පැමිණේ. කොලින් ඩෙනිස් ගේ මහා මේරු බූදලයට කළ නොහැකි තව දෙයක් මේසය මත වේ. ඒ එහි වූ රෝහල් වාර්තාවේ රතු පාට ඉලක්කම් කීපයක් සංඛ්‍යාත්මකව වෙනස් කර කළු පාට කිරීමයි. සමහර විට සිංගප්පුරුවේ හෝ ඇමරිකාවේ ගියොත්... එහෙත් කොලින් ඩෙනිස් ඒ ඉලක්කම්වල අර්ථය දනියි. ඒ ඉලක්කම් මේ දිවයිනේ නොව ලොව කොහේ ගියත් දැන් වෙනස් කළ නොහැක.

එහි නොලියවුණු අනිත් ඉලක්කම ද ඔහු දනියි. ඒ මාස හතරකි. ඔහුට තව ඇත්තේ මාස හතරකි. ඒ මාස හතරේ ඔහුට විසඳන්නට ඇත්තේ එකම එක ගැටලුවකි. එහෙත් එය පියෙකුට මුහුණ දෙන්නට ලැබෙන අසීරුම අවස්ථාවකි. එහි පසෙක විසල් ය. අනෙක් පසෙහි නිසල් ය. දැන් වසර හයකින් තම පියා හා කතා නොකරන කාමරයෙන් එළියට නො එන නිසල් ය.

කොලින් ඩෙනිස් නැවත අතීතයට යයි.

“තාත්තා මේක තමයි මම අහපු පිස්සුම කතාව. MIT ලැබ්ස් හදල තියන්නේ ලෝකේ හොඳම තාක්ෂණය එක්ක. සමරදිවාකර වලව්වේ එහෙම එකක් හදන්න? are you mad?”

“යනවා දැන් ගූගල් එකට. ගිහින් බලනවා ඔය යුනිවසිටියේ ෆයිනන්ෂල් වැලියු එක. ඊට පස්සේ එනවා ඔෆිස් රූම් එකට මගේ වෙල්ත් එක පෙන්නන්න”

“ඔව් බිස්නස් කීපයක් විකුණන්න වෙයි එහෙම එකක් හදන්න”

“I will do that. In fact I am doing that”

“මොකක්? මට ගෙදර ලැබ් එකක් හදල දෙන්න තාත්ත බිස්නස් විකුනනවා. මම හිතුවේ තාත්ත කරන්නේ බිස්නස් සල්ලිවලට ගන්න එක විතරයී කියල”

“මිනිස්සු ඕනෙම දෙයක් එක පාරක් හරි කරන්න එපැයි. හරි දැන් කියමු බලන්න මොන ෆීල්ඩ් එකේ ද රිසර්ච් කරන්නේ”

නිසි නමක් නොමැති මුත් විසල් ඔලොක්කුවට සමරදිවාකර ලැබ්ස් කියා කියන වලව් වත්තෙ පසෙක පිහිටි ගොඩනැගිල්ල හැදුණේ එහෙමය. එතරම් ජයට නැතුව නිකම් බිල්ඩිමක් වගේ සෑදුවාට එහි ඇතුළේ තිබ්බ තාක්ෂණය ඒ දිවයිනේ රජයෙන් නඩත්තු වන ඉහළම විශ්වවිද්‍යාලයකවත් නොතිබුණි. කිසිම ශ්‍රේණිගත කිරීමකට ඇතුළත් නොවන නිසා කවුරුත් නොදන්නා මුත් එහි පර්යේෂණ කළ නිසල් සිතු පරිදි එහි තාක්ෂණය සමහර විට ලෝකයේ කොහෙවත් තිබ්බේ නැත.

නිසල් සමරදිවාකර ජීවත් වුණේ එහිය. කන බොන නිදියන සනීපාරක්ෂා වැනි සුළු කාලයක් හැරෙන්නට ඔහු කලේ පර්යේෂණ පමණි. සාමාන්‍ය යැයි කියවෙන වෙනත් බොහෝ මිනිසුන්ට නොමැති හැකියාවක් ඒකාග්‍රතාවයක් සහ ආසාවක් නිසල්ට කිසියම් දෙයක් ගැන ඇති කරගත හැකිය. ඔහුගේ පරිගණක ඉංජිනේරු තාක්ෂණ උනන්දුව ඒ මානසික තත්ත්වයට ගැලපුණි. අන්තර්ජාලයෙන් ලෝකයේ හොඳම පර්යේෂණ ගැන හදාරමින් විදෙස් රටවලින් නවතම පරිගණක නිර්මාණ ගෙන්වා ගනිමින් ඔහු තනිව සිය ගමන ගියේය.

ඒ ගොඩනැගිල්ලේ අංශ දෙකක් තිබුණි. Photonics Computers හෙවත් ප්‍රකාශ පරිගණක එක අංශයකි. Augmented Reality හෙවත් ආවර්ධිත තත්‍යය එහි අනෙක් අංශයයි.

තව කොටසක් ලබන සතියේ

සුජීව කොකාවල 

නව අදහස දක්වන්න