ලෝක ජනමාධ්‍යයට අපල කාලයක්... | දිනමිණ

ලෝක ජනමාධ්‍යයට අපල කාලයක්...

ධම්මික සෙනෙවිරත්න

මාධ්‍ය ‍නිදහස සම්බන්ධයෙන් රටවල් 72 කම තත්ත්වය බරපතළ බව සඳහන් කරන දේශසීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානයේ වාර්තාව ඒ අතර රුසියාව, චීනය සහ ඉන්දියාව ද සිටින බව දක්වා ඇත. උතුරු කොරියාව, පහළම තැන සිටී. උතුරු කොරියාවේදී විදේශ ගුවන්විදුලි සේවයකට සවන්දීම පවා රැඳවුම්භාරයට පත්කිරීමට හේතුවකි.

ලෝක ජනමාධ්‍ය දිනය යෙදී ඇත්තේ ‍මැයි 3 වැනිදාටය. මේ දිනය ලෝක නිදහස් මාධ්‍ය දිනය ලෙස ද හැඳින්වේ. “විවේචනාත්මක වකවානුවකට විවේචනාත්මක මනසක්” තේමාවෙන් යුතුව මැයි 1 – 4 දිනවල ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී මෙවර ලෝක මාධ්‍ය දිනය සැමරීමට කටයුතු යොදා තිබේ. ඊට මුල්වී ක්‍රියාකරන්නේ යුනෙස්කෝවය.

ලෝක ජනමාධ්‍ය දිනය - 2017 සැමරෙනුයේ ඉතිහාසයේ අන් කවරදාටත් වඩා මාධ්‍ය නිදහස තර්ජනයට ලක්ව ඇති පසුබිමක බව දේශසීමා නැති මාධ්‍යවේදියෝ (Reporters Without Borders – RSF) පෙන්වාදේ. ඔවුන් එලෙස කියා සිටින්නේ මාධ්‍ය නිදහස පිළිබඳ වාර්ෂික දර්ශකය ලොව හමුවේ තබමිනි. මෙය අසත්‍ය පුවත්වල නව පශ්චාත් සත්‍යවාදී යුගයක් බව එය සඳහන් කරයි. මාධ්‍යයට එරෙහි ප්‍රහාර සාමාන්‍ය දෙයක් බවට පත්වන තරමටම තත්ත්වය බරපතළ වී තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවා අධිකාරිවාදී පාලනයන් බිහිවීම නිදහසට තර්ජනයක් වී ඇති බව ද, මාධ්‍ය එම න්‍යායපත්‍රවලට ගැලපෙන අන්දමින් ප්‍රචාරණවාදීව මෙහෙයවෙමින් ඇති බව ද ඉන් පෙන්වාදී ඇත.

රටවල පවතින සිවිල් යුද ගැටුම් ද මාධ්‍යකරුවාට මෙන්ම මාධ්‍ය නිදහසට ද බරපතළ තර්ජනයක් වී තිබේ. සිවිල් යුදමය තත්ත්වය සයවැනි වසරටත් දිග්ගැස්සී ඇති සිරියාවේ තත්ත්වය වඩා ඛේදනීයය. මාධ්‍යකරුවන් වැඩිම දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇත්තේ සිරියාවේදීය. තුර්කියේ සිදුවූ අසාර්ථක හමුදා කුමන්ත්‍රණයෙන් පසු ජනාධිපති ටයිප් එර්ඩොගාන් ජනමාධ්‍යකරුවන් 81 දෙනකු සිරගත කර තිබේ. ඊජිප්තුවේ අබ්දෙල් ෆාටා අල්-සිසීද මාධ්‍යකරුවන් සැලකිය යුතු පිරිසක් එලෙසම සිරගත කර සිටී. මේ රටවල් දෙක ජනමාධ්‍ය‍කරුවන් රඳවා සිටින විශාලතම සිරගෙවල් දෙක බව ද දේශසීමා රහිත මාධ්‍යවේදියෝ කියා සිටිති.

අසත්‍ය ෙතාරතුරු

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේදී මෙන්ම බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු ද නැතිද යන්න අරබයා පැවැති ජනමත විමසුමේදී ද වැරැදි හා අසත්‍ය ‍තොරතුරු බෙහෙවින් සමාජගත වූ බව එම සංවිධානයේ අදහසයි. දේශසීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානයේ මහලේකම් ක්‍රිස්ටෝප ඩෙලවෙයා සඳහන් කරන පරිදි මාධ්‍ය නිදහස සුරක්ෂිත නොවන කල අන් කවර නිදහසක් හෝ සුරැකෙනු ඇත්දැයි සහතික කළ නොහැකිය. 2016 වසර තුළ රටවල් 2/3 කම පාහේ තත්ත්වය පිරිහීමට ලක්වී ඇති බව ද ඔහු පෙන්වා දී තිබේ. මාධ්‍ය ‍නිදහස සම්බන්ධයෙන් රටවල් 72 කම තත්වය බරපතළ බව සඳහන් කරන දේශසීමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානයේ වාර්තාව ඒ අතර රුසියාව, චීනය සහ ඉන්දියාව ද සිටින බව දක්වා ඇත. උතුරු කොරියාව, පහළම තැන සිටී. උතුරු කොරියාවේදී විදේශ ගුවන්විදුලි සේවයකට සවන්දීම පවා රැඳවුම්භාරයට පත්කිරීමට හේතුවකි. මාධ්‍ය නිදහස හොඳින්ම සුරක්ෂිත රට වශයෙන් ඉහළින්ම සිටින්නේ නෝර්වේ රාජ්‍යයයි.

2016දී ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් ගණන 100කි. ඉන් 12 දෙනකුම ඝාතනය වූයේ ඇෆ්ගනිස්ථානයේදීය. 2015දී වාර්තා වූ මාධ්‍යවේදී ඝාතන සංඛ්‍යාව 115කි. මෑත දශකයක පමණ වකවානුව තුළ මාධ්‍යකරුවන් වැඩිම පිරිසක් ඝාතනයට ලක්වූයේ 2012 වසරේදීය. එය සංඛ්‍යාත්මකව 124කි. ඊට පෙර වසරේ එම සංඛ්‍යාව මෙන් එය හරියටම දෙගුණයකි. ඉකුත් දශකය තුළ ලොව පුරා වාර්තාවූ මාධ්‍යවේදි ඝාතන සංඛ්‍යාව 929කි. එම සංඛ්‍යා දත්තවලට අනුව මාධ්‍යකරුවන්ට අනතුරුදායකම ස්ථානය ඉරාකයයි. ඉරාකයෙන් වාර්තාවී ඇති මාධ්‍යවේදී ඝාතන සංඛ්‍යාව 154කි.

ලබන 1 වැනිදා ඇරැඹෙන ‍‍ලෝක සමුළුවේදී ජනමාධ්‍ය මුහුණදී සිටින වත්මන් අභියෝග සහ මාධ්‍යයට එරෙහි තර්ජන හා ප්‍රහාර පිළිබඳ පුළුල්ව සළකා බැලෙනු ඇත. මාධ්‍යකරුවන්ට එරෙහිව සිදුවන අපරාධකාරී ක්‍රියාවන්ට මුහුණදෙන්නේ කෙසේද යන්න ද මෙවර න්‍යායපත්‍රයේ වි‍ෙශ්ෂ කාරණයකි. එහිදී ගතයුතු නව උපායමාර්ග කෙරෙහි ද අවධානය යොමු කෙ‍ෙර්.

ජනමාධ්‍යකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යුනෙස්කෝව ඉදිරිපත්කර ඇති පර්යේෂණාත්මක යෝජනාවලට අනුව මෙය සංවාදයට ලක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලෝක ජනමාධ්‍ය දිනය සැමරීමට සමගාමීව මාධ්‍ය නිදහසට අදාළ වන්නා මූලික මූලධර්ම, ලොව පුරා මාධ්‍ය නිදහස තහවුරු කිරීමට පහසුකම් සැලසීම, මාධ්‍යට එරෙහි ප්‍රහාර වළක්වා ගැනීම මෙන්ම රාජකාරියේදී දිවිපිදූ මාධ්‍යකරුවන් සිහිකරමින් ඔවුන්ට ගෞරව ප්‍රණාම දැක්වීම ද සිදුවේ. ගුලිමෝකානෝ ත්‍යාගය ද මෙහිදී පිරිනැමේ. “දේශසීමා රහිත මාධ්‍යවේදියෝ” යනු පැරීසිය මූලස්ථානය කරගනිමින් ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයකි. ලොව රටවල් 180ක් ආවරණය වන පරිදි ඔවුන් මාධ්‍ය නිදහස පිළිබඳ සිය විමර්ශන සිදුකරයි. වාර්ෂික දර්ශකය නිකුත් කරනුයේ ඒ මත පදනම්වය.

ඉහළම මට්ටමේ දේශපාලනඥයන් මාධ්‍යයට සිදුකරන්නාවූ බලපෑම ගැන ද මෙහිදී අවධානය යොමුව තිබේ. මෑතකාලීනව ඊට ඇති හොඳම නිදසුන පින්ලන්ත අගමැති ජුවා සිපිලා විසින් ගුවන්විදුලි සංස්ථා බලධාරීන්ට යොමුකර ඇති ඊමේල් පණිවිඩ 20ක් පමණ සංඛ්‍යාවය. එහි වාර්තාකරණයට ඉන් බලපෑම් එල්ලවී තිබේ. නවසීලන්තයේ ද මාධ්‍යට බලපෑමක් ඇතිවන පරිදි බුද්ධි අංශවල කාර්යයන් පුළුල් කරමින් නව නීති හඳුන්වාදී තිබේ. කැනඩාවේදී ත්‍රස්තවාදය ගැන විමර්ශනාත්මකව වාර්තාකරන මාධ්‍යකරුවන් රජය මගින් නිරීක්ෂණය කිරීම සිදුවේ. මහා බ්‍රිතාන්‍යයේද මෙවැනිම ප්‍රවණතාවක් පවතී. අමෙරිකාවේ විරෝධතා වාර්තා කළ මාධ්‍යකරුවන්ට එරෙහිව නැවත නැවතත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ. බලවත් රටවල් 2015 දී තමන් සිටි තැනට වඩා මට්ටම් 2, 3 කින් වත් පහළට ඇදවැටීමෙන් පෙනෙන්නේ නිදහස් මාධ්‍ය පිළිබඳ ඔවුන්ගේ කෙරුම් කියුම්වලට වඩා පරස්පර බවයි. ජර්මනිය ස්ථාන 4 කින්ම පසුබැස තිබේ. ආන්දෝළනාත්මක හෙළිදරව් සිදුකරන මාධ්‍යකරුවන්ට ජර්මනිය අහිතකර තැනක්වී ඇත.

ජනමාධ්‍යකරුවන්ට සිය රාජකාරිය ඉටුකිරීමේදී වඩාත් අන්තර‍ාදායකම කලාප බවට පත්වී ඇත්තේ මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවය. බුරුන්ඩි, උගන්ඩා වැනි අප්‍රිකානු රටවල් තත්වය කනගාටුදායකය. කෙසේ වුවද නැමීබියාව සහ බොට්ස්වානාව ද එරිත්‍රියාව ද යම් ප්‍රගතියක් දක්වා තිබේ. FARC ගරිල්ලන් සමඟ ඇතිකරගත් සටන් විරාමය හේතුකොටගෙන කොලොම්බියාවෙන් ඉකුත් වසරේ කිසිදු මාධ්‍යකරුවකු රාජකාරියේදී ඝාතනය වූ බවක් වාර්තාවී නැත. වසර 7කට පසු එලෙස සටහන්වූ පළමු අවස්ථාව මෙයයි.

විවිධ තර්ජන

මාධ්‍යකරුවන්ට සිය වගකීම ඉටුකිරීමේදී රාජ්‍ය යාන්ත්‍රණයෙන් එල්ලවන බලපෑම් හා තර්ජන මෙන්ම ත්‍රස්තවාදී සංවිධාන හා අපරාධකරුවන්ගෙන් එල්ලවන තර්ජනවලට ද මුහුණදීමට සිදුව තිබේ. මේ හේතුකොටගෙන ඔවුන්ට සිය මෙහෙවර කිරීමට සිදුව ඇත්තේ ජීවිතය පරදුවටම තබමිනි. සත්‍ය වාර්තා කිරීම මෙන්ම සත්‍ය දැනගැනීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ද මාධ්‍යකරුවාට පැවරෙන වගකීම් සම්භාරයක් තිබේ. වත්මන් ලෝක සන්දර්භය යටතේ එය වඩාත් අභියෝගාත්මක භූමිකාවක් බවට පත්වෙමින් පවතී. මේ සියල්ලට අමතරව ප්‍රාග්ධනය විසින් ඇතිකර ගන්නා වූ බලපෑම ගැන ද මාධ්‍ය ක්ෂේත්‍රයේ ඇත්තේ ආන්දෝළනාත්මක තත්ත්වයකි.

මෙවර ලෝක මාධ්‍ය දිනය සැමරීම සිදුවන්නේ 24 වෙනි වතාවටයි. එය පළමු වතාවට සමරනු ලැබුවේ 1993 දීය. සෑම වසරකම මැයි 3 වැනිදා ලෝක මාධ්‍ය දිනය හෙවත් ලෝක නිදහස් මාධ්‍ය දිනය වශයෙන් ප්‍රකාශයට පත්කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනි. මාධ්‍ය නිදහස තහවුරු කිරීම සහ ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම හඳුනා ගනිමින් එය සිදුවිය. 1948දී සම්මත කළ මානව හිමිකම් පිළිබඳ ප්‍රඥප්තියේ 19 වැනි වගන්තිය ප්‍රකාර ප්‍රකාශනයේ නිදහස තහවුරුකොට තිබේ. එය ආරක්ෂා කිරීමට සෑම සාමාජික රාජ්‍යයක්ම බැඳී සිටින බව සිහිපත් කිරීම ද ලෝක මාධ්‍ය දිනය සැමරීමේ අරමුණකි.

මේ දිනය සැමරීමට සමගාමීව යුනෙස්කෝව මඟින් මාධ්‍ය නිදහස සඳහා වන ගුලිමෝ කානෝ ත්‍යාගය ද පිරිනමයි. එය පිරිනැමෙනුයේ සිය මෙහෙවර ඉටු කිරීමට ගොස් අනතුරට මුහුණපෑ මාධ්‍යවේදියකු හෝ මාධ්‍යවේදිනියකටය. 1997 වසරේ පටන් මේ ත්‍යාගය පිරිනැමේ. ගුලිමෝ කානෝ ත්‍යාගය නම්වී ඇත්තේ 1986 දෙසැම්බර් 17 වැනිදා බොගෝටාහි සිය පුවත්පත් කාර්යාලය ඉදිරිපිටදී ඝාතනය වූ කොලොම්බියානු මාධ්‍යවේදී ගුලිමෝ කානෝ ඉසාට ගෞරවයක් වශයෙනි.

ලෝක මාධ්‍ය දිනය සැමරීම සඳහා සෑම වර්ෂයකම මාධ්‍ය වෘත්තිකයන්, මාධ්‍ය ආයතන මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නි‍යෝජිතයන් ද යුනෙස්කෝවේ මෙහෙයවීමෙන් ඒකරාශී වෙති. එම වාර්ෂික සමුළුවේදී මාධ්‍යකරුවා මෙන්ම මාධ්‍ය මුහුණපා ඇති අභියෝග ප්‍රමුඛ වශයෙන්ම අවධානයට ලක්වේ. ඊට යෙදිය හැකි පිළියම් මෙන්ම අනුගමනය කළ හැකි උපායමාර්ග ගැන මෙම සංවාද මණ්ඩප තුළදී පුළුල්ව සළකා බැලේ.

වගකිවයුතු අය

1998 සිට මේ දක්වා ලොව නොයෙක් රටවල් ලෝක මාධ්‍ය දින ප්‍රධාන සමුළුවේ සත්කාරකත්වය දරා තිබේ. පළමු සමුළුව පැවැත්වුණේ ලන්ඩන් නුවරය. මෙතෙක් අමෙරිකාව ඊට සත්කාරකත්වය ලබාදී ඇත්තේ එක් වතාවකදී පමණි. ඒ 2011දී ය. 2006 වසරේදී සමුළුව ශ්‍රී ලංකාවේදී ද පැවැත්විණි. ඉකුත් වසරේදී එය පැවැත්වුණේ පින්ලන්තයේ හෙල්සින්කි නුවරදීය. මෙවර සමුළුව සඳහා ඉන්දුනීසියාව සත්කාරකත්වය ලබාදේ.

මාධ්‍ය නිදහස මානව හිමිකම් රැකීමේ මුරගලකි යන තේමාවෙන් පටන්ගෙන යුද ගැටුම් වාර්තාකරණය සහ ලෝක ත්‍රස්තවාදය, මාධ්‍ය සහ සන්නද්ධ ගැටුම්, මාධ්‍ය සහ යහ ආණ්ඩුකරණය, වර්ගවාදය පිටුදැකීම සහ විවිධත්වය වර්ධනය කිරීමෙහිලා මාධ්‍යයේ කාර්යභාරය, තොරතුරු දැනගැනීමේ නිදහස, මාධ්‍ය නිදහස වඩා යහපත් අනාගතයක් උදෙසා, 21 වැනි සියවසේ මාධ්‍ය: නව පෙරමුණු නව බාධක වැනි වැදගත් තේමා රැසක් ඔස්සේ මෙතෙක් එය පැවැත්වී තිබේ. එලෙස අවධානයට හා සංවාදයට ලක්වූ මාතෘකා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ප්‍රමාණය මත වඩා යහපත් අනාගතයක් පිළිබඳ අපේක්ෂා රැඳවී ඇත. එය තනිකරම මාධ්‍ය හෝ මාධ්‍යකරුවා මත පමණක් පැවරෙන වගකීමක් නොවේ. ආණ්ඩුවලට සහ සමස්ත සමාජයට ද එහිදී කාර්යභාරයක් පැවැරී ඇත.

නව අදහස දක්වන්න