ලෝක ඉතිහාසයට ශ්‍රී ලංකාව ගෙන ගිය සදාදරණීය නායකයා | දිනමිණ

ලෝක ඉතිහාසයට ශ්‍රී ලංකාව ගෙන ගිය සදාදරණීය නායකයා

අනගාරික ධර්මපාලතුමා (සිරි දේවමිත්ත ධර්මපාල හිමි) අපවත් වී අදට (29) වසර 84 ක් සපිරීම නිමිත්තෙනි.

මෙයට වසර 152 ට පෙර ඉපිද ලක් මාතාව ජවයෙන් පුරවා බොදු හැඟුමෙන් පුබුදුවා ජාතික අනුරාගයෙන් ජාතිය එකලුකළ අනගාරික ධර්මපාලතුමා සමස්ත ජාතියේම උපහාර ලැබිය යුතු ශ්‍රේෂ්ඨතම යුග පුරුෂයාය.

1864 සැප්තැම්බර් 17 දින අප කතානායකගේ උපත ලැබීය. දොන් ඩේවිඩ් හේවිවාතාරණ නම්ලත් මෙතුමා 1869 දී පිටකොටුවේ මැලිබන් වීදියේ තිබූ කතෝලික පාසලට ඇතුළත් කළ අතර 1874 ශාන්ත බෙනඩික් පාසලටත්, 1876 කෝට්ටේ ක්‍රිස්තියානි (ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය) පාසලටත්, 1878 කොටහේන සාන්ත තෝමස් විද්‍යාලයටත් ඇතුළත් කරන ලදී. මේ අතරතුර කොටහේන දීපදුත්තාරාමය අසල ඉදිකර තිබූ දොන් කරෝලිස් මහතාගේ නිවසට සිංහල ගුරුවරයෙක් ගෙන්වා සිංහල ඉගැන්වීම සිදු විය.

1891 බුද්ධගයාවට ගිය‍ මෙතුමා සිදුවූ අතිවිශාල විනාශය දැන මහත් සංවේගයට පත්ව බුද්ධගයාව බේරාගැනීමේ සටන ආරම්භ කරමින් සිංහලයිනි, නැගිටිව් බුද්ධගයාව බේරාගනිව්, කාහල නාදය රට පුරා ගෙන ගිය අතර එම වසරේම මහබෝධි සමාගම ඇරඹීය.

1893 අමෙරිකාවේ චිකාගෝ නුවර පැවැති ලොක් ආගමික සමුළුවේ දී ධර්මපාලතුමා කළ කතාව සිංහල බෞද්ධයෙක් ලොව හමුවේ කළ අති දැවැන්ත දේශනය ලෙස ප්‍රකටය. මෙයින් උද්දාමයට පත් උගතුන්, ධනවතුන් යුරෝපය පුරා බුදුදහම වැළඳ ගන්නට වූයෙන් අමෙරිකාව, බ්‍රිතාන්‍යයේ රටවලට බුදුදහම හඳුන්වා දීමේ පුරෝගාමියා ලෙස ද මෙතුමා හැඳින්වේ.

1894 කල්කටා සරසවියේ උපාධි පරීක්ෂණය සඳහා පාලි භාෂාව ඇතුළත් කිරීමට එහි උපකුලපතිතුමා අශුකෝන් මුඛර්ජි මහතා පියවර ගන්නේ ධර්මපාලතුමාගේ හා ශතිශ්චන්ද්‍ර විභිෂනතුමාගේ ඉල්ලීඹකට අනුවය.

1906 යනු අනගාරික ධර්මපාල චරිතයේ වැදගත්ම වසරක් ලෙස හැඳින්විය හැකිය. එම වසරේදී 'සිංහල බෞද්ධයා' ‍පත්‍රය ආරම්භ කළ අතර හිනිඳුම ඉඩම මිලට ගෙන හිනිදුව පාසල පටන් ගැනීමත්, 1906 බුද්ගයා නඩුව ඉන්දීය අධිකරණය මඟින් අවසන් කළේ ධර්මපාලතුමා පරාජයට පත්කරමින් මේ සියල්ලටම වඩා තම සියලු වැඩකටයුතුවලදී ඉටු දෙවියකු ලෙස පිහිටවූ නොමසුරුව තම කටයුතු ඉටු කළ දයාබර පියාණන් එච්. දොන් කරෝලිස් මුදලිතුමාගේ අභාවය සිදුවීම මහත්ම පාඩුවක් විය. එම වර්ෂයේම එනම් 1906 ඔක්තෝබර් 07 වන දින තම පියා ‍සිහිවීම සඳහා රාජගිරිය හේවාවිතාරණ පාසල ආරම්භ කළහ.

රජරට පාසල් භාරගන්නා අවස්ථාවේ මහාබෝධි සමාගම මඟින් පාලනය කළ පාසල් 160 ක් රජයට බාරදෙන ලදී. සිංහල ජාතියට අසීමිතව ආදරය කළ බෞද්ධකම දිවි හිමියෙන් රැකගෙන එය අනාගත පරපුරේ දරුවනට දායාද කළ රටවල් 30 ගණනක ඇවිද සමහර ඒ රටවලට බුදුදහම හඳුන්වා දුන් එතුමා ආදරයෙන් කතා කළ අවස්ථා මෙන්ම රළු පරළු ලෙස බැණවැදුණු අවස්ථා ද එමටය.

1931 ධර්මපාල භාරකාරක මණ්ඩලය පත්කර ලංකාවෙන් නික්මුණු ධර්මපාලතුමා 1931 ජූලි 31 වන සිකුරාදා පෙරවරු 9.30 ට යෙදුන සුබ මොහොතින් සිරිදේවමිත්ත ධම්මපාල යන නමින් උතුම් පැවිදි බව ලැබීය.

විගදායේ ඉදිකළ මූලගන්ධකුටි මහා විහාරය විවෘත කිරීමේ මංගල්‍යයි. බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වීමෙන් හා ශ්‍රී සම්බුද්ධ ගන්ධකුටි විහාරය පැවතියෙන් පරම පූජනීයත්වයට පත්ව තිබූ මෙහි විවෘත කිරීම සඳහා පැමිණියේ හදවතින්ම බෞද්ධයෙකු වූ බව පෙන්වූ ඉන්දියාවේ ජවහල්ලාල් නේරු තුමන්ය. එතුමා සභාව අමතමින් ධම්මපාල ස්වාමීන් වහන්සේගේ පරිශ්‍රමය නිසා ඉන්දියාවට ලැබුණු මහත්ම දායාදයක් ලෙස මේ විහාරය සලකන බව පැවසීය. මෙයින් මහත් ප්‍රබෝධයට පත්ව සිටි ධම්මපාල හිමියන් උපසම්පදා කටයුතු සූදානම් කළ අතර මේ සඳහා මල්වතු පාර්ශ්වයේ අනුනායක මඩුගල්ලේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමියන් ද, විද්‍යෝදය පරිවේනාධිපති කහවේ රතනසාර නාහිමි ඇතුළු මහ තෙරවරුගේ ද සහභාගිත්වයෙන් 1933 ජනවාරි 16 වන දින සිරිදේවමිත්ත ධම්මපාල ස්වාමීන් වහන්සේ අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබීය.

මෙලෙස තම ජීවිතයම බුදු සසුන වෙනුවෙන් සිංහල ජනතාව වෙනුවෙන් කැප කළ අසහාය මේ නායකයා තමා විසින් ඉදිකළ මූලගන්ධිකුටි විහාරය දෙස බලාගෙන තව 25 වතාවක් ඉපිද බුදු සසුන සමෘද්ධියට පත්කරන්නේවායි ප්‍රකාශ කර 1933 අප්‍රේල් 29 දින අපවත් වී වදාළහ. එදා මෙදාතුර ලංකාවේ බිහිවූ ශ්‍රේෂ්ඨතමයාගේ සමුගැනීම එය විය.

චන්දන උපාලි පෙරේරා
සංවිධායක
ධර්මපාලවරු ජාතික සංවිධානය

නව අදහස දක්වන්න