නව ආරක්ෂක තනතුර ජනතා අයිතිවාසිකම් මර්දනයට නොවේ | දිනමිණ

නව ආරක්ෂක තනතුර ජනතා අයිතිවාසිකම් මර්දනයට නොවේ

බුද්ධිකා ඉඹුලාන

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෝන්සේකා මහතාට ලබා දීමට යෝජිත නව තනතුර මගින් ජනතාවගේ අයිතිවාසිකම් මර්දනයක් කිසිසේත් සිදු නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

සාධාරණ හේතුවක් නොවී දිනෙන් දින රට තුළ දිනෙන් දින පවත්වන උදිඝෝෂණ හා වර්ජන රැල්ල නිසා මහජනතාවගේ දෛනික ජීවිතයට වන බාධා මැඩලීමට අවශ්‍ය උපදෙස් ඇමැති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෙන්සේකා මහතාගෙන් ලබා ගැනීම රජයේ අපේක්ෂාව බවද අමරවීර මහතා පවසයි.

සෑම කරුණකටම උද්ඝෝෂණය කිරීම දැන් මෝස්තරයක් වී ඇතැයි පෙන්වාදෙන ඇමැතිවරයා පවසන්නේ මේ තුළින් රට අරාජික නොවී, ජනතාවට පීඩාවක් අත්නොවී ඔවුන්ගේ අත්‍යවශ්‍ය සේවා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා සරත් ෆොන්සේකා මහතා වෙත පවරන නව තනතුර උපකාරිවනු ඇති බවයි. ඊයේ (27) රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කලේය.

මෙහිදී මාධ්‍යවේදීන් ඇමැතිවරයා වෙතින් විමසුවේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆෙන්සේකා මහතාට ලබා දෙන තනතුරෙහි කාර්ය භාරය කුමක්ද? යන්නයි. එහිදී ඇමැතිවරයා පෙන්වා දුන්නේ කිසිදු වග විභාගයකින් තොරව, පදනමකින් තොරව පවත්වන උද්ඝෝෂණ, වර්ජන තුළින් ජනතාවට අත්‍යවශ්‍ය වන සේවා සැපැයුම අඩාල නොවීමට අවශ්‍ය ක්ෂණික සැලසුම් ඔහුගේ උපදේශකත්වයෙන් ගනු ඇති බවයි.

'සරත් ෆොන්සේකා මහතාගේමේ තනතුර පිළිබඳව මේ වන තෙක් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වී නැහැ. කැබිනට් රැස්වීමේදී කතාවුණේ මේ දිගින් දිගටම රැල්ලක් වී යන උද්ඝෝෂණ නිසා පාරවල් අවහිරවී, එදිනෙදා වැඩකටයුතු කරගන්නට ජනතාව විඳින පීඩාවට යම් විසඳුමක් අවශ්‍යතාවයයි. මේ සඳහා උපදේශයක් ලබා ගැනීමට සහය වන්නට හැකි දැයි සරත් ෆොන්සේකා මහතාගෙන් එහිදී විමසීමක් කළා. එසේ නොමැතිව කැරලි මර්දන ඒකකයක් හදන්න, හමුදා පාලනයක් ගෙන යන්න ජනාධිපතිතුමා යෝජනා කළේ නෑ. මේ ගැන මාධ්‍ය විවිධ අර්ථකථන දී තිබුණා. නමුත් ඒවායෙහි සත්‍යයක් නැහැ.

මේ දිනවල ආසන්නතම සිද්ධිය වන ඛණිජතෙල් වෘත්තීය සමිති උද්ඝෝෂණය බලන්න. එය එසේ අවසන් නොවූවානම් රටේ බොහෝ ක්ෂේත්‍ර අඩපණ වන්නට තිබුණා. නමුත් මෙවැනි අවස්ථාවක් ඉදිරියට ඇති වුවහොත් ඒ සඳහා නිසි විසඳමක් ලබා දෙන්නට දරත් ෆොන්සේකා මහතාට හැකිවෙයි. මොකද ඔහු යුද්ධයක් ජයගන්නට හැකිවූ හොඳ මඟ පෙන්වන්නෙක් නිසා. මෙහිදී හමුදාවට උපදෙස් දෙන්න හෝ කැරැලි මර්දන ඒකක ගෙන්වන එක නොවේ. ඔහු ඇතැම් විට යුද හමුදාව හෝ යොදා එම ප්‍රශ්නයට විසඳුම් ලබා දේවි.

මම මාධ්‍යයෙන් ඉල්ලන්නේ, මේ නානාවිධ උද්ඝෝෂණ පවත්වන අයගේ උද්ඝෝෂන එක මාසයක් වාර්තා කරන්නේ නැතිව ඉන්න. මේවා ඔවුන් කරන්නේ බහුතරයක් ප්‍රසිද්ධ වන්නට. ඒ නිසා ප්‍රසිද්ධිය නැතිවන විට ඉබේම මේ රැල්ලත් නැතිවෙයි.

ඡායාරූපය-විමල් කරුණාතිලක 

නව අදහස දක්වන්න