බිරිය සැමියා මරා රහසඟ කපා විසිකරලා | දිනමිණ

බිරිය සැමියා මරා රහසඟ කපා විසිකරලා

දෙල්ගොඩ සමූහ -සුදත් පුබුදු කීර්ති

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් විසිඅට හැවිරිදි සැමියාට සිය නිවස තුළදී පිහියකින් ඇන ඝාතනය කළ තිස්තුන් හැවිරිදි බිරිය මීගහවත්ත පොලිසියට ඊයේ (27) අලුයම භාරවී ඇත. මෙසේ ඝාතනය කර ඇත්තේ දෙල්ගොඩ, අකුරුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වී. පී. මහේෂ් ප්‍රියන්ත නැමැති (28) තිදරු පියෙකි.

ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වන අතර නිවස තුළ බිරිය සමඟ ඇතිවූ බහින්බස්වීමකින් පසු එම පුද්ගලයා නිවසේ නිදාගෙන සිටියදී භාර්යාව විසින් ඔහුගේ ගෙල කපා මේ මරණය සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි.

මරණකරු මේ අවස්ථාවේ මත්පැන් පානය කර සිට ඇති බවට සැක කරන පොලිසිය භාර්යාව ගෙල කැපුවාට පසු ඔහු නිවස පිටුපස මිදුලට දිවවිත් වැටී ඇති බවත් එම අවස්ථාවේදී එම කාන්තාව විසින් ඔහුට පිහියෙන් ඇන ඔහුගේ රහසඟ ද කපා සිරුරෙන් ඉවත්කර මිදුලේ වෙනත් තැනකට විසිකර දමා තිබූ බව පොලිසිය පවසයි.

මේ ඝාතනය සඳහා උපයෝගි කරගත් නිවසේ මුළුතැන්ගෙයි එළවළු කපන පිහියත් සමඟ පොලිසියට භාරවූ මරණකාරිය පොලිසියට පාපෝච්චාරණය කර ඇත්තේ සැමියාගේ අනියම් සබඳතාවක් මත ඇතිවූ බහින්බස්වීමකදී ඇය විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

සිද්ධිය වූ ස්ථානයට ඊයේ (27) දහවල් පැමිණි මහර මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයසුන්දර මහත්මිය විසින් මෙම ඝාතනය සම්බන්ධව මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණ කටයුතු ගම්පහ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සම්පත් ජයවර්ධන මහතා විසින් පවත්වන ලදී. මේ ඝාතනය සම්බන්ධයෙන් භාරවූ මරණකරුගේ භාර්යාව ඊයේ (27) මහර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මීගහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වික්‍රමසිංහ, කැලණිය කොට්ඨාස අපරාධ පරීක්ෂණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. පී. කහටපිටිය, පො. කො. 81868 අමරසිංහ, පො. සැ. 29323 ජයතිස්ස, පො. කො. 88790 කුමාර, පො. කො. 85395 ජයශාන්ත, පො. කො. 40820 ලසන්ත යන නිලධාරීහු මේ සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති. 

නව අදහස දක්වන්න