අගමැතිගේ ඉන්දියා සංචාරය | දිනමිණ

අගමැතිගේ ඉන්දියා සංචාරය

ඉන්දියා ස්වදේශ අමැති රාජ්නාත් සිං හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් සමඟ සාකච්ඡාවලට එක්වූ දෙපාර්ශවයේ නියෝජිත පිරිස්.

අවබෝධතා ගිවිසුම දෙරටම සම ප්‍රතිලාභ දෙනවා
- ඉන්දියා විදේශ ඇමැතිනි සුෂ්මා ස්වරාජ්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම දෙරටේ මිත්‍රත්වය, සුහදත්වය හා සහෝදරත්වය මුල් කර ගනිමින්, දෙරටේම ජනතාව වෙත අන්‍යෝන්‍ය වශයෙන් සමබර ප්‍රතිලාභ ලැබීම අරමුණු කර ගත් මූලික ලියැවිල්ලක් බව ඉන්දීය විදේශ ඇම­ැතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය පැවැසුවාය.

මේ ලියැවිල්ල පදනම් කර ගනිමින්, විවිධ ක්ෂේත්‍ර‍ සංවර්ධනය කිරීම පිළිබඳව එකඟත්වයනට එළැඹිය හැකි බවත්, ඒ ඔස්සේ සංවර්ධන කාර්යයන් කඩිනම් කළ හැකි බවත් විදේශ ඇමතිනිය පෙන්වා දුන්නාය.

ඉන්දීය විදේශ ඇමතිනිය සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා 26 වන දා නවදිල්ලි නුවර දී පැවැත්විණි.

ඉන්දියා-ශ්‍රී ලංකා සබඳතා තරවීම කලාපයේ ආරක්ෂාව සහතික කිරීමට යොදා ගනිමු
- ඉන්දියා ස්වදේශ ඇමැති රාජ්නාත් සිං

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා යළි ශක්තිමත් හා ගැඹුරු තලයකට පත්වී තරවෙමින් තිබෙන බවද මේ තත්ත්වය උදා කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සේවාව අගය කරන බව ද ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා පැවැසීය.

ඉන්දියාවේ නවදිල්ලි නුවර දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස හමුවෙමින් රාජ්නාත් සිං මහතා මේ බව ප්‍රකාශ කළේය.

වසර දහස් ගණනක් පුරා දෙරට අතර ඓතිහාසික, සංස්කෘතික, ජනවාර්ගික හා ශිෂ්ටාචාරීය සබඳතා පැවතුණ ද, විවිධ අවස්ථාවල ඒ සබඳතා යම් යම් පළුදු වීම්වලට ද ලක් වුණ වග ඒ මහතා සඳහන් කළේය.

කලාපයේ ආරක්‍ෂාව, නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම උදෙසා ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන් උපරිම වශයෙන් භාවිත කළ යුතු බවද පෙන්වා දුන්නේය.

කලාපීය හා ගෝලීය ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මිනිස් ජාවාරම්, හොර සල්ලි ආදී විවිධ නීති විරෝධී ක්‍රියාවන් මැඬලීම උදෙසා දෙරටේම බුද්ධි අංශ සමීපව ක්‍රියා කිරීමේ වැදගත්කම හා අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

දෙරටේ බුද්ධි අංශ අතර නිරන්තර සංවාදයක් පැවැතිය යුතු බව දෙපාර්ශවයේම අදහස විය.

එසේම ශ්‍රී ලංකාවේ පොලිස් සේවය නවීකරණය කිරීමේ දී ඉන්දීය අත්දැකීම් කෙතරම් ඉවහල් කර ගත හැකි ද යන්න පිළිබඳව ද විමසා බැලීම සුදුසු බවට අදහස් හුවමාරු කර ගැනිණි.

ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ජාත්‍යන්තර ආරක්‍ෂාව භාර විශේෂ ලේකම් ආචාර්ය රිනා මිත්‍රා , බුද්ධි අංශ අධ්‍යක්‍ෂ රජීව් ජෙයින් , ජාත්‍යන්තර සහයෝගීතා සම ලේකම් සහේලි ඝෝෂ් , විදේශිකයන් පිළිබඳ සම ලේකම් මුකේෂ් මිත්තාල්, ධීවර කටයුතු පිළිබඳ සම ලේකම් ආදිත්‍යා ජෝෂි , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් ඉන්දීය පාර්ශවය නියෝජනය කළ අතර, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යංශයේ දකුණු ආසියා සහ සාර්ක් කලාපීය ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ ජනරාල් අසෝක ගිරිහාගම සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට එක් වූහ.

ඉන්දු–ශ්‍රී ලංකා ධීවර ගැටලු විසඳන්න

ඉන්දියා – ශ්‍රී ලංකා ධීවර ගැටලු සම්බන්ධයෙන් ද ඉන්දියා විදේශ ඇමැතිනී සුශ්මා ස්වරාජ් සමඟ සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු අතර. ශ්‍රී ලංකා මුහුදු සීමාවට පිවිසෙන ඉන්දීය ධීවරයන් ඉන් වළක්වාලීම උදෙසා ඉන්දීය මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයයන් විසින් ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව ඇමැතිනී ස්වරාජ් මහත්මිය අනාවරණය කළාය. ඒ අනුව ඉදිරි වසර 3 ක කාලය තුළ ක්‍රමානුකූලව ඒ සියලු ධීවරයන් ගැඹුරු මුහුදු ධීවර කර්මාන්තය සඳහා යොමු කෙරෙන අතර, මුල් කණ්ඩායම පුහුණු කිරීමේ කාර්යයන් දැන් ආරම්භ කර තිබේ. එසේම මතභේදයට තුඩු දී ඇති බොටම් ට්‍රෝලින් යාත්‍රා අලූතින් ලියාපදිංචිය දැන් ක්‍රමිකව අත්හිටුවමින් යන බව ද විදේශ ඇමතිනිය පෙන්වා දුන්නාය.

ඉන්දියාව-ජපානය ශ්‍රී ලංකාව එකට වැඩ කිරීම

ඉන්දියාව හා ජපානය අතරත්, ශ්‍රී ලංකාව සහ ජපානය අතරත් ඉතා සමීප සබඳතාවන් පවතින හෙයින්, ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සිදු කිරීමේ දී, ඉන්දියාව, ජපානය සහ ශ්‍රී ලංකාව එකට එක්ව ක්‍රියා කිරීමේ අවස්ථා ගණනාවක් ඇති බව ද අගමැති රනිල් වික්‍රමසිංහ හා ඉන්දියා විදේශ අමැතිනි සුෂ්ම ස්වරාජ් මහත්මිය අතර සාකච්ඡාවලදී අවධාරණය කළාය.

දෙරට අතර ඇති ඓතිහාසික සබඳතා අනාගතය දක්වා ගෙනයාමේ දී, විවිධ මට්ටම් වලින් ඒ සබඳතා ශක්තිමත් කරලීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. රාජ්‍ය, පුද්ගලික ව්‍යවසාය, ආයෝජන මෙන්ම අධ්‍යාපන, සංස්කෘතික, තාක්‍ෂණ, සමාජයීය ආදී විවිධ ක්ෂේත්‍ර තුළින් මෙම සම්බන්ධතා වර්ධනය කළ යුතු බව ද වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඉන්දියා සාගර සමුළුව අගමැති රනිල්ගේ සභාපතිත්වයෙන්

ඉන්දීය සාගර කලාපීය සාමය සහ නාවුක ගමනාගමන නිදහස පිළිබඳව ශ්‍රී ලංකාව දක්වන සැලකිල්ල අගය කළ ඉන්දීය විදේශ ඇමතිනිය ඉන්දීය පදනම මගින් සංවිධානය කරන ඉන්දීය සාගර සමුළුව නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළාය.

මෙම සමුළුවේ සභාපතිත්වය අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතාට පිරිනැමෙන අතර, සම සභාපතිත්වය දරනුයේ සුෂ්මා ස්වරාජ් මහත්මිය විසිනි.

ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය එස්. ජයිශන්කර්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඉන්දීය පාර්ශවය නියෝජනය කළ අතර, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහත්වරුන් ප්‍රමුඛ නියෝජිතවරු මේ සාකච්ඡාවට සහභාගී වූහ.

අවුරුදු සීයක් නොකැඩෙන්න පාරවල් හදන ඉන්දියා තාක්ෂණය ශ්‍රී ලංකාවටත්

 යාපනය – මන්නාරම – ත්‍රිකුණාමලය මහා මාර්ගය සහ දඹුල්ල – ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගය ඇතුළුව ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන කාර්යයන් සඳහා ඉන්දීය මාර්ග ප්‍රවාහන, මහාමාර්ග සහ නාවුක අමාත්‍යංශයේ පූර්ණ සහාය ලබා දෙන බව එම අමාත්‍ය නිතින් ගද්කාරි මහතා පැවැසීය.

26 වන දා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ශ්‍රී ලාංකික නියෝජිත පිරිස හමුවෙමින් ගද්කාරි මහතා මේ බව පැවැසීය.

මේ වන විට තම අමාත්‍යංශය යටතේ දිනකට කිලෝමීටර 23 ක මහා මාර්ග ඉදි කෙරෙමින් පවතින බවද නවීන තාක්‍ෂණය හා සිය අත්දැකීම් පදනම් කරගනිමින් වසර සියයක් පුරා කල්පවතින අන්දමින් මාර්ග ඉදිකිරීමේ තාක්ෂණය දැන් ඉන්දියාව සතු බවද අවධාරණය කළ ගද්කාරි මහතා, එවන් ඉහළම ප්‍රමිතියකින් යුතු මාර්ග ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ද අවධාරණය කළේය.

මහා මාර්ග සහ අධිවේගී මාර්ග ආශ්‍රිතව නව ආර්ථිකයන් නිර්මාණය කරලීමේ අවශ්‍යතාව හා හැකියාව සම්බන්ධව ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි. යාපනය, මන්නාරම හා ත්‍රිකුණාමලය යා කෙරෙන මාර්ගයක් ඉදි කිරීම නිසා උතුරේ ආර්ථිකය යළි පණගැන්වීමට අවශ්‍ය පසුබිම සකස් කර ගත හැකි ආකාරය පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනිණි. ඉන්දීය නාවුක ආමාත්‍යංශ ලේකම් රජීව් කුමාර් මාර්ග ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් සන්ජේ මිත්‍රා , අතිරේක පුද්ගලික ලේකම් වඕභාව් ඩන්ගෙ මහත්රුන් ඉන්දීය පාර්ශවය නියෝජනය කරමින් සාකච්ඡාවට සහභාගී වූහ. 




නව අදහස දක්වන්න