ආසියානු ග්‍රොන් ප්‍රී දෙවැනි අදියරේ රන් සිහින බොඳ වෙයි | දිනමිණ

ආසියානු ග්‍රොන් ප්‍රී දෙවැනි අදියරේ රන් සිහින බොඳ වෙයි

ප්‍රින්ස් ගුණසේකර
මීටර් 800 කාන්තා ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනාගත් නිමාලී ලියනාරච්චි, රන් පදක්කම දිනූ චීනයේ වෑන්ග් චෙන් හා රිදී පදක්කම දිනූ ඉන්දියාවේ ටින්ටූ ලූකා සමග සටනේ.

ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියේ දෙවැනි අදියරේදී රන් පදක්කම් බලාපොරොත්තු සුන්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් හිමි වෙයි. චීනයේ නැ‍ඟෙනහිර ෂේජියෑන් පළාතේ ජියෑෂින්ග්හීදී (jiaxing) ඊයේ පැවැති තරගාවලියේදී මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම හිමාෂ ඒෂාන් හා මීටර් 800 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම නිමාලී ලියනාරච්චි හිමිකර ගත්හ.

ෂැංහෑයි සිට කිලෝමීටර් 98ක් දුරින් පිහිටි ජියෑෂින්ග් ක්‍රීඩා සංකීර්ණය අවට ඊයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 11ක් දක්වා පහළ බැස තිබූ හෙයින් චීන ජාතිකයන් හැර අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දැඩි අසීරුතාවට පත්ව සිටියහ. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ රන් පදක්කම් බලාපොරොත්තු අධික ශීතල හමුවේ සැගවී ගිය බව කණ්ඩායමේ කළමනාකාරීත්වය සඳහන් කළේය.

මෙහි පළමු අදියරේදී ද රිදී පදක්කමකින් සෑහීමට පත්වූ හිමාෂ ඒෂාන් ඊයේ දෙවැනි තැනට පත්වෙමින් ගතකළ කාලය තත්පර 10.47කි. ඔහු පළමු අදියරේදී තත්පර 10. 43ක කාලයක් වාර්තා කළේය. එහි රන් පදක්කම චීනයේ මී හොන්ග් තත්පර 10. 40කින් හා ලෝකඩ පදක්කම ඉන්දුනිසියාවේ බොබී යස්පී තත්පර 10. 50කින් දිනා ගත්හ.

මීටර් 800 කාන්තා ඉසව්වේදී නිමාලී ලියනාරච්චි විනාඩි 2: 07.51ක කාලයක් වාර්තා කළ අතර පළමු අදියරේදී ඇය විනාඩි 2: 08. 47කින් පස්වැනි ස්ථානයට පත්විය. ඇය සමග තරග කළ ගයන්තිකා අබේරත්න පළමු අදියරේදී විනාඩි 2: 03. 78කින් ලෝකඩ පදක්කම දිනාගත්තද, ඊයේ දිනයේ විනාඩි 2: 10. 42කින් 5වැනි ස්ථානයට පත්විය. මේ ඉසව්වේ රන් පදක්කම චීනයේ වෑන්ග් චෙන් විනාඩි 2: 05. 86කින් හා රිදී පදක්කම ඉන්දියාවේ ටින්ටූ ලූකා 2: 06. 32කින් සතුකර ගත්හ.

තරගයෙන් අනතුරුව හිමාෂ ඒෂාන් පැවැසූවේ ගතකළ කාලය පිළිබඳ සතුටට පත්වන බවය. “තත්පර 10ක කාලය තුළ රැදී සිටීමට හැකිවීම පිළිබඳ මා සතුටට පත්වෙනවා. ජැමෙයිකාවේ පුහුණුවෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණ පසු දිනම නැවැත චීනයට එන්න සිදුවීමෙන් ගමන් මහන්සිය තවමත් තියෙනවා. චීනයේ අධීක ශීතලකින් තරග කිරීමත් අභියෝගයක්. මීළඟ අදියරේදී රන් පදක්කමට දිනන්න බලාපොරොත්තු වෙනවා” හිමාෂ පැවැසීය.

පළමු අදියරේදී ලද පසු බැසීම අමතක කොට තරගයට අවතීර්ණවීම මේ ජයග්‍රහණයට හේතුවක් බව නිමාලී ලියනාරච්චි පැවැසුවාය. ඇයගේ පෞද්ගලික පුහුණුකරු සුජිත් නිලන්ත මහතා පැවැසූවේ නිමාලී ලියනාරච්චි ශීත දේශගුණය මැද පැවැති තරගාවලිවලදී ක්‍රමයෙන් දක්ෂතා අතරට පැමිණෙන බවය. “මෙයට පෙර කොරියාවේදී හා ස්කොට්ලන්තයේදී නිමාලී මෙවැනිම කාලගුණික තත්ත්වයක් මැද අසාර්ථක වුණා. නමුත් චීනයේදී තරග අදියර තිබූ නිසා ඇය දැන් හුරු වෙලා. මීළඟ අදියරේදී මෙයට වඩා හොඳ ප්‍රතිඵලයක් අපේක්ෂා කළ හැකියි” නිමාලීගේ පුහුණුකරු සඳහන් කළේය.

පළමු අදියරේදී රන් පදක්කමක් දිනාගත් මීටර් 800 පිරිමි ඉසව්වට එක්වූ ඉදුනිල් හේරත් ඊයේ දිනයේ විනාඩී 1: 50. 99කින් සිවුවැනි ස්ථානයට පත්විය. ආසියානු ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අදිටනින් හොඳ කාලයක් වාර්තා කිරීම තම අරමුණවූ බව හෙතෙම පැවැසීය. තරගයේ මුල් මීටර් 600ක දුරක් ඉදිරියෙන් පැමිණිමට සමත්වූ ඉඳුනිල් හේරත්, හඹා ගොස් ක්වේට්හී ඒබ්‍රහිම් අල්සොෆාරී විනාඩි 1: 50. 06කින් රන් පදක්කම, චීනයේ ඩෂාන් ෂෑන්ග් විනාඩි 1: 50. 80කින් රිදී පදක්කම හා ජපානයේ ටාචී ඉකිනෝ විනාඩි 1: 50. 89කින් ලෝකඩ පදක්කම හිමිකර ගත්හ.

මීටර් 100 ඉසව්වට එක්වූ රුමේෂිකා රත්නායක තත්පර 11. 81කින් සිවුවැනි ස්ථානයට පත්වූ අතර එහි රන් පදක්කම තත්පර 11. 36කින් කසකස්තානයේ වික්ටෝරියා සයබිකිනා හිමිකර ගත්තාය.

හෙල්ල විසි කිරීමේදී සුමේධ රණසිංහ මීටර් 74. 85කින් 6වැනි ස්ථානය හා වරුණ ලක්ෂාන් මීටර් 73. 74කින් 7වැනි ස්ථානයට පත්වූ අතර රන් පදක්කම දිනාගත් තායිපේ ක්‍රීඩක චෙන්ග් චාඹ් මීටර් 86. 92ක දක්ෂතාවක් දැක්වීය. තුම් පිම්ම තරගයේදී සංජීව ජයසිංහ මීටර් 15. 03කින් 6වැනි ස්ථානයට පත්වූ අතර පළමු ස්ථානය චීනයේ කාඹ් සාහූ මීටර් 16. 59කින් දිනා ගත්තේය. පිරිමි මීටර් 800 තරගයේදී අජිත් පුෂ්පකුමාර තත්තපර 49. 53කින් 5වැනි ස්ථානයට පත්වූ අතර එහි රන් පදක්කම දිනාගත් වියට්නාමයේ ලිච් කොන්ග් තත්පර 47. 13කින් තරගය නිම කළේය. යගුලිය විසි කිරීමේදී තාරිකා ප්‍රනාන්දු මීටර් 14. 58කින් 5වැනි ස්ථානයට පත්වෙද්දී චීනයේ බියන් කා මීටර් 18. 08ක දුරක් විසි කළාය. කාන්තා උස පැනීමේ ඉසව්වට එක්වූ තරංගා විනෝදනී මීටර් 1.65ක පළමු කඩඉම පසු කිරීමට අසමත්වීමෙන් තරගයෙන් ඉවත් කෙරුණි.

ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියේ තෙවැනි හා අවසන් අදියර මේ 30වැනිදා චීන තායිපේ හීදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

නව අදහස දක්වන්න