ගම්පහ නළ ළිං! | දිනමිණ

ගම්පහ නළ ළිං!

 පරිසරයේ තුලිත බව බිඳ දැමීම මිනිසා විසින් සිදු කරනු ලබන මහා පාපකර්මයක් ලෙස හැඳින්විය හැකි ය. මහා පාපකර්මය යන විශේෂණය මේ සඳහා යෙදීම යුක්ති සහගත වන්නේ එහි අනිටු විපාක අනාගත පරපුරට දායාද වන බැවින් ය. ලෝකය තදබල ලෙස උණුසුම්වී ඇත්තේ පරිසරය ගැන නොතකා සිදු කරන මිනිස් ක්‍රියාකාරකම් නිසා ය. මෙතෙක් ඉතිහාසය තුළ ලෝකයේ තාප මට්ටම ඉහළින් ම වාර්තා වී ඇත්තේ 1016 වර්ෂයේ ය. දැන් එය ලෝක පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබේ. තාපයේ හා නියඟයේ තත්ත්වය සෝමාලියාව, ඉතියෝපියාව වැනි රටවල් දෙස බලන විට හොඳින් පැහැදිලි වෙයි.

ශ්‍රී ලංකාවේ අප ජීවත්වන්නේ මේවා ගැන නො ඇසූ කන් ඇතිව ය. පිරිසුදු ජල සම්පත් ඇති බවට ද, වැව් අමුණු ඇති බවට ද, වර්ෂා වනාන්තර ඇති බවට ද පාරම්බාන අපේ ජනතාව පාරිසරික සාධක තුට්ටුවකට ගණන් ගන්නේ නැත. අප පසුවන්නේ මුළාවක ය. පාරිසරික ගැටලු මේ වනවිටත් අපේ දොරකඩට පැමිණ තිබේ. නුවරඑළිය දෙස බලන්න! පෙරේදා එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 24ට නැඟ තිබේ. සාමාන්‍ය ලෙස එහි උෂ්ණත්වය පැවැතිය යුත්තේ සෙල්සියස් අංශක 11,12, 13 අතර ය. වසර කිහිපයක සිට නුවරඑළියේ උෂ්ණත්වය කෙමෙන් ඉහළ යමින් පවතින බව සංඛ්‍යා - දත්තවලින් පෙනී යයි.

ඉහත පූර්විකාව ලියා තැබූයේ රටේ උග්‍රවන ජල ගැටලුව පිළිබඳ කතා කිරීමට උපකාරයක් හැටියට ය. කව්රුත් දන්නා ලෙස රටේ සෑම දිස්ත්‍රික්කයක් තුළම ජල හිඟයක් පවතී. එය වෙනදාට වඩා තදින් දැනෙන්නට පටන්ගෙන තිබේ. එක අතෙකින් වසර කිහිපයක සිට ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබී නැත. තව අතෙකින් ජලාශ හා වැව් ශීඝ්‍රයෙන් හි‍ඳෙන්නට පටන්ගෙන තිබේ. තවත් අතෙකින් වාරිමාර්ග දුර්වලය. භූගත ජලයට විවිධ රසායනික මිශ්‍රවීමේ ගැටලුවක්ද පවතී. වකුගඩු රෝගය පැතිර යෑමටද හේතුවක් සේ එය ගත හැකි ය. ජලසම්පාදන මණ්ඩලය අලුත් ම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අත්‍යවශ්‍යම දේවල්වලට පමණක් නළ ජලය භාවිත කරන හැටියට ය.

ජලය සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය ඉහත කරුණුවලින් පැහැදිලි වනු ඇත. තවදුරටත් ජලය පිළිබඳ ආඩම්බරයෙන් කතා කිරීමට හැකියාවක් අපට නැත. තාපය ඉහළ ගොස් ඇති අතර හැකිතාක් ජලය භාවිත කරන්නැ’යි සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. පාරක ගමන් ගන්නා විට ගිනියම් වූ වටපිටාවක් දකින්නට ලැබේ. දහවල් කාලයේ පමණක් නොව; හිමිදිරි උදෑසන පවා දැඩි තාපයක් දකින්නට ලැබේ. තාපයට ඔරොත්තු දීම සඳහා පිරිසුදු හා නො ඉඳුල් ජලය පාවිච්චි කළ යුතුය. එබඳු නැවුම් ජලයක් ඇත්තේ කොහි ද? නුවරඑළියේවත් නැත. නුවරඑළියේ තත්ත්වය එය නම්; අනෙකුත් ප්‍රදේශ ගැන කතා කිරීම පවා නිෂ්ඵල ය.

මේ අතර ගම්පහ දොරණාගොඩ ජල සම්පත් සුරැකීමේ සංවිධානයක්; ජනාධිපතිවරයාට හා ජල සම්පාදන මණ්ඩලයට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටින්නේ එම ප්‍රදේශවල ඉතා ගැඹුරට හාරනු ලබන නළ ළිං තහනම් කරන හැටියට ය. එබඳු නළ ළිං විශාල ප්‍රමාණයක් දිස්ත්‍රික්කය තුළ පිහිටුවා ඇත. ඒවා නොයෙක් ව්‍යාපාර සඳහා භාවිත කෙරේ. බොහෝ නළ ළිං භූගර්භයේ පිහිටි ගල විදගෙන ගොස් ඇති අතර ගැඹුර අඩි 150 හා අඩි 200 අතර වේ. මේ නළ ළිං මඟින් භූගර්භයේ සියලු ජලය උරාගනු ලබන අතර සාමාන්‍ය ළිං හා වාරිමාර්ග ද, ඇළවල් ද සිඳීයයි. මේ ක්‍රියාවලිය ස්වාභාවික ජල උල්පත්වලටද යම් බලපෑමක් සිදු කරයි.

ගම්පහ ප්‍රදේශය ස්වභාවික සම්පත් අතින් පොහොසත් භූගෝලීය කලාපයකි. ස්වාභාවික වැස්ස, ස්වාභාවික ඇළ මාර්ග හා ජල උල්පත්වලින් අඩුවක් ගම්පහ දිස්ත්‍රික්කයට තිබුණේ නැත. එහි කුඹුරු කන්න දෙකෙහිම වැඩ කළේ ය. එහෙත් ගිය වසරේ පුරන් වූ කුඹුරු ප්‍රමාණය අක්කර 3315 කි. මේ අනුව කුඹුරු පාළුව සලකා පවුල් 9924 කට වගා පාළු දීමනා ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා වැයකරන මුළු මුදල රුපියල් හත්කෝටි අසූ ලක්ෂය ඉක්මවා සිටී. ගම්පහ දිස්ත්‍රික්කයට පමණක් නොව; කළුතර හා රත්නපුර යන දිස්ත්‍රික්කවලට ද මේ තත්ත්වය බලපාන්නට පටන්ගෙන තිබේ. ජල හිඟය මේ ප්‍රදේශවල පොදු ගැටලුවක් බවට පත් වී ඇත.

ගැඹුරු නළ ළිං තහවුරු කිරීම මඟින් සිදුවන හානිය ගැන කිසිදු ආයතනයක් සොයා බලා නැත. දැන් එය ව්‍යාපාරයක් බවට පත් වී ඇත. එක ළිඳක් හෑරීම සඳහා රුපියල් ලක්ෂයේ සිට ඉහළට මුදල් අය කරනු ලැබේ. නළ ළිං හැරීමේ ප්‍රතිපත්තියක් නැත. නීති - රීති නැත. ඒ ගැන සොයා බැලීමකුත් නැත. ව්‍යාපාරික අදහස් මත අත්තනෝමතික ලෙස ළිං හෑරීම සිදුවේ. ඇතැම් පළාත්වල ප්‍රාදේශීය සභාවෙන් මේ සඳහා අවසරයක් ලබාගත යුතුය. එම අවසරය ලබාදෙන්නේ ද පාරිසරික සාධක සැලකිල්ලට ගනිමින් නොවේ. ප්‍රාදේශීය දේශපාලකයන්ගේ සහයෝගය ඇතොත්; නළ ළිං ඕනෑ තරම් ප්‍රමාණයක් හාරා ගත හැකි ය.

වියළි කලාපයේ හෝ ශූෂ්ක කලාපයේ හෝ නළ ළිං හෑරීමේ යුක්තියක් තිබේ. එම ප්‍රදේශවල ස්වාභාවික ජල උල්පත් නැත. එබැවින් භූගර්භයේ ජලය මතුපිටට ගත යුතුය. කාන්තාරවල ජල සම්පාදන ක්‍රමය ද එයම වේ. එහෙත් තෙත් කලාපයේ නළ ළිං පිහිටුවීම මඟින් පාරිසරික ගැටලු රැසක් ඇතිවිය හැකිය. ඉන් ප්‍රධාන වන්නේ සාමාන්‍ය ළිං සිඳීයෑම හා ජල උල්පත් සිඳීයෑම ය. පාරිසරික තුලිතභාවය අමානුෂික ලෙස විනාශ කර දැමීමේ පාඩුව තවම අප වටහාගෙන නැත. රටේ පවත්නා කුණු - කසළ පිළිබඳ ගැටලුව පවා පාරිසරික තුලිතභාවය බිඳ දැමීමට හේතුවෙයි. මේවා ගැන බරපතළ ලෙස කල්පනා කළ යුතු තැනකට අපි පැමිණ ඇත්තෙමු.

ගම්පහ ගැඹුරු නළ ළිං ව්‍යාපෘතිය දැන්වත් නතර කළ යුතුය. එසේ නොවුණහොත් මේ ප්‍රදේශයේ සදාතනික උරුමයක් ලෙස ජල හිඟය පවතිනු ඇත.

නව අදහස දක්වන්න