කරදර මැද්දෙ නවකතාවක් ලියන එක ලේසි නෑ | දිනමිණ

කරදර මැද්දෙ නවකතාවක් ලියන එක ලේසි නෑ

කාංචනා අමිලානි
ජේ මැක්නර්නි

ඔහු ප්‍රකට ඇමෙරිකානු නවකතාකරුවෙකි. 'බ්‍රයිට් ලයිට්ස්, බිග් සිටි', '‍රැන්සම්', 'ස්ටෝරි ඔෆ් මයි ලයිෆ්, බ්‍රයිට්නස් ෆෝල්ස්' ආදී නවකතා ලියූ ජේ ඇන්ජලීනා ජොලී රඟපෑ 'ජියා' හි තිර නාටකය ද ලිවීය. 'හව් ඉට් එන්ඩඩ්' නමින් කෙටිකතා සංග්‍රහයක් ද ප්‍රකාශයට පත් කළේ ය. පුවත්පත්වලට තීරු ලිපි සපයන හෙතෙම 'ද පෙන්ගුවින් බුක් ඔෆ් නිව් ඇමරිකන් වොයිසස්' සංස්කරණය කරයි. මේ ඔහු සමඟ කළ සංවාදයක පරිවර්තනයකි.

ඔබ ලේඛකයෙක් වෙන්න ඕනා කියලා තීරණය කළේ කවදාද?

අට වසරේ ඉන්නකොට මම ඩිලන් ‍තෝමස්ගෙ කවි පොතක් කියෙව්වා. ඔහු යෞවන හිත්වලට ඉතා ම පහසුවෙන් ළං වෙනවා කියලා මට හිතුණා. ටී.එස්.එලියට්ට වඩා සූක්ෂ්මව ඔහුට ඒක කරන්න පුළුවන්. ඔහුගේ කවි කියෙව්වාම අප

මත් වෙනවා. ඒ නිසා ම, ඔහුගේ කවි පොත් හැම එකක්ම වගේ මම ඉතා ම කෑදර සිතකින් කියවලා ඉවර කළා. ඊට පස්සේ ඒ වගේ තවත් කවි ලියන අය ඉන්නවද කියලා මම හොයමින් සිටියා. එලියට්, පවුන්ඩ් සහ රොබට්ර් ලොවෙල්,ජෝන් බැරීමන් ආදීන් පරම්පරාගතව ලිවීම ඉදිරියට කරගෙන ගියා. ඒත්, මම මුලින් විඳපු ආස්වාදය, ඊට පස්සේ ඒ හැටියෙන්ම මට විඳගන්න බැරි වුණා.

මෙහෙම අතර මැද තැනක ඉන්නකොට 'මම කවියෙක් වෙනවා' කියන අදහස මගේ ඔළුවට ඇතුළු වුණා. ඒ වාක්‍ය ඒ හැටියෙන්ම මම කියන්නත් පටන් ගත්තා. මේ වාක්‍ය මගේ තාත්තගෙයි, සීයගෙයි හදවත කඩලා බිඳලා දැම්මා. ඔවුන් හිතුවෙ නෑ කවියෙක් වීම ප්‍රධාන වෘත්තියක් කියලා. ඒකෙන් මුදල් උපයන්න පුළුවන් කියලා ඔවුන් විශ්වාස කළෙත් නෑ.

ඉන් පසුව ඔබට වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ජපානයට ශිෂ්‍යත්වයක් ලැබුණා. ජපානයේ ගිහින් ඔබ මොනවද හැදෑරුවේ?

මට ලොකු නවකතාවක් ලියන්න වුවමනාවක් තිබුණා. හැබැයි ඒකට රටින් පිටවෙලා, විප්‍රවාසීව ඉන්න ඕනා කියලා මම හිතුවා. ඒ යන්න ඕන රට පැරීසිය එහෙම නෙවෙයි කියලා ඒ වෙනකොටත් මම තීරණය කරගෙන හිටියේ. ඊළඟට මං හැරුණේ ජපානෙ පැත්තට. මගේ ශිෂ්‍යත්වය වුණේ ෆුජිනෝමියා කියන ප්‍රදේශයේ පිරිසකට ඉංග්‍රීසි ඉගැන්වීමයි. ඒක, ප්‍රින්ස්ටන් සරසවියෙන් ලබා දෙන හුවමාරු මාධ්‍යයේ ශිෂ්‍යත්වයක්. ඔවුන්ට ඉංග්‍රීසි භාෂාව උගන්වන ගමන් මම ජපන් ඉගෙන ගන්න පටන් ගත්තා. ඊළඟට කරාතේ සහ සෙන් ආගම ඉගෙන ගත්තා. ශිෂ්‍යත්වයට අදාළ කාලය ඉවර වුණාම මම කියෝ‍තෝවලට ගියා. කියෝ‍තෝව කියන්නේ ජපානේ පෞරාණික අග නගරය. ජපන් සංස්කෘතියේ මුල් තිබුණේ එහේ.

ජපානයේ ගත කළ ඔබේ ජීවිතය කොයි විදිහද?

පළමුවැනි අවුරුද්දෙම මම ඉතා ම හුදෙකලාවයි හිටියෙ. ඊට පස්සේ මගේ අනාගත බිරිය මුණ ගැහුණා. බීරහළකදියි මට එයා හම්බ වුණේ. එයා සියැටල්වල ඉඳන් ‍තෝකියෝවට ඇවිත් තිබුණා නිරූපණ ශිල්පිනියක් වෙන්න. ඒ කාලෙ අමෙරිකානු නිරූපණ ශිල්පිනියන්ට ජපානයේ විශාල ඉල්ලුමක් තිබුණා. ඇත්තම කිව්වොත් ඈ අර්ධ ජපන් තරුණියක්. ඇගේ තාත්තා යුද භටයෙක් විදිහට ‍තෝකියෝවෙ කාලයක් සේවය කරලා තිබුණා. ඒ කාලේ ඔහු ජපන් තරුණියක් විවාහ කරගෙන නැවත අමෙරිකාවටම ගිහිල්ලා. අවසානයේ ඈ තමන්ගේ මුල හොයාගෙන ජපානෙටම ඇවිල්ලා. අපි විවාහ වෙලා ජපානයේ කෙටි කාලයක් ඉදලා නැවත නිව් යෝර්ක් පදිංචියට යන්න තීරණය කරනවා.

බොහෝ හැලහැප්පීම් මැද ඔබ දිගටම ලිවීමේ නිරත වෙනවා. ජපානය ගැන නවකතාවක් ලිවීමේ උත්සාහයක ඒ වන විටත් ඔබ නිරතව සිටියා නේද?

නිව්යෝර්කර් පුවත්පතේ වැඩ කරන අතරවාරයේ තවත් රාත්‍රී ‍රැකියාවක් කළා. මේ ඔක්කොම මැද්දෙ නවකතාවක් ලියන එක ලේසි නෑ. ඒ නිසා ඉතා ම සුළු ප්‍රමාණයෙන් තමයි මගේ නවකතාවේ වැඩවල මට නිරත වෙන්න සිද්ධ වෙලා තිබුණේ. ඒත්, නිව්යෝර්කර් පුවත්පතේ සේවයෙන් මා නෙරපලා දැමුවට පස්සේ, ඊළඟ දවසේ මම ටිකක් වැඩිපුර දවල් වෙනකන් නිදාගෙන හිටියා. මට ග්‍රේ ‍ෆිස්කටන්ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා. ඔහු කිව්වේ රේමන්ඩ් කාවර් මා හම්බ වෙන්න එනවා කියලයි. ඇමතුම විසන්ධි වුණ ගමන් මම හිතුවේ ඒක නිකං විහිළුවක් කියලයි. විනාඩි විස්සකට පස්සේ මගේ ගෙදර දොරේ සීනුව නාද වුණා. රේමන්ඩ් කාවර් මගේ දොරෙන් එළියේ හිටගෙන හිටියා.

ඔහු වෙනත් වැඩකට යන අතරතුර. වැඩිපුර ඉතිරි වෙලා තිබුණු කාලය ගත කරන්නයි මගේ ගෙදර ඇවිත් තිබුණෙ. ඒ වෙනකොට මට කරන්න වෙනත් විශේෂ වැඩක් තිබුණෙ නැති බවත් ඔවුන් දැනගෙන හිටියා. අනිත් එක මම ඔහුගේ තදබල රසිකයෙක් කියලත් ඔහු මගේ ගෙදරට එවපු මගේ කර්තෘතුමා දැනගෙන හිටියා.

ඒ ජෝන් ලෙනන් ඝාතනය කරපු දවස. අපි ඔහේ වාඩිවෙලා ඉන්නකොට, රේඩියෝවෙන් ඒ පුවත කිව්වා. හරිම අමුත්තක් දැනුණ ඒ දවස පුරා අපි බොහෝ දේ ගැන කතා කළා. ඒ කතාබහ තමයි මා නවකතාව ලියන්න පෙලඹෙව්වේ.

ඔහුගෙන් ඔබට ලැබුණු ලොකුම අවවාදය මොකක්ද?

ඔහු මට කිව්වේ දෛනිකව ලිවීමේ නිරත වෙන්නයි කියලා. මං ඒක කළා.

ඔබ ලියූවක් මුලින්ම ප්‍රකාශයට පත් වුණේ කොහොමද?

මම 'පැරිස් රිවිව්' වෙත කෙටිකතාවක් එව්වා. ඒ කතාව කියවලා කර්තෘ මණ්ඩලයේ අය මගේ දුරකතනයෙන් ඇමතුවා. ඔවුන් කිව්වේ මම ලියපු කතාවට කැමතියි. තවත් එවැනි දේ තියෙනවා නම් එවන්න කියලයි. මගේ ලියැවිලි පුරවලා තියෙන ලාච්චු අරිමින්, වහමින් කඩදාසි එළියට අදිමින් තවත් ලියූ දේ හොයමින් එදා මුළු රාත්‍රිය ගත කළා. හැබැයි මට ඒවා නැවත කියැවීමෙන් පස්සේ හිතුණා, මම හිතපු තරම් ඒවා හොඳ නෑ කියලා.

කොටින්ම කියනවා නම් ඒ වෙනකොට මම ලියමින් හිටිය නවකතාවත් ඒ වගේ. ඒ දවස්වල මම කාවද කියවන්නේ ඔහු වගේ එක පරිච්ඡේදයකුත්, තවත් කෙනෙක් වගේ ඊළඟ පරිච්ඡේදයත් ලියලා තිබුණේ. කෙටි කතාත් එහෙමයි. ඒත්, ලාච්චුවේ යටම තිබිලා මට හම්බ වුණා වාක්‍ය තුනක් විතරක් ලියලා නතර කරලා තිබුණ කඩදාසියක්. පහුගිය ග්‍රීෂ්ම සෘතුවේ ඒක ලියන්න පටන් ගන්නවා මට මතකයි. මම හිතන්නේ මගේ කියලා අලුතින්ම සහ හොඳින් ම ලියන්න පටන් ගත්තෙ ඒ කතාව තමයි. ඊළඟ දවසේ උදේ වෙනකොට මම කතාව ලියලා ඉවර කළා. පැරිස් රිවිව් ඒක ඊළඟ දවසෙම පළ කරලා තිබුණා.

ඒ කෙටිකතාව 'බ්‍රයිට් ලයිට්, බිග් සිටි' නමින් නවකතාවක් කරන්න හිතුණේ ඇයි?

මම නිතරම දැනගෙන හිටියා ඒක කෙටි කතාවකට වඩා දිග කතාවක් කියලා. ඊට පස්සේ උදා වෙච්ච ග්‍රීෂ්ම නිවාඩුවේ මම පැත්තකින් වාඩි වෙලා ලියන්න පටන් ගත්තා. සති හයකින් පළමුවැනි ක‍ටු සැලැස්ම ලියලා ඉවර කළා. ඒත් මගේ ලිවීම අඩපණ කරපු දෙයක් හදිස්සියේ වුණා. ග්‍රේ ‍ෆිස්කටන්ට මම කියලා තිබ්බා. සමහරවිට මේ ලියන එක නවකතාවක් වෙන්න පුළුවන් කියලා. එදා ඔහු කිව්වා ඔබ මධ්‍යම පුරුෂයෙන් නොලියනවා නම් හොඳයි කියලා. ඒත් දැන් මම මේ ලියා අහවර කරමින් හිටියේ මධ්‍යම පුරුෂයෙන් ලියන නවකතාවක්. 'දෙයියනේ නවකතාවක් මධ්‍යම පුරුෂයෙන් ලියන එක හරිද? කියලා මට හිතෙන්න ගත්තේ ඔහුත් සමඟ කරපු සංවාදෙ මතක් වුණාමයි.

ප්‍රථම පුරුෂයෙන් ලියන්න ඕනා කියලා නැවත දළ සටහන් වෙනස් කරන්න පටන් ගත්තා. ඒත්, ඒක අවුල් ජාලාවක් වෙච්ච නිසා කලින් ලිව්ව විදිහටම තියෙන්න ඇරියා. 'යකාට ගියාවේ' කියලා මම නවකතාව කියවන්න ග්‍රේ ට යැව්වා. ඒ වෙනකොට එයාට මධ්‍යම පුරුෂයෙන් ලියන්න එපා කියපු කතන්දරේ අමතක වෙලාද මන්දා තිබුණේ. ඔහු මගේ කතාවට ඉතා ම කැමැති වුණා. ඔහු එය ජේසන් එප්ස්ටීන් ටත් පෙන්වා තිබුණා. ඔහුත් එය අගය කරලා තිබුණා. ඒත්, ඔහු කියා තිබුණේ මේ කාලෙ කවුරුත් ප්‍රබන්ධ කියවන්න ඒ හැටි උනන්දු නෑ කියලයි.

ඒත්, ඔබේ නවකතාව නිකුත් වී කෙටි කලකින්ම අතිශය ජනප්‍රිය වුණා නේද?

බ්‍රයිට් ලයිට්, බිග් සිටි නොහිතපු විදිහට ජනප්‍රිය වුණා. නිව්යෝර්ක් නගරය ගැන ලියපු බහුතරයක් නවකතා අසාර්ථකයි කියලා පිළි අරගෙන තියෙනකොටත් මගේ නවකතාව ජනප්‍රිය වුණ එක පුදුමයක්. විශේෂයෙන්ම සමාජශාලාවල ජීවිතය සහ නගරයේ ජීවිතය ගැන මම කියපු දේ ගැන මිනිස්සු උනන්දුයි කියන කාරණයම මා කුල්මත් කළා.

ඔබේ දෙවැනි නවකතාව වුණ '‍රැන්සම්' කියන්නේ ඔබ කලින් කියූ ජපානය ගැන ලියමින් සිටි නවකතාවද?

මම ඒ ගැන දැන් වැඩිය හිතන්නෙ නෑ. මගේ දෙවැනි නවකතාව ගැන ඒ හැටි කතා කරන්නත් මං කැමති නෑ. ඒ කාලයට අනුරූපීව ඒක ලියැවුණා කියලයි මම හිතන්නේ.

ඔබේ පැ‍රැණි පොත් පාඨකයෙක් විදිහට කියවන්න ඔබට පුළුවන්ද?

අවුරුදු කීපයකට කලින් මම ලියපු හැම කෙටිකතාවක්ම නැවත කියවන්න ගත්තා. 'හව් ඉට් එන්ඩඩ්' කියන කෙටිකතාව තමයි එතනින් සාර්ථකම කියලා මං අන්තිමේදී තීරණය කළා. සමහර නවකතාත් මං නැවත කියවලා තියෙනවා. ඒ සමහර කරුණු නැවත මතක් කරගන්න වගේ වැඩවලටයි.

නව අදහස දක්වන්න