රංගිරි දඹුලු ලෙන් විහාරය සංරක්ෂණ කටයුතු ප්‍රමාදයි | දිනමිණ

රංගිරි දඹුලු ලෙන් විහාරය සංරක්ෂණ කටයුතු ප්‍රමාදයි

ලෝක උරුමයක් ලෙස ජාත්‍යන්තර කීර්තියට පත්ව ඇති රංගිරි දඹුල්ල ලෙන් විහාරය දිනෙන් දින විනාශවීයාමේ තර්ජණයකට ලක්ව ඇති නමුත් මෙය සංරක්ෂණය කිරීමට මෙතෙක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිසි අවධානය යොමුනොවීම නිසා ඉදිරි දශක දෙක තුන තුළ මේ ඓතිහාසික ස්ථානය ගල්ලෙන්වලට පමණක් සීමාවීම නොවැළැක්විය හැකි බව පෙදෙසේ ගිහි පැවිදි උගත්තු පවසති.

වසර දෙදහසකට අධික ඉතිහාසයක් ඇති මෙම ඵෙතිහාසික ස්ථානය ආසියාකරයේ ඇති විශාලතම සිතුවම් සහිත ගල්ලෙන වේ. වර්ග අඩි 22,000ක පමණ වපසරියක විහිදි ඇති විවිධ වකවානු වලදී නිර්මාණය කරන ලද විචිත්‍රවත් බිතුසිතුවම් රැසක් මෙහි දක්නට ඇත. එමෙන්ම මෙහි ප්‍රතිමාවන් ද 151ක් පමණ දක්නට තිබේ. ප්‍රතිමා ගෘහ පහක් පුරා මෙම බිතුසිතුවම් මෙන්ම ප්‍රතිමාද විහිදි ඇති ආකාරය දක්නට හැක. මෙහි ඇති බොහෝ චිත්‍රකර්මයන් මහනුවර යුගයට අයත් බව ඉතිහාසඥයන්ගේ මතයයි.

අතීතයේ විසූ රජවරුන් මෙන්ම පළාත් ප්‍රධානීන්ද නොයෙකුත් අවස්ථාවන්හිදි මෙම ලෙන් විහාරය සංරක්ෂණය කර ඇති බවට එම අවධියේ සිදුකර ඇති බිතුසිතුවම් මෙන්ම ප්‍රතිමාවන්ගෙන්ද සනාථ වේ.

මේවනවිට බිතුසිතුවම් සියල්ල විනාශවෙමින් පවතී. එහි සායම් ආලේපකර ඇති බදාමයන් ඉරිතලා පතුරු වශයෙන් ගැලවි බිම වැටි පවතින අයුරු දැකිය හැකිවේ. ප්‍රතිමාවන්ද ඉරිතලා ගොස් ඇති අතර එහිද සායම් අලේපයන් ගැලවීයාමට පටන්ගන ඇත. එමෙන්ම මේ ප්‍රතිමා සියල්ලම පාහේ ජරාවාසවී ගොස් තිබේ.

මෙහි පස්වන පිළිමගෙය ලෙස සැලකෙන විහාරය වළගම්බා රජු විසින් මුලින්ම ඉදිකර ඇති බව සැලකේ. පස්පිළිම ගෙය ලෙස හදුන්වන මෙහි සෝමාවතී දේවියගේ රන් ආභරණ තැන්පත්කර ඉදිකරන ලද චෛත්‍ය ලෙස විශ්වාස කරන කුඩා ස්ථූපයක්ද දක්නට ලැබේ. චෛත්‍යයද මෑත භාගයේදි නිධන් සොරුන් විසින් කඩා විනාශකළ නමුත් එය නැවතත් පිළිසකරකර ඇත. පැරණි දේවාල ද දක්නට ඇති අතර දිනපතා මෙම ස්ථානයන්හි පුදපූජා පැවැත්වෙන බැවින් එම ස්ථාන යම්තරමකට ආරක්ෂාවී තිබේ.

මීට දශක තුනකට පමණ පෙර සංස්කාතික ත්‍රීකෝණ ව්‍යාපෘතිය යටතේ සිදුකළ සංරක්ෂණ ක්‍රියාවලිය නිසා මෙම ස්ථානයෙහි කෘමි උවදුරු වර්ධනය වීමෙන් බිතුසිතුවම්වලට හානි සිදුව ඇති බව ජනතාව පවසති. දිනපතා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ද පුරාවස්තූන්ට සෑහෙන හානියක් කර ඇත.

මේ රංගිරි දඹුල්ල ලෙන් විහාරය තවදුරටත් ඒ අයුරින් පවත්වාගන යාමට අවශ්‍යවන්නේ නම් පුරාවිද්‍යා දෙපාර්මේන්තුව විසින් මෙම ඵෙතිහාසික ස්ථානය සුරක්ෂිත කළයුතු බව ජනතාව අවධාරණය කරති.

මාතලේ දිස්ත්‍රික් සමූහ

නව අදහස දක්වන්න