අරලගංවිල පුතා සුව කර ගන්න පිහිට වෙන්න | දිනමිණ

අරලගංවිල පුතා සුව කර ගන්න පිහිට වෙන්න

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 91 කනිච්චිගල රුහුණුගම අරලගංවිල පදිංචි පී. ඒ. විල්සන් සහ ඩී.එම්.පොඩිමැණිකේ යන මවුපියන් පුරා වසර 15ක් තම කුළුදුල් පුත්‍රයාට ඇතිවී තිබෙන රෝගී තත්ත්වය සුවපත් කර ගැනීමට අප්‍රමාණ වෙහෙසක් දරති. අම්පාරේ පානම සිට කොටි ත්‍රස්තවාදී කරදරවලින් පීඩාවට පත්වී මහවැලියේ පදිංචියට පැමිණි මොවුන් කබලෙන් ලිපට වැටුණු බව ඔවුහු පවසති.

පී. ඒ. විල්සන් මහතා - අපේ මුල් ගම් පානම දකුණ. කොටි කරදර නිසා අවුරුදු තුනක් අනාථ කදවුරක හිටියා.ඊට පස්සේ 1994 දි මහවැලියේ පදිංචියට ආවා.මේ ඉඩම්වලට කුඹුරු තිබෙනවා.ඒවා වෙන මිනිස්සු තමන්ගේ කුඹුරුවලට ඈදාගෙන. අපිට කුඹුරු නෑ. මෙහෙ ආව දා ඉදන් කුලී වැඩ කරලා ජීවත් වුණා. අපේ කුළුදුල් දරුවා ජයතු ගයාන් යශ්මිත ඉපදුනේ 2000 ඔක්තෝබර් 09 වැනි දා.මෙයා අවුරුදු තුනක් ඉතාහොදට හිටියා. ඉන්පසු මෙයාට කථා කරන්න බැරි වුණා. සිහි කල්පනාව නැතුව ගියා. දැන් දරුවට අවුරුදු 17ට කිට්ටුයි. තවම එයාට අවුරුදු දෙකක දරුවකුගේ මානසිකත්වයවත් නෑ. එයාගේ සියලු වැඩ අපි කරන්න ඕනෑ.  කිසිම සිහි කල්පනාවක් නෑ. නමුත් වෛද්‍යවරු කියන්නේ මෙයා ඉතා නිරෝගීයි කියලා. මෙයාට ලෙඩක් නෑ කියනවා. මේ වයසේ අනිත් දරුවන් වගේම මෙයාගේ ශාරීරික වර්ධනය තිබෙනවා. නමුත් මනස වර්ධනය වෙන්නේ නෑ.

මමයි නෝනයි දෙන්නම මෙයා බලා ගන්න ගෙදර ඉන්න ඕනෑ. මෙයා හිතුන ගමන් දුවනවා. අතට අහුවෙනදේ කටේ දාගන්නවා. එයා එයාගේ අත ලේ එනතුරු හපා ගන්නවා. අපි දන්න කියන හැම වෛද්‍යවරයෙක් ළගටම අරං ගියා. ඒත් ගුණයක් නෑ. අද සිහිකල්පනාව ලැබෙයි හෙට ලැබෙයි කියලා අපි බලන් ඉන්නවා.

පුතාට දැන් ලොකු ශක්තියක් තිබෙනවා. එයා සමහර අවස්ථාවල අපිට පාලනය කරන්න අමාරුයි. එයා එක්ක දුවලා පැනලා අපි දෙන්නත් දැන් රෝගීන් වෙලා. වෛද්‍යවරු මේ අවුරුදු 15 පුරාවට දෙවිවරු වගේ පිහිට වුණා. ඉදිරියටත් පුතාට දුකක් නොදී හොදින් රැකබලා ගන්න අපිට කවුරු හරි උදව් කරනවා නම් ලොකු පිනක්. අපිට දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් තුමිය ජල පහසුකම් ලබා දුන්නා. අපේ බාල පුතා කනිච්චිගල ප්‍රාථමික විදුහලේ 4 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. එයාගේ අධ්‍යාපන කටයුතුවලට වියදම් කරන්න මුදල් නෑ. මගේ දරුවට එයාගෙ වැඩ ටිකවත් කරගන්න පුළුවන් මට්ටමට සනීප කරලා දෙන්න පුළුවන් බටහිර හෝ ආයුර්වේද වෛද්‍යසේවාවක් ලබාදෙන්න පුළුවන් නම් එය ඉතා ලොකු පින් කමක්.

දිඹුලාගල සමූහ

නව අදහස දක්වන්න