සිංහ­ධේ­නුව හා මී පැටව් | දිනමිණ

සිංහ­ධේ­නුව හා මී පැටව්

ශාන්ති දිසා­නා­යක

හෙන්දිරික්කා පඳුර පුරා මල් පිපුණද මේ හැන්දෑවට ශාන්ත සුන්දරත්වය ක් එක්කරන්නට සමත් වූයේ නැත. හෙන්දිරික්කා මලක හීන් සුවඳින් සැනහෙන්නට මට ඉඩක් නොලැබිණ. දරුවන්ගේ ප්‍රමාදය හේතුකොටගෙන ගෘහමූලිකයා කෝපයට පත්ව සිටියේය.

“කෝ ළමයි? දැන් හොඳටම හවස් වෙලා.”

“ඔ. ඔව්. හොඳටම හවස් වෙලා.”

මම ගැහෙන හදවතින් හිස සැලුවෙමි.

“මං අහන්නෙ ළමයි කෝ කියලා..”

කවදාවත් නැතිව මා ඔහු සමඟ එකඟවුවද ඔහු ඉන් සෑහීමකට පත් නොවීය

“ ළමයි? ළමයි සෙල්ලම් කරන්ඩ ගිහිල්ලා..”

“මේ කළුවරේ මොන සෙල්ලම්ද? ළමයි දන්නැද්ද හවස් වෙනකොට ගෙදර එන්ඩ?

“හවස්වෙලා තමා ඒ ගොල්ලො ගියේ... අ ..අද චුට්ටෙ මාමගේ වත්ත සුද්ද කරන කතාවකුත් කීවා.”

සුපුරුදු පරිදි මම ඔහු අස්වසන්නට සමත් නොවීමි.

“අනුන්ගෙ වතු සුද්ද බුද්ද කරන වෙලාවෙ පොතක් පතක් බලා ගත්තානං මොකද වෙන්නෙ?”

දරුවන්ගේ පියා මා දවා හළු වී යන තරමේ රුදුරු බැල්මක් හෙළුවේය.

“ඒ...ඒක තමයි. මම ගිහිල්ලා එක්කාගෙන එන්නං”යි කී මම විදුලි පන්දම සොයා ගියෙමි.

අල්ලපු ගෙදර නැන්දා මා විදුලි පන්දමද අතැතිව දරුවන් සොයා යන අයුරු දැක දොස් පවරන්නට පටන් ගත්තාය.

“අනේ බලන්ඩ ඉතිං අම්මලාට නිවනක් නැති හැටි දහදුක් විඳලා ළමයි ලොකු කරගත්තට පස්සෙත් තියෙන කරදරේ. කුරුල්ලා කොබෙයියාත් කළුවර වැටෙනකොට කූඩුවට ලැගුමට යනවා. ඒකට මේ මනුස්ස පැටව්.”

මම සිනා සී ඇගේ උරහිසට තට්ටු කළෙමි.

“ඔන්න ඔන්න නැන්දාත් අපේ ළමයින්ගෙ තාත්තා වගේම ටකේ හොල්ලන්ඩ ගත්තා. අනේ නැන්දෙ ළමයි වුණත් හැමදාම සෙල්ලං කරන්නෙ නෑ. ඒගොල්ලො ලොකු වෙන්ඩ වෙන්ඩ සෙල්ලම පොඩි වෙනවා. ඊට පස්සේ නැත්තටම නැති වෙලා යනවා. ජීවිතේ මහා බර පොදිය ඔළුවෙ තියාගෙන අමාරුවෙන් යන්ඩ ගත්තම සෙල්ලම් කරන්නෙ කොහොමද..?”

ඇය පළමුව පුදුමයට පත් වූවාය. දෙවනුව මා සමඟ එකඟ වූවාය.

“ඔව් ඉතිං ඒක නං එහෙම තමා. ටික කාලයයි තමා හැම දේම. ළමයි සෙල්ලං කරන් නැතුව ආයෙ මේ වළපයයි ගොඩපයයි ඉන්න අපි බෝල ගහන්ඩ‍යැ”

මම ඇගෙන් සමුනොගෙනම මැද පාර වෙත ගමන් කළෙමි.

“බලාගෙන... කුණකටුවො නයි පොළොංගු හැම තැනම. සර්පයාටත් ඉතිං අපිට වගේම තිබාසෙ උහුලන්ඩ බෑනේ. වතුර හොය හොයා බඩ ගානවා පිස්සුවෙං වගේ.” ඇගේ අනතුරු ඇඟවීම මා තුළ බියක් නොදන්වයි.

“මේ පළාතේ ඉන්නව නං ඉතිං දූවිල්ලයි අව්වයි වගේ ම සත්තු සර්පයෝත් ඉවසන්න ඕන”යි කොඳුරමින් මම තෙමංසල ‍වෙත ගියෙමි.

ළමයින්ගේ කුඩා පිට්ටනියට කඩා වැදුණු ගොර බිරම් සත්ත්වයකු සේ ජේ. සී. බී. යන්ත්‍රය කුඩා ගස් හා මුල් උදුරා දමයි. මා ‍මෙන්ම සිය මුණුපුරා සොයා ආ විමලාවතී නැන්දාද කනස්සල්ල පළ කළාය.

“මේ ළමයි ඉස්කෝලෙ ගිහිං ඇවිල්ලා පටං ගන්නවා බෝල ගහන්ඩ. රෑට රෑ වෙලා නාලා පොතක් පතක් අතට ගත්තට මොකද බත් මතේට නින්ද යනවා. මෙහෙම කොහොමද විභාග පාස්වෙන්නෙ. මේ කොල්ලො ?”

“අද නම් මෙයාලා පරක්කු වත්ත සුද්ද කරන හින්දනෙ..”

මම ළමයින් වෙනුවෙන් පෙනී සිටියෙමි.

“ඒ සුද්ද කිරිල්ලත් ඉතිං ඉවර වෙන පාටක් නෑ.”

“මුල් ගැලෙව්වට පස්සෙ නං ආයෙ සුද්ද කරන්න දෙයක් නෑනේ..”

ඇය නිහඬ වූයේ තවත් කිසිවක් කීමෙන් පලක් නැතැයි හැඟී ගිය කලෙක මෙනි.

ඌරන්ටත් වඩා අපිරිසිදුවූ ළමයින් කැටිව ආපසු ‍ගෙදර ගිය කෙනෙහි මට සිංහ ධේනුවක මෙන් ඔවුන් රැක ගන්නට සිදුවිය. දරුවන් ගේ පියා කොතරම් කුපිතවී සිටියේද කිවහොත් එකෙකුට දෙන්නෙකුට පහර දුන්නේය. ඒ මේ අත දිවයමින් කෑගසමින් ‍කොල්ලන් ගුටි‍යෙන් බේර ගන්නට මට අපමණ වෙහෙසක් දරන්නට සිදු විය.

“තාත්තා පුංචි කාලෙ වොලිබෝල් ගහලම නැද්ද අම්මා?” හැඬුම් දෙඩුම් අවසන ඇඳට ගියද මට නිදහසක් නොවීය. මී ‍තෙල් මදිවාට තුවාල තෙල් ද උවමනා විය.

“දැං සද්ද නොකර නිදාගන්න. නැත්තං ආයෙත් ගුටි කන්න වෙයි.”

මම පහත් හඬින් කී‍වෙමි.

“තාත්තා පුංචි කාලෙ මොනම සෙල්ලමක්වත් කරල නැතුව ඇති අම්මා.”

මද්දු වේදනාබර හඬින් කී‍වේය .

“තාත්තා බයයි ඕගොල්ලො ඉගෙන ගන්නැතිවෙයි කියලා. ආදරේටයි බයටයි තමා ගහන්නෙ බණින්නෙ” කොල්ලෝ හැඬුම්බර මුහුණින් වුවද මඳ සිනා පෑවෝය.

“ආදරේට ගහනවද බණිනවද අම්මා.? ආදරේට ඉඹින්ඩ එපැයි.”

බඩ පිස්සාගේ කතාවට මට ද සිනා පහළ විය.

“හරි හරි. ..මං ඉඹින්නම්කො කට්ටිය ම. අනේ දැං සද්ද නොකර නිදාගන්නවද මහත්තුරු ටික මටත් මහන්සියි. නිදිමතයි. මාත් බැණුම් ඇහුවනෙ හුඟක්.”

මගේ ආයාචනය ඉක්මනින් පලදැරුවේය. තවත් ‍මොහොතකින් ඇසුණේ කොල්ලන්ගේ සිහින් ගෙරවිල්ලයි. 

නව අදහස දක්වන්න