වයෝවෘද්ධ මවගේ රන් මාලය දුම්රියේදී කොල්ලකයි | දිනමිණ

වයෝවෘද්ධ මවගේ රන් මාලය දුම්රියේදී කොල්ලකයි

ඥාතියෙකුගේ අවමගුල් උත්සවයක් සදහා සහභාගී වීමට මාතර බලා දුම්රියෙන් ගමන්කල වයෝවෘද්ධ මවක් ගෙලින් අල්ලාගෙන දුම්රිය මැදිරිය දිගේ ඇදගෙන ගොස් ගෙල පලදාගෙන සිටි රන් මාලය කොල්ලකා තිබෙන බව වාර්ථාවේ.

වයෝවෘද්ධ කාන්තාව මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි ඥාතියෙකුගේ අවමගුල් උත්සවයකට සහභාගීවීම සදහා වව්නියාවේ සිට මාතර දක්වා ධාවනයවූ යාල්දේවී සීඝ්‍රගාමි දුම්රියෙන් තවත් ඥාති සහෝදරියන් පිරිසක් සමග ඉකුත් 23 වනදා අළුයම මාතර බලාගොස් ඇතිබව පොලිසිය පැවසුවේය.

ඔවුන් අනුරාධපුර නව නගර දුම්රිය ස්ථානයෙන් දුම්රියට නැග අසුන්වල වාඩීවි ගමන් කරමින් සිටියදී වයෝවෘද්ධ කාන්තාවගේ ගෙලබැදි රන් මාලය කඩා ගැනීමට ඉලක්ක කරගෙන සිටි තරුණ පුද්ගලයෙකු ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයට දුම්රිය කිට්ටු කරනවාත් සමගම ඇය අසුන්ගෙන සිටි ස්ථානයට ලංවී රන් මාලය කඩා ගැනීමට උත්සහකර තිබෙන බව පොලිසිය පැවසුවේය.

සැකකරු රන්මාලය කඩා ගැනීමට සූදානම් වනවාත් සමගම කාන්තාව එක් අතකින් රන් මාලය අල්ලා ගෙන ඇති බවත් සැකකරු කෙසග සිරුරක් ඇති කාන්තාවගේ ගෙල පෙදෙසින් අල්ලා ගෙන දුම්රිය මැදිරිය දිගේ ඇදගෙන ගොස් දුම්රිය පාපුවරුව ආසන්නයේදී මාලය කඩාගෙන දුම්රිය මැදිරියෙන් බිමට පැන පළාගොස් තිබෙන බව පොලිසිය පැවසුවේය.

ඇය සමග සිටි ඥාති කාන්තාවන් සිය සහෝදරියගේ රන් මාලය කොල්ලකරුගෙන් බේරා ගැනීමට උත්සහ කලත් එය කඩා ගන්නා තුරුම කොල්ලකරු ඔවුන් සමග පොරබදා තිබෙන බව පොලිසිය පැවසුවේය.කොල්ලකරු සිය ඥාතිවරියගේ ගෙල සිරවෙන ලෙස අල්ලාගෙන දුම්රිය මැදිරිය දිගේ ඇදගන යද්දී ඇයගේ ගෙල සිරවී දිවි හානීවිමට ඉඩ තිබූ බව පැමිණිලිකරුවන් පොලිසියට පවසා තිබුණි.

සිය ඥාති දියණියගේ රන් මාලය කොල්ලකෑ පුද්ගලයා දුටු අවස්ථාවක හදුනා ගැනීමට හැකි බව පැමිණිල්ල සදහා සාක්ෂි දුන් කාන්තාවක් පොලිසියට පවසා තිබුණි.

රන් මාලය අහිමිවූ කාන්තාවගේ පුත්‍රයා මීට වසර 18 කට ඉහතදී ඔහු ලබාගත් ප්‍රථම වැටුප සිහිවීම පිනිස මවට මෙම මාලය සාදවාදී ඇති බවත් එහි වර්ථමාන වටිනාකම රුපියල් හැට දහසක් පමණ වනබවත් පොලිසිය පැවසුවේය.

අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්.එස්.කුමාරසේන මහතා ඇතුළු පිරිසක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ සිදුකරයි.

නව අදහස දක්වන්න