කුඩු ගහන්න මුදල් හොයන්න ගම්පොළ නිවාස 17ක් බිඳලා | දිනමිණ

කුඩු ගහන්න මුදල් හොයන්න ගම්පොළ නිවාස 17ක් බිඳලා

 රුපියල් හතළිස්පන්දහසක් වූ දිනක මත්කුඩු වියදම සොයාගැනීම සඳහා නිවාස 17ක් බිඳ රුපියල් ලක්ෂ 12ක රන් භාණ්ඩ ‍ඇතුළු ලැප්ටොප් පරිගණක, ජංගම දුරකථන, විදේශ මුදල් හා මෙරට රුපියල් පනස්දහසක මුදල් සොරකම් කරන ලද තිදෙනකුගෙන් යුත් සොර කණ්ඩායමක් පේරාදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

උඩුනුවර, දවුලගල ප්‍රදේශයේ පදිංචි මේ තිදෙනා පේරාදෙණිය, ගම්පොළ, දවුලගල සහ නාවලපිටිය යන පොලිස් බල ප්‍රදේශවල මෙම සොරකම් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.

මෙම සැකකරුවන් තිදෙනා තදින්ම මත්කුඩු පානයට ඇබ්බැහිවී ඇති බව අනාවරණය වී ඇති අතර ඒ සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහා කාලයක් තිස්සේම සොරකම් කර ඇත.

ඒ අනුව මෙහි ප්‍රධාන සැකකරු විසින් මහනුවර නගරයේ පමණක් එක් රැයක් තුළ ජංගම දුරකථන වෙළෙඳසල් 28ක් බිඳ එහි භාණ්ඩ සොරාගැනීම සම්බන්ධයෙන් මහනුවර අධිකරණයෙන් ඇප ලැබුවෙක් බව ද හෙළිවිය.

ඒ ලෙසට මොවුන් ගම්පොළ ප්‍රදේශයේ නිවාස ගණනාවක් බිඳ ඇති අතර එවැනි සිද්ධි කිහිපයකට ගම්පොළ අධිකරණයෙන් වරෙන්තු ද ලබා සිටින බව සඳහන් වේ.

මෙම සැකකරුවන් තිදෙනාගෙන් එක් අයකු පෞද්ගලික බස් රියැදුරෙක් වන අතර ඔහුගේ බිරිය ගුරුවරියක් වන බව ද අනාවරණය වී තිබේ.

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ උපදෙස් මත පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති කමල් ආරියවංශ, අපරාධ අංශ ස්ථානාධිපති පො. ප. චන්ද්‍රපාල, උ. පො. ප. සම්පත් බණ්ඩාර, උ. පො. ප. අල්විස්, පො. සැ. සෙනෙවිරත්න, පො. සැ. සෙනෙවිරත්න, නිලන්ත කුමාර යන නිලධාරීහු පරීක්ෂණ සිදුකළහ.

ඡායාරූපය - ගම්පොළ සමූහ 

නව අදහස දක්වන්න