මහා කළු සිංහලයා පළාගොස් සැඟව සිටි ‍බෝගොඩ රජමහා විහාරය | දිනමිණ

මහා කළු සිංහලයා පළාගොස් සැඟව සිටි ‍බෝගොඩ රජමහා විහාරය

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශී ලංකාද්වීපයේ සෑම බිම් අඟලක පාහේ අතීතය විසින් සඟව ගත් රස රහස් එමට ය. අප වළගම්බා රජ සමගේ සැඟව ගිය වගතුග කියාපාන බෝගොඩ රජ මහා විහාරය වෙත පියමැන්නේ, ඒ නිහඬ, නිසංසල සේ ම සිත දැහැන්ගත කරවන සොඳුරු වටපි‍ටාවේ චමත්කාරය සිතින් විඳීමේ අටියෙනි.

සැඩ හිරු රැසින් ගිනියම් වූ ශෛලමය පියගැට පෙළ තරණය කරමින් පැමිණි අපගේ නෙත ගැටුණේ සුදු වැලි තලාවක වූ කුඩා ප්‍රමාණයේ විහාර ගෙයයි. ඊට නුදුරින් වූ ගල් ගුහාවත්, ඉදිරිපස වූ ලී පාලමත් පිළිබඳ බොහෝ අතීත තොරතුරු දැන ගැනීමට අපට භාග්‍යය උදා විය.

වළගම්බා රජු මේ ප්‍රදේශයට පැමිණ මෙහි ඇති ගුහාවේ සැඟව සිට ඇත්තේ, වසර 2113කට උඩදී කි. පූ. පළමු වන සියවසේ ය. එම කාලයේ මෙම ස්ථානයේ රහතන් වහන්සේලා වැඩමකොට සිට ඇති අතර මෙහි ඇති ගුහාවෙන් ඇරඹෙන උමං මාර්ගයෙන් බණ්ඩාරවෙල දෝව පන්සල දක්වා යෑමට හැකියාවක් පැවතී ඇති බවක් කියැවේ. මේ විහාරගේ ඇතුළත ඇති අලංකාර මකර තොරණ වන් මකර තොරණක් ලංකා‍වේ කිසිඳු ස්ථානයක දැක ගැනීමට නොහැකි බව ද අපට දැනගන්නට ලැබිණි. එය සාදා නිමකොට ඇත්තේ මී පැණි සහ හුඹස් මැටිවලිනි.

මකරා යනු අලියාගේ හොඬය, ඌරාගේ කන, වඳුරාගේ ඇස, කිඹුලාගේ කට, සිංහයාගේ පාද, මාළුවාගේ වරල් ආදී වශයෙන් සතුන් හය දෙනකුගේ අංග එක්කොට සැදී ඇති මන:කල්පිත සත්ත්වයෙකි. මෙහි දක්නට ඇති මකර තොරණ සුවිශේෂි එකකි.

මෙම විහාරගෙයි වම් පස විශ්ණු දෙවියන්ගේ හිටි පිළිමයක් දක්නට ඇති අතර ඒ පිළිබඳ කරුණු සොයා යන විට හෙළිදරව් වන්නේ එය වලගම්බා රජුන්ගේ හින්දු ආගමික බිසවකට පුද පූජා සඳහා නිමකරන ලද්දක් බව ය. පසු කලෙක එම ස්ථානයේ සැතපෙන බුදු පිළිමය ඉදි කරන විට විශ්ණු දේව ප්‍රතිමාවට හානියක් සිදු නොවන ලෙසින් ඒ වටා බිත්ති බැඳ දේව රූපයේ උඩුකය කොටස පමණක් දිස්වන ලෙස තබා ඒ ඉදිරියෙන් සැතපෙන බුදු රුව සාදා ඇත. මෙම ස්ථානයේ බෝගොඩ රජමහා විහාරය කරවා ඇත්තේ වලගම්බා රජුගේ අවසන් සමයේ ය. ඒ, මෙහි ගම්වාසීන් යුද්ධයේ දී රජුට පක්ෂපාතීව උදව් උපකාර කිරීමට කෘතගුණ සැලකීමක් වශයෙනි.

මෙම ස්ථානයේ සක්නට ඇති සුප්‍රසිද්ධ ලී පාලම දඹදෙනි යුගයේ දී (13 වන සියවසේ) කුරුණෑගල හතරවන පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද්දකි. බදුල්ලේ සිට මහියංගනය දක්වා පයින් ගමන් කළ මාවත වූ මෙය එකල රජ මාවත ලෙසින් ද හඳුන්වා ඇත.මෙම පාලමේ දිග අඩි 54 කි. පළළ අඩි 5 2/1 කි. වහළ ඉදිරිපස කොටස අඩි 6ක් ද මුදුන් වහළ අඩි 8ක් ද උස ය. කොස්, කුඹුක්, මී, මිල්ල, කළුවර යන දැව වර්ග පහකින් සමන්විත වන මෙම පාලම මුල් කාලයේ නිමවා ඇත්තේ ‍කොස්, කුඹුක්, මී යන දැව වර්ග තුනෙන් පමණි.

1986 දී විශාල ගංවතුරක් හේතුවෙන් පාලමේ දකුණු පස බැම්ම කඩා වැටී පාලම ඇල වීමෙන් පසු පන්සලේ ස්වාමීන් වහන්සේ මුල්ව ඌව කැටවල වතු අධිකාරීගේ උදව් උපකාර ඇතිව කේබල් යොදා පාලම ඇද බැඳ දමා ඇති අතර ඉන් අනතුරුව පුරා විද්‍යා දෙපාර්තමේන්තු දැනුම්වත් කර ඇත. යකඩ ඇණ යොදා මේ ‍ඓතිහාසික පාලම ශක්තිමත්ව නැවත සකසන්නේ ඉන් අනතුරුව ය.

වලගම්බා රජ සම‍යේ විහාර ගෙය ද දඹදෙනි යුගයේ සුවිශේෂී දැව පාලම ද නිමවා තිබු නමුත් මෙම පුදබිම අංග සම්පූර්ණ විහාරයක් කොට සසුනට පූජාකොට ඇත්තේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසිනි. බදුල්ල, හාලිඇල, කැටවල, ජගුල්ල හරහා බෝගොඩ ප්‍රදේශයට පැමිණීමෙන්, ඔබට ද මෙම මනස්කාන්ත පරිසරයේ සැඟව ගිය රාජකීය ඉතිහාසයට එබිකම් කරන්නට වරම් ලැබෙනු ඇත.

කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න