නයිජීරියාවේ වීසයික්ලර්ස් විප්ලවය

ධම්මික සෙනෙවිරත්න

කැළි-කසළවලින් රැකියා ලක්ෂ පහක්

‘වීසයික්ලර්ස් ව්‍යාපෘතිය ජනතාව අතර ඉක්මනින් විශාල ආකර්ෂණයක් දිනාගත්තේ නයිජීරියාවේ කසළ ප්‍රශ්නයට තිරසාර මෙන්ම ලාබදායි විසැඳුමක්ද සපයමිනි. මේ වනවිට ‘වී සයික්ලර්ස්’ වාණිජමය වශයෙන්ද සාර්ථක ව්‍යාපෘතියක් ලෙස ඉදිරියට යමින් තිබේ.

කැළිකසළ ප්‍රශ්නය නිසිලෙස කළමනාකරණය කරගැනීමට අපොහොසත්වීම මඟින් නිර්මාණය වන්නේ ඛේදවාචකයකි. ඉතියෝපියාවේ අඩිස්අබාබා නගරයේ කසළ කන්ද නාය යාමෙන් විශාල විනාශයක් සිදුවී සති කිහිපයක් ගතවන තැන ශ්‍රී ලංකාවේ මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන්ද විශාල විනාශයක් සිදුව තිබේ.

අලුත් අවුරුදුදා සිදුවූ මෙම ඛේදවාචකය අන්තර් ජාතික මාධ්‍යවලද ප්‍රමුඛ පුවතක් බවට පත්විය. ස්වභාවික ආපදාවක් නොවන මිනිසා විසින්ම නිර්මාණය කරන ලද ප්‍රශ්නයක් වන මෙය නිවැරැදිව කළමනාකරණය කිරීම අදාළ අංශ සතු සුවිසල් වගකීමකි. එහිදී දැනට ලෝකය හඳුනාගෙන ඇති විද්‍යාත්මක මෙන්ම සාර්ථක ප්‍රායෝගික විසැඳුම කසළ ප්‍රතිචක්‍රීකරණයයි.

සුව වූ හිසරදය

එමඟින් එය අසහනකාරී හිසරදයක් බවට පත්වීම වළක්වාගැනීමට හැකිවනවාක් මෙන්ම ආර්ථික වශයෙන් වාසිදායි ප්‍රතිඵල අත්කර ගැනීමටද හැකිවේ. ඊට අමතරව පරිසරයට බැහැර කරන පොලිතීන්, ප්ලාස්ටික් වැනි දිරාපත් නොවන කැළිකසළ ප්‍රමානය අවම කරගැනීම සඳහා පරිභෝජන රටාවේ මෙන්ම ආකල්පමය වශයෙන්ද විශාල වෙනසක් සමාජය තුළ ඇතිවිය යුතුය. එහිදී ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ සතුටුදායක තැනක නොවේ. කෙසේ වූවද අමිහිරි මෙන්ම කනගාටුදායක ඛේදවාචකයක් ලෙස කැළිකසළ ප්‍රශ්නය පුපුරා ගොස් ඇති අවස්ථාවක ඊට යෙදිය හැකි තිරසාර පිළියම් ගැනද සංවාදයට ලක්වෙමින් පවතී.

එහිදී ශ්‍රී ලංකාවට පමණක් නොව තවමත් මේ ප්‍රශ්නය ජයනොගත් ලොව ඕනෑම රටකට ආදර්ශයක් විය හැකි සාර්ථක හා අතිශය ඵලදායි ව්‍යාපෘතියක් නයිජීරියාවේ ක්‍රියාත්මක වෙමින් තිබේ. නමින් “වීසයික්ලර්ස් (Wecyclers) ලෙස ප්‍රකට එහි නිර්මාතෘවරිය වන්නේ බිලිකිස් අඩිබි නම් තරුණියයි.

තමන් කුඩා කල සිට හැදී වැඩුණු ලාගෝස් නගරයේ පොලිතීන්, ප්ලාස්ටික්, ඇලුමිනියම් ආදී කසළ වීදි පුරා ගොඩගැසෙන අයුරු මෙන්ම එය ගංවතුර, ලෙඩරෝග වැනි ව්‍යසනකාරී තත්ත්වලට හේතුවක් වී ඇති අයුරු ඇය අත්වින්දාය. ඊට යම් සාර්ථක විසැඳුමක් සෙවිය යුතුය යන සිතිවිල්ල කාලයක පටන් ඇය තුළ තිබිණි.

මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ (MIT) ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරන අතර ඇයට එය සැබෑවක් කිරීමට හැකිවිය. ඇයගේ උසස් අධ්‍යාපන කටයුතුද එදෙසට යොමුවූයේ සංවර්ධනය වෙමින් පවත්නා රටවලට විශේෂිත වන පරිද්දෙනි. බිලිකිස්ගේ සංකල්පය සැබෑ කරගැනීමට ඇයට එම උසස් තාක්ෂණ ආයතනයේම මිතුරියක වූ ඇලෙක්සැන්ඩ්‍රා හැලන්ගේද සහාය ලැබිණි. එහි ප්‍රතිඵලයක් ලෙස වසර 2012 දී “වීසයික්ලර්ස්” දියත් කිරීමට හැකිවිය.

ආරම්භයේදීම ලාගෝස් නගරයේ නිවාස ඒකක 6500ක් ආවරණය කිරීමට එය සමත්විය. මේ නිවාස අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් මුඩුක්කු ආශ්‍රිත ඒවා වේ. එක් නිවසක 5 දෙනකුවත් ජීවත් වූ අතර සමස්තයක් ලෙස 30000කට පමණ මේ වැඩපිළිවෙළ බලපෑම් සහගත විණි. මේ ව්‍යාපෘතියේ ප්‍රමුඛ වැඩ කොටස එනම් කැළිකසළ එක්රැස් කිරීමට යොදාගන්නේ තුන්රෝද බයිසිකල්ය. ව්‍යාපෘතිය ආරම්භයේදීම එම පාපැදිකරුවන් 25 දෙනකු ඇතුළු 75 දෙනකුට රැකියා අවස්ථා සැපයීමද සිදුවිය. ඒ වනවිට ලාගෝස් නගරයේ විරැකියා ප්‍රතිශතය 20% ක් තරම්ය. මුලදී කැළි කසළ ටොන් 600ක් පමණ එක්රැස් කළ අතර ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීම සිදුවිය.

නිවෙස්වලටම යමින් ‘වීසයික්ලර්ස් පාපැදිකරුවන් කැළිකසළ එක්රැස් කරගත්තේ ඒ අවස්ථාවේම වර්ගීකරණය කරගනිමිනි. ව්‍යාපෘතියත් සමඟ සම්බන්ධ වී සිටින සාමාජිකයන්ට ප්‍රතිචක්‍රීකරණය කෙරෙන කැළිකසළ සඳහා ප්‍රසාද දීමනාවක්ද පිරිනැමිණ. එය පොයින්ට්ස් වශයෙන් ගණනය කරන අතර එකතු කරන සෑම පොයින්ට් එකක්ම ගැන ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දේ. එම පොයින්ට්ස් පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමේදී මුදල් බවට පත්කර ගැනීමේ හැකියාව පවතී. අද වනවිට ඒවා වැයකර රූපවාහිනි, ශීතකරණ වැනි විදුලි උපකරණ හා ගෘහභාණ්ඩ මිලදී ගැනීමටද අවස්ථාව ලැබී ඇත. ‘වීසයික්ලර්ස් ව්‍යාපෘතිය ජනතාව අතර ඉක්මනින් විශාල ආකර්ෂණයක් දිනාගත්තේ නයිජීරියාවේ කසළ ප්‍රශ්නයට තිරසාර මෙන්ම ලාබදායි විසැඳුමක්ද සපයමිනි. මේ වනවිට ‘වී සයික්ලර්ස්’ වාණිජමය වශයෙන්ද සාර්ථක ව්‍යාපෘතියක් ලෙස ඉදිරියට යමින් තිබේ. බිලිකිස් අඩිබි මේ සාර්ථකත්වය හඳුන්වන්නේ ප්‍රතිචක්‍රීකරණය ඔස්සේ සියල්ලන්ටම ජයග්‍රහණය රැගෙන ආ විසැඳුමක් බව පෙන්වා දෙමිනි.

ලාගෝස් නගරයේ කසළ කළමනාකරණ අධිකාරියත් සමඟ සම්බන්ධ වී කටයුතු කරන “වී සයික්ලර්ස්”ට නයිජීරියාවේ ජනාකීර්ණම නගරයේ නිවාස මිලියනයක් ආවරණය කිරීමට ගත වූයේ වසර කිහිපයකි. මේ වනවිට එය රටම ආවරණය කිරීමට තරම් සාර්ථකත්වයක් ලබා ඇති ව්‍යාපෘතියකි.

අභියෝග හමුවේ

බිලිකිස්ගේ ගණන් බැලීම අනුව ඉන් උත්පාදනය කර ඇති සෘජු හා වක්‍ර රැකියා ප්‍රමාණය ලක්ෂ 5ක් පමණ වේ. දැනටමත් එය අන්තර්ජාතික වශයෙන්ද අගැයීමට හා සම්මානයට පාත්‍රවී තිබේ. බිලිකිස් අඩිබිද ගෞරවාන්විතව සම්මානයෙන් පිදුම් ලබා සිටී.

සිය සංකල්පය ක්‍රියාවට නැංවීමේදී බිලිකිස් ආරම්භයේදී මුහුණ දුන් විශාලම ගැටලුවක් වූයේ ලාගෝස් නගරයේ මුඩුක්කු හා පැල්පත්වාසීන්ට ප්‍රතිචක්‍රීකරණයේ වටිනාකම ගැන අවබෝධයක් නොතිබීමය. ඔවුන් සිතා සිටියේ ප්‍රතිචක්‍රීකරණය යනු සුඛෝපභෝගිත්වය හා සම්බන්ධ කාරණයක් බවය. පළමුව තමන්ට වැදගත් වන්නේ තම පැවැත්ම බව ඔවුහු කියා සිටියහ.

බිලිකිස් සිය වෑයම අත්නොහැරියාය. ඔවුන්ගේ සිතිවිල්ල වෙනස්කිරීමට වී සයික්ලර්ස්ට හැකිවිය. ආකල්පමය වශයෙන් වෙනසක් ඇතිවනවිට ඔවුන්ට අවබෝධ වූයේ ප්‍රතිචක්‍රීකරණය මඟින්ද තමන්ට යැපීමට හැකි බවය.

මුලදී එදිනෙදා ජීවිතයට අවශ්‍ය දෑ මෙන්ම වීදුරු හා ඇළුමිනියම් භාජන ආදිය මිලදී ගැනීමට සිය පොයින්ට්ස් වැය කළ ඔවුන් අද වනවිට ශීතකරණ පවා මිලදී ගන්නා තරමට වාසි ලබා ඇත. ලාගෝස් නගරයේ ජීවිත විශාල පරිවර්තනයකට ලක්කිරීමට තරම් මේ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය බලසම්පන්න වී තිබේ.

සමාගම්වල සහ ෙයා්ගය

ජනජීවිත වඩා උසස් මට්ටමකට රැගෙන ඒමට හැකිවීම ගැන බිලිකිස් අඩිබිට ඇත්තේ විශාල තෘප්තියකි. ඇතැම් දැවැන්ත සමාගම්වල දායකත්වයද මේ වනවිට ඊට ලැබෙමින් ඇත. එක් සිසිල්බීම නිෂ්පාදන සමාගමක් හිස් බීම බෝතල් වීදිවල ගොඩගැසෙන අයුරු නිරීක්ෂණය කිරීමෙන් පසු මේ ව්‍යාපෘතියට ආධාර කිරීමට ඉදිරිපත් විය.

කැළි කසළ එක්රැස් කරන තුන්රෝද පාපැදිකරුවන් වැඩිදෙනා තරුණයන්ය. ඔවුන් ඉන් උපයන ආදායම සිය ඉගෙනීමේ කටයුතුවලට මෙන්ම පවුලේ නඩත්තුව සඳහාද යොදා ගනී. අලෙවි නියෝජිතයන් සහ කම්හල් සේවකයන් ලෙස ව්‍යාපෘතියට සම්බන්ධව රැකියාවේ නියුතු අයද සිටී. මේ වැඩිදෙනා ඊට පෙර දිළින්දන් ලෙස ජීවත් වූ අයයි. අද වනවිට ඔවුහු හොඳ වැටුප් ලබන උසස් ජීවන මට්ටමක් අත්විඳින අයයි.

බිලිකිස් අඩිබිට එක් කළමනාකරුවකු හමුවී ඇත්තේ කුණු බක්කියකිනි. කුණු බක්කියක කුණු අවුස්සමින් සිටියදී සොයාගත් ඔහුට ඇය ලබාදී තිබුණේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි දෑ බෑග්වලට වෙනම ඇහිරීමය. ඔහු ඉක්මනින්ම රැකියාවේ උසස්වීම් ලැබීමට සමත් වූ අතර කළමනාකරුවකු වීමට වැඩි කලක් ගත නොවීය. දිළිදුකමේ අභියෝගය ජයගැනීමටද කැළි කසළ අභියෝගය ජයගැනීම රුකුලක් වී ඇත්තේ එපරිද්දෙනි.

‘වී සයික්ලර්ස්’ ව්‍යාපෘතිය ලබා ඇති සාර්ථකත්වයට මැසචු සෙට්ස් තාක්ෂණික ආයතනයේ සිසු සිසුවියන්ගේ බුද්ධිමය දායකත්වයද විශාල පිටුබලයකි. එමෙන්ම ඉන් ලබා දී ඇති ප්‍රදානයන්ද එම පර්යේෂණ දිරිගැන්වීමට හේතු විය. මුලින් ශිෂ්‍ය ව්‍යාපෘතියක් ලෙස ඇරැඹුණු එය මේ තරම් දුරක් අතිසාර්ථක ලෙස ඉදිරියට ගමන් කළේ එම දායකත්වයද නිසාය.

අප්‍රිකා මහාද්වීපයේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නේ දකුණු අප්‍රිකාවය. එහෙත් නයිජීරියාවේ දිනක ආදායම ඩොලරයකට අඩු සංඛ්‍යාව 2004 වර්ෂයේ පටන් 5% බැගින් වාර්ෂිකව වර්ධනය වෙමින් තිබිණි.

අප්‍රිකාවේ ජනාකීර්ණම නගරය වන ලාගෝස්හි මිලියන 18ක් දෙනා ජීවත් වෙති. ඉන් 60% ක්ම මුඩුක්කු හා පැල්පත්වාසීන්ය. බිලිකිස් අඩිබි ඇතුළු “වී සයික්ලර්ස්” කණ්ඩායම වෙනසට ලක්කරමින් ඇත්තේ එම ජනයාගේ ඉරණමය.

තවදුරටත් එහි කසළ කඳු ගොඩගැසෙන්නේ නැත. කඳු බවට පත්වී ඒවා නාය යන්නේද නැත. කසළවලට යටවී මිනිසුන් මිය යන්නේද නැත. වෙනස කිරීමට අවශ්‍ය ආකල්පමය එන්නත නිසිලෙසම ලබාදීමට බිලිකිස්ට හැකිවිය.

සිහිබුද්ධියක් ඇති කිසිවකුත් මහමඟට මුදල් වීසි නොකරන බව ලාගෝස් ජනයාට අවබෝධ කරදීමට ඇය සමත් වූවාය. බිලිකිස් ඔවුන්ට ඉගැන්වූ පරිදි කැළි කසළ යනු මුදල්ය.

සාර්ථක ප්‍රචාරණය

ලාගෝස්හි ජනයා දැන් ඒ බව ප්‍රායෝගිකවම අවබෝධ කරගෙන සිටිති. මීට වසර කිහිපයකට පෙර පරිද්දෙන් නිවෙස්වලින් බැහැරකරන කැළි කසළ මහමඟට දමන්නේ නැත. නිසියාකාරව වර්ගීකරණය කර ‘වී සයික්ලර්ස්’ පාපැදිකරුවන් වෙත ලබාදෙන එම කසළ ඔවුන්ට ධනෝපායන මාර්ගයක් වී තිබේ.

කැළි කසළ පරිසරයට බැහැර කළේ කවුරුන් වුවද ඉන් වඩාත් පීඩාවට පත්වූයේ අඩු ආදායම්ලාභී ජනයාය. එය නයිජීරියාවට පමණක් නොව කවර රටකට වූවද පොදු තත්ත්වයයි. මීතොටමුල්ලේදී අත්වින්දේද කටුක යථාර්ථයයි.

ලාගෝස් නගරයේ වීදි අවහිර කිරීමට පවා කැළි කසළ හේතුවක් වී තිබිණි. නගරයේ කසළවලින් එක්රැස් කළේ 40% කි. ප්‍රතිචක්‍රීකරණය කළේ 13% කි. ඉතිරි 50% ට ආසන්න ප්‍රමාණය වීදිවලම ගොඩගැසිණි. මැසි මදුරු උවදුර වර්ධනය වීම, ලෙඩ රෝග ව්‍යාප්ත වීම, ගංවතුර තර්ජන වැනි අතුරුඵල ගණනාවක්ම මේ නිසා ඇතිවිය.

“ඔබ සල්ලි මහමඟ විසිකර දමා ඇත්තේ ඇයි?” යන ප්‍රශ්නය බිලිකිස් ලාගෝස් වැසියන්ගෙන් ඇසුවේ එවැනි පසුබිමකය. මේ ප්‍රශ්නය දිළිඳු ජනයාගේ සිත පතුලටම කාවැදුණු බව අතිශයින් පැහැදිලිය. වෙනස ඇරැඹුණේ එතැන් සිටය. බිලිකිස්ගේ ගණනයන්ට අනුව ලාගෝස් නගරයේ වානේ හා ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් පමණක් උත්පාදනය කළ හැකි ආදායම ඇ.ඩො. මිලියන 700 කි.

මේ ව්‍යාපෘතිය ජාත්‍යන්තරයේ අවධානයට ලක්වීමත් සමඟ ඊට ආධාරද ලැබෙන්නට විය. ප්‍රකට කුරියර් සේවාවක් මඟින් වෑන් රථයක් ලබාදීම නිදසුනකි. මහා පරිමාණ බහුජාතික සමාගම්ද ඊට විවිධ මට්ටමින් ආධාර ලබාදී ඇත. ව්‍යාපෘතිය අගයමින් ලැබුණු සම්මානවල මුදල් ප්‍රතිපාදනද එහි දියුණුව සඳහා වැයකර තිබේ.

වැදගත් කාරණය සිහිනයක් සැබෑවක් කරගත හැකි බව පෙන්වීමට කුඩා කණ්ඩායමකට හැකිවීමය. ආණ්ඩුවකට කළ නොහැකි වූ දේ කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිපදෙනකුට හැකිවීමය. බිලිකිස්ම පවසන පරිදි කසළ ප්‍රශ්නයට විසැඳුම් සෙවීමට නයිජීරියාවේ ආණ්ඩුවට වුවමනාව තිබිණි. එහෙත් මුදල්, ශ්‍රමය වැනි සීමාකාරී සාධක කිහිපයක්ද තිබිණි. ආණ්ඩුවකට ජයගැනීමට නොහැකි වූ එකී සාධක අසීරුවෙන් වුව ජයගැනීමට ‘වී සයික්ලර්ස්’ සමත්වී සිටී. එහිදී ආණ්ඩුවේ සහයද ඔවුන්ට ලැබිණි.

තනි පිටුවක ශිෂ්‍ය ව්‍යාපෘති යෝජනාවක් ගමන් කළ දුර බොහෝය. අත්කර දුන් ප්‍රතිඵල නගරයකින් පටන්ගෙන රටක ඉරණම වෙනස් කිරීමට තරම් බලවත් විය. කැළිකසළ යනු පොදු ජනයාගේ හිස මත පතිත වූ හෙන ගෙඩියක් නොවන බවට ප්‍රායෝගික උදාහරණ සපයා තිබේ. දැන් අප ඉදිරිපිට ඇති ප්‍රශ්නය මෙවැනි ආදර්ශවලින් වැඩක් ගැනීමට තරම් වුවමනාවක් උනන්දුවක් අපට තිබේද යන්නය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...