ස්ථිර නිවාස දෙන තුරු මාස්පතා පනස්දහසක් | දිනමිණ

ස්ථිර නිවාස දෙන තුරු මාස්පතා පනස්දහසක්

* භාණ්ඩ ප්‍රවාහනයට දසදහසක්
* ගෘහභාණ්ඩ ගැනීමට ලක්ෂ 2 1/2ක්
* නිවාස ණය අහෝසියි

මීතොටමුල්ල කසළ කන්ද අවට අවදානම් කලාපයෙන් ඉවත්වන පවුල් සහා පූර්ණ වන්දි මුදල් සහ ස්ථීර නිවාසයක් ලබාදෙන තෙක් මාසික දීමනාවක් ලෙස රුපියල් පනස්දහසක මුදලක් හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා රුපියල් දසදහසක මුදලක් ලබා දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී තීරණය වී ඇත.

එසේම එම නිවාස හිමියන්ට ගෘහභාණ්ඩ මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක් මුදලක්ද හිමිවනු ඇත. එම අය වෙනුවෙන් මාස තුනක් ඇතුළත නිවසක් හෝ තක්සේරු වන්දිය ලබාදීම ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් පරිදි අදාළ අමාත්‍යාංශ එකඟත්වය පළ කරන ලදී. මීතොටමුල්ල අපද්‍රව්‍ය බහාලූම් මධ්‍යස්ථානයේ සිදුවූ ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සම්බන්ධව ඊයේ (21) දින පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී ගනු ලැබූ තීරණවලට අනුව, පූර්ණ හානියටපත් නිවාස හැටක පදිංචිකරුවන් වෙනුවෙන්, නිවාස ලබාදීමට නිවාස සංවර්ධන අධිකාරිය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ උපදෙස් පරිදි එකඟත්වය පළ කරන ලදී.

නිවාස ලබා ගැනීමට අකමැත්තක් දක්වන පවුල් සිටින බව නිරීක්ෂණයවූ බැවින්, ඒ පවුල්සඳහා තක්සේරු වටිනාකම මත,සාධාරණ වන්දියක් ගෙවීමට ජනාධිපතිවරයාම අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පූර්ණ හානියට පත් නිවාස 60ක්ද අර්ධ හානියට පත් නිවාස 22ක්ද අවදානම් කලාපයේ පිහිටා ඇති යැයි, දැනට නිගමනය කර ඇති නිවාස 211ක් වෙනුවෙන් ද එම වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරනු ඇත.

කුණුකන්ද නායයෑමෙන් හානියට පත් දහම්පුර හා පන්සල්හේන ප්‍රදේශවල නිවාස හිමියන්ට නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබා දී තිබූ නිවාස ණය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට ජනපතිතුමා හා අගමැතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්හ. ඒ අනුව එම ප්‍රදේශවල පදිංචිකරුවන් පමණක් නොව, අවදානම් කලාපයේ පිහිටා ඇති පදිංචිකරුවන් නිවාස සංවර්ධන අධිකාරියෙන් නිවාස ණය ලබාගෙන ඇත්නම්, එම නිවාස ණය ද අහෝසි වනු ඇත.

මින් ඉදිරියට මෙවැනි ව්‍යසනයන් සිදුවීම වැළැක්වීම සඳහා ගන අපද්‍රව්‍ය අපහරණය කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව අගමැතිතුමා විසින්පෙන්වාදෙන ලදී. ඒ අනුව ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සෑම සතියකට වරක්, අගමැතිතුමා ඇතුළු අදාළ අමාත්‍යාංශවල අමාත්‍යවරුන් සහ නිලධාරීන් එක්ව සාකච්ඡා කර, කඩිනම් වැඩපිළිවෙළ ක් සකස් කිරීමට තීරණය විය. මෙම සෑම රැස්වීමක්ම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ආපදාවට පත් වන නිවාස හිමියන් වෙනුවෙන් නිවාස සංවර්ධන අධිකාරිය ලබාදෙන නිවාසවලට වැය කරන සම්පූර්ණ මුදල කොළඹ නගර සභාව හා මහා භාණ්ඩාගාරය එක්ව අදාළ අමාත්‍යාංශයට ලබා දීමට අගමැතිතුමාගේ උපදෙස් පරිදි එකඟත්වය පළ කරන ලදී.

පීඩාවට පත් ජනතාවට ලබාදෙන සහන පිළිබඳ විකෘති මත පළ වන බැවින්, සත්‍ය ජනතාවට නිවැරදිව අවබෝධ කරවීම සඳහා නිවැරදි මාධ්‍ය මෙහෙවරක අවශ්‍යතාව පැන නැඟුණ හෙයින්, එ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමට ජනාධිපතිතුමා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස්දෙන ලදී.

එම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, පාඨලී චම්පික රණවක, මහින්ද සමරසිංහ, ෆයිසර් මුස්තාපා, සාගල රත්නායක, වජිර අබේවර්ධන, ඒ. එච්. එම්. ෆවුසි, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහත්වරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න