ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියට ශ්‍රී ලංකා පිල අද චීනයට | දිනමිණ

ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියට ශ්‍රී ලංකා පිල අද චීනයට

ආසියානු රටවල් 40ක පමණ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවන ආසියානු ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකා පිල අද රාත්‍රියේ චීනය බලා පිටත්ව වෙයි.

ක්‍රීඩකයන් 7ක් හා ක්‍රීඩිකාවන් 5ක් මෙවර ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියේ දී ශ්‍රී ලංකව නියෝජනය කරති.

එළැඹෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීමේ හොඳ අවස්ථාවක් වන මෙය ආසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතා වැදගත් තරගාවලියක් වේ.

ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියේ පළමු අදියර මේ 24 වැනිදා චීනයේ ජින්හුවාහිදී පැවැත්වෙන අතර දෙවැනි අදියර 27වැනිදා ජියැෂිං හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. තෙවැනි හා අවසන් අදියර චීන තායිපේ ජාත්‍යන්තර පිටියේදී පැවැත්වීමට ආසියානු මලල ක්‍රීඩා සංගමය තීරණය කොට ඇත.

මේ තරගාවලියේ රන් පදක්කමකට අමෙරිකානු ඩොලර් 1500ක්, රිදී පදක්කමකට අමෙරිකානු ඩොලර් 800ක් හා ලෝකඩ පදක්කමකට අමෙරිකානු ඩොලර් 500ක මුදල් ත්‍යාග හිමිකර දේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගීවන කණ්ඩායමේ කෙටිදුර ධාවන ශූර හිමාෂ ඒෂාන් පිළිබඳ බොහෝ දෙනකුගේ වැඩි අවධානයක් යොමුව පවතී. පසුගියදා ජැමෙයිකාවේදී පැවැති ආරාධිත මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 ඉසව්ව තත්පර 10.29කින් නිමකර තම පෞද්ගලික හොඳම දක්ෂතාව වාර්තා කිරීමට හිමාෂ ඒෂාන් සමත් විය. එහිදී ඔලිම්පික් පදක්කම් දිනාගත් යොහාන් බ්ලේක් 8වැනි ස්ථානයට පත්වූ අතර හිමාෂ ඒෂාන් 6වැනි ස්ථානයට පත්විය. එම තරගය නිමාවීමෙන් අනතුරුව ඔලිම්පික් පදක්කම් දිනා සිටි බ්ලේක් පැවැසුවේ තම ආරම්භය එතරම් යහපත් නොවීම පසු බැසීමට හේතුව වු බවයි. එහි රන් පදක්කම තත්පර 10.08ක් වාර්තා කළ නැගී එන ක්‍රීඩක සොනෙල් හියුස් වාර්තා කළේය.

හිමාෂ ඒෂාන් ග්‍රොන් ප්‍රී තරගාවලියට පිටත්වීමට පෙර ‘දිනමිණ’ට පැවැසුවේ ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියේදී තවත් හොඳ කාලයක් වාර්තා කිරීම තම උත්සහය බවයි.

“පදක්කම් දිනා ගැනීම අපට එතරම් අපහසු නෑ. හොඳ පහසුකම් තිබුණොත් පදක්කම් දිනා ගැනීමේ සිහින සැබෑකරගත හැකියි. ජැමෙයිකාවේ කෙටිදුර පුහුණුව මට අලුත් අත්දැකීමක්. ඒ සියලු අත්දැකීම් මේ තරගාවලියේදී යොදා ගන්නවා” හිමාෂ ඒෂාන් පැවැසීය.

ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියේ තවත් විශේෂ සිදුවීමක් වන්නේ මීටර් 800 කාන්තා තරගයට සහභාගීවන ගයන්තිකා අබේරත්න හා නිමාලි ලියනාරච්චි අතර අැතිව තිබෙන සටන්කාමී තරග රටාවය. මීටර් 800 වාර්තාවට හිමිකම් කියු නිමාලි ලියනාරච්චිගේ වාර්තාව මෙයට දින කිහිපයකට පෙර ගයන්තිකා බිඳ හෙලුනු ලැබුවාය. ගයන්තිකාගේ එම වාර්තාව නැවැත මේ ග්‍රොන් ප්‍රී තරගාවලියේදී බිඳ හෙලන බව නිමාලී පවසන්නීය. එබැවින් නිමාලී හා ගයන්තිකා සටන ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ තවත් පියවරක් වනු ඇත.

ආසියානු ග්‍රොන් ප්‍රී තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පිල මෙසේය.

පිරිමි : සුමේධ රණසිංහ, වරුණ ලක්ෂාන් (හෙල්ල විසිකිරීම), මංජුල කුමාර (උස පැනීම), සංජය ජයසිංහ (තුම්පිම්ම), හිමාෂ ඒෂාන් (මීටර් 100), අජිත් ප්‍රේමකුමාර (මීටර් 400), ඉදුනිල් හේරත් (මීටර් 800)

කාන්තා : ගයන්තිකා අබේරත්න (මීටර් 800), නිමාලී ලියනාරච්චි (මීටර් 400, 800), තාරිකා ප්‍රනාන්දු (යගුලිය), තරංගා විනෝදනී (උස පැනීම), රුමේෂිකා රත්නායක (මීටර් 100) 

නව අදහස දක්වන්න