බාධා කිරීම ඉඳුරා තහනම්!

කුණු ප්‍රශ්නයට අදාළ නියම තීන්දුව ගෙන ඇත්තේ දැන් යැයි සිතන්නට පුළුවන. එම තීන්දුව ප්‍රකාශයට පත් වූයේ පෙරේදා රාත්‍රියේ නිකුත් කළ ගැසට් නිවේදනයත් සමඟ ය. ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද එම ගැසට් නිවේදනයෙන් වැදගත් කාර්යයන් දෙකක් ඉටු වී ඇත. එක; කුණු හා කසළ බැහැර කිරීම පළාත් පාලන ආයතනවල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම ය. දෙක; මේ ක්‍රියාවලියට කුමන ආකාරයකින් හෝ බාධා හා අවහිර කරන අය නීතිය උල්ලංඝනය කරන අය ලෙස සලකා අත්අඩංගුවට ගැනීමට හා නීති ප්‍රකාර දඬුවම් ලබාදීමට තීන්දු කිරීම ය. මේ තීන්දුව මීට පෙර ගත්තේ නම්; කුණු ප්‍රශ්නය උග්‍රවන්නේ නැතැ’යි සිතන්නට පුළුවන.

අප පසු වූයේ කොළඹ ගඳ ගස්සවන තැනෙක යැයි කිව යුතුය. මේ වනවිටත් කොළඹ හරස් වීදිවල කුණු කඳු ගොඩගැසී ඇත. නාසය වසාගෙන කුණු කඳු උඩින් පැන යන පුද්ගලයන්ගේ ඡායාරූප පුවත්පත්වල පළ කර තිබිණි. කොළඹ මහ නගර සභාව අපද්‍රව්‍ය බැහැර කිරීමේ වගකීමෙන් නිදහස් වීමට තීරණය කර තිබිණි. කසළ පටවාගෙන ගිය ලොරි ඒවා බැහැර කරන ස්ථානවල දී ආපසු හරවා එවා තිබිණි. සෑම තැනක ම දක්නට ලැබුණේ කුණුවලට එරෙහි උද්ඝෝෂණ ය. මේවා පිටුපස දේශපාලකයන් සිටි බව රහසක් නොවේ. ආණ්ඩුවේ ඇමැතිවරුන් පවා ජනතාවගේ පැත්ත ගෙන ක්‍රියාකරනු දක්නට ලැබිණි. එහෙත් මේ සිදුවීම් පසුපස තිබුණේ අනව‍බෝධය යි.

මීතොටමුල්ලේ ඛේදවාචකයත් සමඟ කුණු පිළිබඳ සංවාදය උත්සන්න විය. සමහරු එය සමූහ මිනිස් ඝාතනයක් ලෙස හඳුන්වා දුන්හ. තව සමහරු මේ සඳහා පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියෝ ය. තවත් සමහරු ගිය ආණ්ඩුව දෙසටත් මේ ආණ්ඩුව දෙසටත් ඇඟිල්ල දිගු කරන්නට පටන් ගත්හ. මේ අතර තවත් මත පළවන්නට විය. එක මතයකින් කියැවුණේ ගෝඨාභය රාජපක්ෂගේ වැඩසටහන නැවත ක්‍රියාත්මක කළ යුතු බව ය. තව මතයකින් කියැවුණේ රජයේ වන්දි මුදල් ප්‍රතික්ෂේප කළ යුතු බව ය. තවත් මතයකින් කියැවුණේ වන්දි මුදල් ප්‍රමාණවත් නැති බව ය. මේ එකකින්වත් කුණු ප්‍රශ්නයට විසැඳුම් ලැබුණේ නැත. ලැබෙන්නේ ද නැත.

දේශපාලකයන් හා දේශපාලන පක්ෂ කුණු ප්‍රශ්නය අලෙවි කරමින් තම අභිමතාර්ථ සාධනයෙහි යෙදෙන බවක් පෙනෙන්නට තිබේ. පළාත් පාලන ආයතන හා මධ්‍යම රජය අතරත් යම් කඹ ඇදීමක් පැවැතිණි. පළාත් සභාවල ප්‍රධාන ඇමැතිවරුන් හා මධ්‍යම රජයේ කැබිනට් අමාත්‍යවරුන් අතර උණුසුම් වචන හුවමාරු සිදුවිය. මේවා සිදුවීමට ප්‍රධාන හේතුව වූයේ එකිනෙක ආයතනවලට බලපවත්වන වැඩ කොටස් නිශ්චිත ලෙස හඳුනාගෙන නොතිබීම යැයි කියන්නට පුළුවන. එහෙත් අවශ්‍ය වන්නේ සාමූහික ප්‍රයත්නයක් ඔස්සේ ගැටලුවට විසැඳුම් සෙවීම ය. අලුත් තීන්දුවට අනුව කිසිදු පළාත් පාලන ආයතනයකට කුණු පිළිබඳ ප්‍රශ්නයෙන් මගහැර යා නො හැකි ය.

එක්තරා දේශපාලකයකු සඳහන් කළ වැදගත් ප්‍රකාශයක් අපට මේ මොහොතේ සිහිපත් වෙයි. එම ප්‍රකාශය නම්; සිදු වූ ඛේදවාචකය ආශිර්වාදයක් ලෙස සලකා ඉදිරි ක්‍රියාමාර්ග සකස් කළ යුතු බව ය. මෙය බුද්ධිමත් ප්‍රකාශයක් ලෙස සැලැකිය හැකි ය. කුණු අපට ප්‍රශ්නයක් වූයේ දසක තුනකට පමණ පෙර සිට ය. එදා සිටම මේ සම්බන්ධයෙන් විවිධ සංවාද පැවැතිණි.ප්‍රතිචක්‍රීකරණය, ජීව වායුව නිෂ්පාදනය, ප්‍රති නිෂ්පාදන ඇති කිරීම හා බලශක්ති විකල්පයක් ලෙස භාවිත කිරීම යන සංවාද ඒ අතර තිබිණි. සමහරු පිටරට ගොස් මේ පිළිබඳ අධ්‍යයන කළහ. ලෝක බැංකු ආධාර පවා උක්ත ව්‍යාපෘතිවලට ලැබිණි. එහෙත් කිසිවක් ස්ථාවර ලෙස ක්‍රියාත්මක වූයේ නැත. අවසානයේ ඛේදවාචකයක් සිදුවිය.

මේ ඛේදවාචකයෙන් පසු මුළු රටම අවදි වී ඇතැ’යි සිතන්නට පුළුවන. මේ අවදිවීම සමඟ අවබෝධය හා දැනුමත් ව්‍යාප්ත විය යුතු ය. එහෙත් එවැන්නක් සිදු වී නැත. නිදසුනක් කිවහොත් රටක නීතියට අභියෝග කිරීමේ හැකියාවක් ජනතාවට නැත. එහෙත් කුණු ප්‍රශ්නයේ දී ජනතාව නීතියට අභියෝග කරති. උසාවි තීන්දු නොසලකා කටයුතු කරති. මෙය සාධාරණ නැත. රජය තෝරාගත් ස්ථානවලට කුණු බැහැර කිරීමට ඉඩදිය යුතුය. ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන්වලට ජනතාවගේ සහයෝගය ලැබිය යුතුය. කොළඹ කුණු අපට එපා යන්න ජනප්‍රිය සටන් පාඨයක් මිස බුද්ධිමත් සටන් පාඨයක් නොවේ. රජය කුණු බැහැර කිරීමට ස්ථාන හඳුන්වා දී ඇත්තේ පාරිසරික තත්ත්වයන් සැලැකිල්ලට ගනිමින් ය.

කුණු - කසළ බැහැර කිරීම මෙන් ම ඒවා වර්ගීකරණයට ලක් කිරීම ද ඉතා වැදගත් ය. බොහොමයක් පළාත් පාලන ආයතන කුණු - කසළ වර්ගීකරණයකට ලක් කරන්නේ නැත. ඔවුන්ගේ කාර්යය වී ඇත්තේ සියලු කුණු තොග පිටින් එක ස්ථානයකට හලා වගකීමෙන් නිදහස් වීමය. මෙය සුදුසු ක්‍රියාවක් නොවේ. එක්කෝ ජනතාව කුණු - කසළ වර්ගීකරණය කළ යුතුය. නැතහොත් අදාළ ආයතන එම කටයුත්ත කළ යුතුය. ආපසු හරවා එවූ කුණු ලොරි බොහොමයක කසළ වර්ගීකරණය කර තිබුණේ නැත. මේවා සම්බන්ධයෙන් ජනතාව විරෝධය දැක්වීම සාධාරණ බව ද කිව යුතුය. ජනතාවගේ විරෝධතා මුළුමනින් ම වැරැදි යැයි අප කියන්නේ නැත. අවසන් ලෙස කුණු ප්‍රශ්නයට මුහුණ දිය යුත්තේ ද ජනතාවමය.

අලුත් නීතියට අනුව අපද්‍රව්‍ය එකතු කිරීම,ප්‍රවාහනය කිරීම, තාවකාලික ලෙස ගබඩා කිරීම යන කිසිදු ක්‍රියාවලියකට බාධා කිරීම, අවහිර කිරීම හා එම කාර්යයන් ප්‍රමාද කිරීම මුළුමනින් ම තහනම් ය. එලෙස ම මීට අදාළ රාජකාරි කරන පුද්ගලයන්ට තර්ජනය කිරීම හා ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීම ද තහනම් ය. තව අතෙකින් මේ ක්‍රියාවලියට බාධා ඇතිවන සේ මහජනයා රැස් කිරීම හා ප්‍රකෝප කිරීම ද තහනම් ය. එසේ කරන ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලීසියට ඇත. මහජනයා මෙතෙක් ඉහත ක්‍රියාවලට දැක් වූ බාධා කිරීම් මේ මගින් ඉවත් වේ යැයි සිතන්නට පුළුවන. ගෙවී ගිය දින කිහිපය තුළ ජනතාව හැසිරුණේ කුණු ප්‍රශ්නය විසැඳීමට ඉඩ නොදෙන පසුබිමක් තුළ ය.

දැන් සිදුවිය යුත්තේ නිශ්චිත වැඩසටහනකට හා සැලැසුමකට අනුව අපද්‍රව්‍ය බැහැර කිරීම හා ඒවායින් ප්‍රති - නිෂ්පාදන ඇති කිරීම ය. එහි වගවීම බොහෝ විට පවතින්නේ නිලධාරීන් අතෙහි ය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...