කඩාවැටෙන්න යන සමාජීය කුණු කඳු

අප බොහෝ දෙනා නොදන්නවා සේ සිටියාට මෙරට ජාතික ගැටලූව ද ( සුළු ජාතීන් සමඟ බලය බෙදා හදා ගැනීම සැලකිය හැක්කේ අප විසින්ම එකතු කළ, විසඳුම් ලබාදීමට අසමත් කුණු කන්දක් වශයෙනි. මෙය ද මීතොටමුල්ලට හැම අතින්ම සමානය. නිදහස ලබන විට එකම ජාතියක් සේ ජීවත් වූ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර භේදය වැපුරුවේ දේශපාලනඥයන් විසිනි. ඊට පසුව එය දේශපාලන හා ආර්ථික ඉල්ලමක් කරගත් පිරිසක් බිහිවුණේය. ඔවුන් යැපුණේ ද රැකුණේ ද මේ ගැටලූවෙනි. එයට විසඳුම් සෙවීමට ගත් සෑම ප්‍රයත්නයක්ම කඩාකප්පල් කර දැම්මේම මේ කල්ලිය විසිනි. යුද්ධය ජයග්‍රහණයෙන් පසුව සිදුව සංහිඳියා ප්‍රයත්නය, ව්‍යවස්ථා සංශෝධන ආදි ජාතික සංහිඳියාව බිහි කිරීමට ගන්නා සෑම ප්‍රයත්නයක්ම අද මීතොටමුල්ල මෙන් කුණු කන්දක් බවට පත්ව ඇත්තේ ඊනියා ජන බලය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවාදීන් හා අන්තවාදීන් ගන්නා ප්‍රයත්නය හමුවේ පසුබෑමට ආණ්ඩුව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා නම්‍යශීලීභාවයක් දක්වන නිසාය.

මීතොටමුල්ල කුණු කන්ද නාය යාම අප සැලකිය යුත්තේ ජාතියක් වශයෙන් අප වැටී සිටින අගාධයේ තරම මනාව කියාපාන කැඩපතක් වශයෙනි. ඒ යම් කිසි ගැටලූවකට සාධනීය විසඳුමක් ලබාදීමට රජයක් විසින් ගන්නා ඕනෑම උත්සාහයක් මුළු රම යොදා පරාජය කිරීමට හෝ කඩාකල්පල් කිරීමට අපි සමාජයක් වශයෙන් පොදුවේත් පුද්ගලයෙක් වශයෙන් තනි තනිවත් ගන්නා කුහක සහ ආත්මාර්ථකාමී ප්‍රයත්නයේ සජීවී පැතිකඩක් මීතොටමුල්ල හරහා ප්‍රකාශ වන හෙයිනි.

‘අඬන්න ඉන්න මිනිහට ඇඟිල්ලෙන් ඇන්නා’ කියා කතාවක් අප අතර තිබේ. පසුගියදා මීතොටමුල්ල කුණු කන්ද නාය යාම සමඟ ද සිදු වූයේ තවත් එවැනිම සිදුවීමකි. ඒ අවුරුදු නැකැත් අසුබ බවට ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ගිය ඊනියා ප්‍රවාදය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තහවුරු වීමට අවශ්‍ය පසුබිම මීතොටමුල්ල කුණු කන්ද නාය යාම මගින් බිහි වූ නිසාය.

මීතොටමුල්ල කුණු කන්ද නාය යාම අප සැලකිය යුත්තේ ජාතියක් වශයෙන් අප වැටී සිටින අගාධයේ තරම මනාව කියාපාන කැඩපතක් වශයෙනි. ඒ යම් කිසි ගැටලූවකට සාධනීය විසඳුමක් ලබාදීමට රජයක් විසින් ගන්නා ඕනෑම උත්සාහයක් මුළු වැරම යොදා පරාජය කිරීමට හෝ කඩාකල්පල් කිරීමට අපි සමාජයක් වශයෙන් පොදුවේත් පුද්ගලයෙක් වශයෙන් තනි තනිවත් ගන්නා කුහක සහ ආත්මාර්ථකාමී ප්‍රයත්නයේ සජීවී පැතිකඩක් මීතොටමුල්ල හරහා ප්‍රකාශ වන හෙයිනි.

අනෙක් අතින් දේශපාලන හෝ වෙනත් ඇලීම් බැදීම් හමුවේ ‘පොදුජන මතය’ යනුවෙන් නාමකරණය වන ඊනියා කඩාකප්පල්කාරීන්ගේ පටු වුවමනා එපාකම් ඉදිරියේ දණ ගැසීමට හෝ මඟහැර යාමට ආණ්ඩු විසින් ගන්නා සුලභ ප්‍රවේශයේ කැත සෙළුව මීතොටමුල්ල හරහා මනාව හෙළිදරව් වන හෙයිනි.

අප මේ තත්ත්වය වඩාත් අවධාරණය කරන්නේ සමාජය සහ ආණ්ඩුව විසින් පොදුවේ ගනු ලබන ඉහත කී ඍණාත්මක ප්‍රවේශයන්ගේ අනිසි ප්‍රතිඵල අප ජාතියක් වශයෙන් පසුගිය කාලය පුරාම අත්විඳිමින් සිටින හෙයිනි. කොටින්ම අද අප හමුවේ පවතින සකලවිධ අර්බුද හා අභියෝගවලින් අති බහුතරය අප විසින්ම නිර්මාණය කරගෙන අප විසින්ම කර ගසාගෙන සිටින පව් කන්දක් වශයෙන් සැලකිය හැක්කේ ඉහත කී ‘එරෙහි වීම’ හා ‘මඟහැර යාම’ අප විසින් අතිදක්ෂ ලෙස ප්‍රගුණ කර අප විසින්ම ක්‍රියාවේ යොදවන නිසාය.

එරෙහි වීමේ ඉතිහාසය

මීතොටමුල්ල කුණු කන්ද ගැන සාකච්ඡාවේ දී නිතර නිතර අවධාරණය වන කරුණක් වන්නේ කුණු කන්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ පාර්ශ්ව විසින් ගත් සෑම ප්‍රයත්නයක්ම ජනතාව එරෙහිවීම නිසා හකුලා ගැනීමට තමන්ට සිදු වූ බවට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන තර්කයයි.

ආණ්ඩුවේ මේ තර්කය ප්‍රතිචාර දක්වමින් ජනතාවගේ පැත්තෙන් නැඟෙන ප්‍රතිවිරුද්ධ චෝදනාව වන්නේ ආණ්ඩුව අත්තනෝමතිකව තීන්දු තීරණ ගන්නා බවත් ඒවා ඵලදායී විසඳුම් වශයෙන් තමන්ට පිළිගත නොහැකි බවත්ය.

එකිනෙකට හාත්පසින්ම වෙනස් වුවමනා එපාකම් හා න්‍යාය පත්‍ර සහිතව ක්‍රියාත්මක වන දෙපාර්ශ්වයක් විසින් එක් පොදු කරුණකට විසඳුම් ඉදිරිපත් කිරීමේ දී මෙවැනි ප්‍රතිවිරෝධ අදහස් හා මතවාද ඉදිරිපත් කිරීම ගැන අප පුදුම නොවිය යුතුය. එහෙත් ප්‍රශ්නය වන්නේ ‘වගකීම පමණක් නොව වගවීම’ මත ද ක්‍රියාත්මක විය යුතු පාර්ශ්වයන් මෙවැනි තර්ක ඉදිරිපත් කිරීම මගින් උද්ගත වන ඍණාත්මක තත්ත්වයයි.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන විසඳුම් ඊනියා ජන බලය විසින් අභියෝගයට ලක් කිරීම අද ඊයේ සිදුවූවක් නොව පසුගිය දශක ගණනාව පුරාම අඛණ්ඩව සිදුවූවකි.

ඒ සම්බන්ධයෙන් දැක්විය හැකි වඩාත් පහසුම උදාහරණය වන්නේ ජාතික ගැටලූවට දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් 1956 සිට මේ දක්වා ආණ්ඩු විසින් ගන්නා ලද සියලූම සාධනීය හා නිර්මාණාත්මක ප්‍රවේශයන් ජන බලය හමුවේ අභියෝගයට ලක්වීම හා ඒ වහාම ආණ්ඩුව විසින් කිසිඳු විරෝධය පෑමකින් තොරව අඩියක් නොව අඩි දෙකක් පසු පසට ගැනීමයි.

1956 දී ‘බණ්ඩාරනායක - චෙල්වනාගයම්, 1965 දී ‘ඩඩ්ලි - චෙල්වනායගම්’ ගිවිසුම් පමණක් නොව 1987 ‘ඉන්දු ලංකා ගිවිසුම’, 1996 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 2002 සටන් විරාම ගිවිසුම ද අපේක්ෂිත අරමුණු ඉටුකර ගැනීමකින් තොරව ඉතිහාසයේ හමස් පෙට්ටියට වැටුණේ මේ ඊනිසා එරෙහි වීමේ ඉතිහාසය නිසාය.

මෙය ජාතික ගැටලූව සම්බන්ධයෙන් නොව දේශපාලන ප්‍රතිසංස්කරණ, ආර්ථික ප්‍රතිසංස්කරණ හා සමාජ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද පසුගිය කාලය පුරාම සිදු වූ සුලභ තත්ත්වයක් වශයෙන් අපට හඳුනා ගත හැකිය.

නාය යාමට සූදානම් තවත් කුණු කඳු

ජාතියක් වශයෙන් විසඳුම් සෙවිය යුතු කරුණක් ඊනියා ජනතා විරෝධය හේතුවෙන් හකුලා ගැනීමට ආණ්ඩු විසින් පියවර ගැනීම සැලකිය යුත්තේ ‘ජනමතයට කන්දීමක්’ වශයෙන් හෝ ‘ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට ගරු කිරීමක් වශයෙන් දැයි’ අප විසින් යළිත් විමසා බැලිය යුතු අවස්ථාවකට පැමිණ ඇති බව දැන් පැහැදිලිය.

ආණ්ඩුව වහාම මෙවැනි පසු විපරමක නොයෙදුණහොත් මීතොටමුල්ලටත් වඩා උස හා භයානක කුණු කඳු රැුසක් අද හෙටම මුළු රටම සමතලා කරමින් ඇඳ වැටෙන බව ඉතාම පැහැදිලිය. එනිසා ‘අනේ අපි විසඳුම් දුන්නා, ජනතාව ඒවා ප්‍රතික්ෂේප කළ නිසා ඒවා හකුලා ගත්තා’ යැයි ආණ්ඩුව අද නඟන සුපුරුදු මැසිවිල්ල ඊටත් වඩා අති භයානක ලතෝනියක් නොවීමට වග බලාගත යුතුය.

අප එසේ කියන්නේ ඇයි ? ඒ හේතු එකක් නොව රැසක් නිසාය.

මීතොටමුල්ල කුණු කන්දට අවුරුදු 20ක් යැයි බොහෝ දෙනා කියන්නේ ඊට පෙර එම ප්‍රදේශයේ සුන්දර වෙල් යායක් ද තිබූ බව ආසාවෙන් සිහිපත් කරමිනි. ඔවුන්ට අනුව ඉතා සුන්දර වෙල් යායක් වූ මීතොටමුල්ලට කුණු ගෙනැවිත් දැම්මේ දේශපාලනඥයන් විසිනි. පසුව ඔවුන්ම කුණු ඉල්ලමක් කරගත් අතර කුණු ගොඩෙන්ම යැපෙන හා රැකෙන තවත් පිරිසක් ද ඒ පරිසරයෙන්ම බිහි විය. පසුව ‘හිඟන්නාගේ තුවාලය සේ’ කුණු කන්දට විසඳුමක් සෙවීමට ගත් සෑම ප්‍රයත්නයක්ම මේ කල්ලිය නිසා වැළකී ගියේය.

අපට මේ තත්ත්වය මේ රටේ දශක හය හතක් පුරා විසඳුම් ලබාදීමට අසමත්ව තිබෙන ජාතික ගැටලූවට, බලය බෙදා ගැනීමට, ජාතික සංහිඳියාව ගොඩනැඟීමට ආදේශ කළ නොහැක්කේ කුමක් නිසාද ?

අප බොහෝ දෙනා නොදන්නවා සේ සිටියාට මෙරට ජාතික ගැටලූව ද ( සුළු ජාතීන් සමඟ බලය බෙදා හදා ගැනීම සැලකිය හැක්කේ අප විසින්ම එකතු කළ, විසඳුම් ලබාදීමට අසමත් කුණු කන්දක් වශයෙනි. මෙය ද මීතොටමුල්ලට හැම අතින්ම සමානය. නිදහස ලබන විට එකම ජාතියක් සේ ජීවත් වූ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර භේදය වැපුරුවේ දේශපාලනඥයන් විසිනි. ඊට පසුව එය දේශපාලන හා ආර්ථික ඉල්ලමක් කරගත් පිරිසක් බිහි වුණේය. ඔවුන් යැපුණේ ද රැකුණේ ද මේ ගැටලූවෙනි. එයට විසඳුම් සෙවීමට ගත් සෑම ප්‍රයත්නයක්ම කඩාකප්පල් කර දැම්මේම මේ කල්ලිය විසිනි.

යුද්ධය ජයග්‍රහණයෙන් පසුව සිදුව සංහිඳියා ප්‍රයත්නය, ව්‍යවස්ථා සංශෝධන ආදි ජාතික සංහිඳියාව බිහි කිරීමට ගන්නා සෑම ප්‍රයත්නයක්ම අද මීතොටමුල්ල මෙන් කුණු කන්දක් බවට පත්ව ඇත්තේ ඊනියා ජන බලය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවාදීන් හා අන්තවාදීන් ගන්නා ප්‍රයත්නය හමුවේ පසුබෑමට ආණ්ඩුව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා නම්‍යශීලීභාවයක් දක්වන නිසාය. ඒ නිසා අප විසින්ම බිහිකර අප විසින්ම නඩත්තු කරන ජාතික අර්බුදය නම් කුණු කන්ද වහාම ඉවත් කිරීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතුය.

ආර්ථික ප්‍රතිසංස්කරණ

දැවැන්ත විදේශ ණය බරක් සහිතව දිනෙන් දින පීඩනයට ලක්වන ශ්‍රී ලංකාවේ ආර්ථිකය මත පැටවී ඇති කුණු කන්ද ඉවත් කිරීමට ආණ්ඩුව පසුගිය වසර දෙකට ආසන්න කාලය පුරා යම් යම් සාධනීය ප්‍රවේශයන් ගන්නා බවක් අපට දැකිය හැකිය.

උදාහරණ වශයෙන් හම්බන්තොට, මත්තල ඇතුළු ඌණ උපයෝගී ආර්ථික දැවැන්තයන්ගේ බර සැහැල්ලූ කර ගැනීම සඳහා විදේශ ආයෝජකයන් සමඟ සම්බන්ධ වීම, ආර්ථික හා ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම සඳහා ‘එටිකා ගිවිසුම’, ශ්‍රී ලංකන් වැනි සුදු අලින්ගෙන් ගැලවීමට ඒවා යළි ප්‍රතිව්‍යුහගත කිරීම ආදි වශයෙන් දැවැන්ත ආර්ථික සංවර්ධන සැලසුම් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබේ.

එහෙත් ඇත්තටම තිරය පිටුපස සිදුවන්නේ කුමක්දැයි ජනතාවට වැටහීමක් නැත. එහෙත් කරුණු කාරණා පෙළගැසෙමින් පවතින ආකාරය අනුව නම් පෙනී යන්නේ මෙකී සියලු ආර්ථික සංවර්ධන සැලසුම්වලට එරෙහිව මතු වෙමින් පවතින ඊනියා ජනතාව විරෝධය හමුවේ ආණ්ඩුව එකින් එක සිය සංවර්ධන සැලසුම් හකුලා ගනිමින් සිටින බවයි. හම්බන්තොට සංවර්ධන සැලසුමේ දී ආණ්ඩුව විසින් පසුපසට ගත් එක අඩිය වඩාත් තීරණාත්මක ‘එට්කා’ වැනි තත්ත්වයක් හමුවේ කෙසේ වේදැයි කිව හැකිද ?

ආණ්ඩුව මෙවැනි ඍණාත්මක ප්‍රවේශයකට ගියහොත් සිදුවන හානියේ තරම ගණනය කළ නොහැකි තරම් වනු ඇති බව අපගේ විශ්වාසයයි. මන්ද පසුගිය කාලයේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ ඇතැම් දැවැන්ත සංවර්ධන ප්‍රයත්නයක් යම් යම් හේතු නිසා සමාජය හමුවේ හෑල්ලූවට මෙන්ම අවමානයට ද පාත්‍ර වූ බව අපට දැකිය හැකි වූ හෙයිනි.

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ද අපට සැලකිය හැක්කේ ජනතාව හමුවේ කඩාපාත්වීමට නියමිත දැවැන්ත කුණු කන්දක් වශයෙනි. මන්ද 1977 සිට අවුරුදු 40ක් පුරා වත්මන් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනතාව හමුවේ පවතින ප්‍රතිරූපය මීතොටමුල්ලටත් වඩා විශාල කුණු කන්දක් හෙයිනි.

එහෙත් මීට පෙර අප අවධාරණය කළ ආකාරයටම නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ද ජනතා විරෝධය හමුවේ සැලකිය යුතු පසුබෑමට ලක්වීමට ඇති අවස්ථාව අපට පහසුවෙන් බැහැර කළ නොහැක්කේ අතීත අත්දැකීම් අපව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා භීතියට පත් කරන බැවිනි. රජය වහ වහා ඊනියා ජනතා විරෝධය මුවාවෙන් අවස්ථාවාදීන් සහ අන්තවාදීන් විසින් ඉදිරිපත් කරන විරෝධතා නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට පියවර නොගතහොත් ඉතා ඉක්මනින්ම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ද මීතොටමුල්ල මෙන් ආණ්ඩුව මත කඩා වැටෙනු ඇත්තේ සමස්ත යහපාලන යාන්ත්‍රණයම සුන්නද්ධූලි කරමිනි.

මාධ්‍ය කුණු කන්ද

මේ අප විසින් අවධාරණය කරන ලද්දේ ආණ්ඩුව විිසින් වහාම ඉවත් කළ යුතු දේශපාලන කුණු කඳු කිහිපයක් ගැන පමණකි. මීට හිමාලය තරම් උස කුණු කන්දක් බවට පත් වෙමින් මුළු රටම ගඳ ගස්වමින් තිබෙන ඊනියා මාධ්‍ය භාවිතය ද රජයේ අවධානයට වහා ලක්විය යුතු බව අප අවධාරණය කරන්නේ ඇතැම් මාධ්‍ය මීතොටමුල්ල සිදුවීම වාර්තාකරණය කිරීමේ දී දැක්වූ මජර ස්වභාවය මුළු රටම ගඳ ගැස්සීමට සමත් වූ නිසාය.

විශේෂයෙන් කොළොන්නාව දේශපාලන කෙළිබිම කරගත් දේශපාලන අනාථයන් යළි සුජාත කිරීමේ එකම අභිප්‍රායෙන් පෙළෙන ඇතැම් විද්‍යුත් මාධ්‍ය නාලිකා සේම ආණ්ඩුවට තර්ජනය කරමින් තම මූල්‍ය බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට කෙටි මං සොයන පුවත්පත් ද කුණු වී මුළු සමාජයම ගඳ ගැස්වීමට කිසිදු ලැජ්ජාවකින් හෝ බියකින් තොරව සූදානම් බව මීතොටමුල්ල සිදුවීමේ දී යළි සනාථ කළේය.

මෙහි දී අප වහා අවධානයට ගත යුතු කරණ වන්නේ ලංකාවේ ජනමාධ්‍ය මේ ආකාරයට ඒකපාර්ශ්වික හා පටු න්‍යාය පත්‍ර මත ක්‍රියාත්මක වන්නේ නම් ඉතා ඉක්මනින් සමස්ත සමාජයම අනතුරේ හෙළමින් නාය යාමට ලක්විය හැකි බවයි. එනිසා කල් මරමින් නොසිට ආණ්ඩුව වඩාත් ජනතාවාදී හා බහුත්වවාදී ජනමාධ්‍ය භාවිතයක් සඳහා ප්‍රවේශයක් නිර්මාණය කිරීමට පියවර ගත යුතු බව අපගේ විශ්වාසයයි.

සේරම කුණු බේරුවල බොක්කටද ?

සතියේ සිදුවීම නැතහොත් වසරේ සිදුවීම බවට පත් මීතොටමුල්ල සිදුවීම සමඟ යළිත් ආණ්ඩුව එරෙහිව ජනතාව ඇවිස්සීමට ඒකාබද්ධ විපක්ෂය සහ හිටපු පාලකයන් යළි බලයට ගෙන ඒමේ පිපාසයෙන් පෙළෙන ජනමාධ්‍ය ගන්නා ක්‍රියාමාර්ග ආණ්ඩුවේ පමණක් නොව වත්මන් යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට ඇපකැප වූ ජනතාවගේ ද ක්ෂණික අවධානයට යොමු විය යුතුය.

මන්ද මේ ලියුම්කරු මීට පෙර ද අවධාරණය කර ඇති ආකාරයට වත්මන් ආණ්ඩුව බිඳ දැමීම සඳහා ගත හැකි ඕනෑම පියවරක් වෙත නොබිය යොමුවීමට ඒකාබද්ධ විපක්ෂය යැයි කියා ගන්න කල්ලිය සූදානම් පසුබිමක ‘පනින රිලවුන්ට ඉණිමං තැනීම’ වැනි ක්‍රියාමාර්ග ගැනීම ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට කිසිසේත් ගෝචර නොවන හෙයිනි. ඒ නිසා ආණ්ඩුව මීතොටමුල්ල ඇතුළු පසුගිය සියලූම අර්බුදකාරී සිදුවීම්වල යථා තොරතුරු හා පසුබිම නොබියව ජනතාව හමුවේ හෙළිකළ යුතුය. එවැනි හෙළි කිරීමක් ක්ෂණිකව ආණ්ඩුවට යම් හානියක් කළ ද දීර්ඝ කාලීනව එය ආණ්ඩුවේ යහපැවැත්ම සහතික කරනු ඇති බව අපගේ විශ්වාසයයි.

උදාහරණ වශයෙන් වත්මන් ආණ්ඩුව බලයට පත් වූ වහාම වාගේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් වන දැරණියගල සාමසර කන්ද නායයාම, සාලාව යුද හමුදා කඳවුර පුපුරා යාම මෙන්ම මීතොටමුල්ල සිදුවීම ද අදාළ ජනතාව නොදන්නා බොහෝ දේ රජයේ තොරතුරු වශයෙන් පැවතිය හැකිය. මේ සඳහා දැක්විය හැකි කදිම උදාහරණය වන්නේ මීතොටමුල්ල කුණු කන්ද නාය යාමට පෙර ඒ අවට පදිංචිකරුවන්ට එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස දිරි ගන්වමින් කොළඹ නගර සභාව විසින් වන්දි මුදල් ලබා දුන් බවට කොළඹ නගර සභාවේ බලධාරීන් විසින් සිදුවීමෙන් බොහෝ දිනකට පසු කළ හෙළිදරව්වයි.

එහෙත් එම හෙළි කිරීම මගින් සිදුවීමේ වේදනාව හෝ ආණ්ඩුවට එරෙහි මතය සමහන් වීමක් සිදු වූ බවක් දැකිය නොහැකි විය. ඒ අනවශ්‍ය තරම් ප්‍රමාදයකින් යුතුව කළ කරුණු පැහැදිලි කිරීම් තවදුරටත් ජනමාධ්‍ය ඇතුළු පාර්ශ්ව විසින් ඇවිළු ගින්න නිවා දැමීමට සමත් නොවූ හෙයිනි.

ඒ නිසා අප අවසාන වශයෙන් අවධාරණය කරන්නේ මීතොටමුල්ල සිදුවීම පාඩමක් කරගෙන ජනතාවත් ජනතාවට වඩා ආණ්ඩුවත් පාඩම් ඉගෙන ගත යුතු බවයි.

‘වළක වැටීම මොළයට හොඳ බව’ ඇතැමුන් කියන්නේ කට කහනවට නොවේ.

භාතිය බරුකන්ද 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...