මී මැස්සෝ ඔබයි මමයි...

අද ලංකාවේ මී පැණිවල ඉල්ලුමෙන් 80% ක් ගෙන්වන්නේ පිටරටිනි. එමනිසා දියුණු වෙන්න කැමති තරුණ තරුණියන්ට ආරම්භ කළ හැකි විනෝදාත්මක මෙන්ම ඵලදායි ව්‍යාපාරයක්. මී මැසි පාලනය අතීතයේ සිට අප මුතුන්මිත්තන් මී මැස්සන්ගෙන් ප්‍රයෝජන ලබාගන්න පුරුදුව සිටියා. අපගේ භෝග පරාගතනය හා මී පැණි හා මී ඉටි අප ලබන ප්‍රධාන ප්‍රයෝජන වෙනවා.

මී මැසි පාලනය පිළිබඳ මනා දැනුමක් ලබාගෙන සුළුවෙන් උවද ආරම්භ කර හැකි ගමේ ව්‍යාපාරයකි. මනා ලෙස මී මැසි පාලනයට යොමුවීම තුළින් අතමිට සරු වෙනවා. ජාතික අවශ්‍යතා ඉටුවෙනවා වාගේම මානසික වශයෙන් ද තෘප්තියක් විය හැකිය. මී දඩයමට පසුකාලීනව දියුණු වී මී මැසි පාලනය කෘෂිකර්මාන්තයක් දක්වා ඉදිරියට පැමිණ ඇත. මී මැසි ජනපදයක් හෝ කිහිපයක් ආධුනිකව පාලනය කර හැකිය. මී මැස්සන් ප්‍රිය කරන පරාග බහුල ගෝචර ශාක සිනියා ඇන්ටිගොහොත් පොල්/ අඹ/ මාර/ සියඹලා/ කෝන්/ රබර්/ මොර/ මිර/ කුඹුක්/ දිවුල් ආදී ශාක බහුල වතු සහ කැලෑ ආශ්‍රිත මී මැසි පාලනයට ඉතා යෝග්‍ය වේ.

මෙම ගෝචර ශාකවලින් උපරිම ප්‍රයෝජනයක් ගත හැක්කේ මී මැසි ජනපදයේ සිට මී මැස්සාට පියඹා යා හැකි දුරක ශාක තිබුණෝත පමණයි. මී මැසි ජනපද ස්ථානගත කිරීමේදී මේ පිළිබඳ සැළකිලිමත් විය යුතුයි.

මී මැසි පාලනය ආරම්භ කරන ආධුනිකයෙකු හට මී මැසි ජනපද අභිජනනය කර ගොවිපළකින් මිලදී ගත හැකිය. ඊට අමතරව ඔබ අවට ස්වභාවික පරිසරයේ වෙසෙන මී මැසි ජනාවාස වුවද අල්ලාගෙන පෙට්ටිගත කළ හැකිය.

කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි මී මැසි පෙට්ටි නිෂ්පාදකයින්ගෙන් මී මැසි‍ පෙට්ටි මිලදීගත හැකිය. තවද ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් ද ගුණාත්වයෙන් යුතු මී මැසි පෙට්ටි මිලදීගත හැකිය. එමෙන්ම තම ගෙවත්තට මී මැසි ජනපද ගෙන්වා ගැනීම සඳහා මී මැසි උගුල් භාවිත කළ හැකිය. ඒ සඳහා තල් කිතුල් කොට භාවිතා කළ හැකිය.

අඩ අඳුරු සිසිල් ප්‍රදේශ මී බිඟුන් ඉතා ප්‍රියකරන බැවින් ගස් කොළන් සහිත ඇළදොළ ආශ්‍රිතව මී මැසි ජනපද ස්ථාපිත කිරීමට වඩා සුදුසු වේ. කෘෂි රසායනික වර්ග බහුලව භාවිත කරන ලද ගොවිපළවල් ආශ්‍රිත ප්‍රදේශ මෙන්ම අධික ශබ්දය හා වාහන දුම් සහිත ප්‍රදේශවල පිහිටවන ලද ජනපද අසාර්ථක වේ.

මී මැසි ජනපදයක රැජින වැඩකාර මැස්සියක් හා පිරිමි මැස්සන් දැකගත හැකිය. මී මැසි ජනපදයක ප්‍රධානියා මී මැසි රැජින වුවද ගහනයේ පැවැත්ම සඳහා මලින් මලට ගොස් මඩු හා පරාග ගෙන ඒම ජලය ගෙනඒම ජනපද‍ය සතුරන්ගෙන් ආරක්ෂා කිරීම උණුසුම් කාලවලදී ජනපදය වහනය කිරීම, මී වද ශුද්ධ පවිත්‍ර කිරීම හා පිළිසකර කිරීම, පැටවුන් රැකබලා ගැනීම හා රැජිනට සාත්තු සප්පායම් කිරීම ආදී කටයුතු මනා ශ්‍රම සංවිධානයකින් යුතුව වැඩකාර මැස්සින් හෙවත් ගැහැනු සතුන් විසින් ඉටුකරනු ලබයි.

පිරිමි මැස්සන් නව පරම්පරාවක් බිහිකිරීම සදහා රැජින සමඟ එකතුවීම පමණක් සිදු කරන අතර ජනපදය වර්ධනය වන කාලේදී පිරිමි මැස්සන් දැකිය හැකිය. මී මැසි ජනපදයේ ප්‍රධානියා රැජිනයි. රැජින සාමාන්‍ය වැඩකාර මැස්සන්ට සාපේක්ෂව ප්‍රමාණයෙන් වඩා විශාලය.

රැජින විසින් වද කුහර තුළට විත් බිජුව බැගින් තැන්පත් කර බිත්තර මඟින් ගැහැනු සතුන් සංසේචනය නොවූ බිත්තරවලින් පිරිමි සතුන් ද බිහිවේ. ගැහැනු සතුන්ගේ බිජු අවධිය දින 03 කි. කීට අවධිය දින පහකි. පිලා අවදිය දින 12 කි. සුහුබුල් අවධිය දින 05 - 07 දක්වා වන අතර ජීවිත කාලය සති 6 - 8 ක් පමණ වේ. පිරිමි සතුන්ගේ බිජු අවධිය දින 03 කි. කීට අවධිය දින 6 - 7 ක් වේ. පිලා අවධිය දින 14 - 15 ක් වන අතර සුහුබුල් අවධිය දින 07 - 10 ක් වේ. ආධුනික මී මැසි පාලකයකු විසින් වුවද හොඳින් නඩත්තු කර ජනපදයකින් වරකදී මී පැණි කිලෝ 07 ක් ලබාගත හැකිය. කාලගුණික තත්ත්වය ප්‍රදේශයේ අනුව හා‍ ගෝචරශාක තත්ත්වය අනුව මී පැණි අස්වැන්න අඩු වැඩි විය හැකිය.

අපේ රටේ නව කෘෂිකාර්මික රටක් බවට පත්කිරීමේදී අවශ්‍යතාව අද බොහෝ දෙ‍නකුගේ අවධානය යොමු වී ඇති බව පෙනේ. ඒ සඳහා මී මැසි පාලනය ගෙවතු ආශ්‍රිතව හා සුළු පරිමාණ වාණිජ ව්‍යාපාරයක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙය අප කොට්ඨාසයේ දැනට ආරම්භ කර ඇත.

ගඟඉහළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂක හා නිෂ්පාදන සහකාර මී මැසි පාලක මහනුවර දිස්ත්‍රික් ඉලේපෙරුම මහතා සමඟ කළ සාකච්ඡාවකි.

ගඟඉහළ සමූහ
ජගත් ජනප්‍රිය


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...