හෙම්මාතගම පිංචි මාතාවට වයස සීයයි

මධ්‍යම පළාතත් සබරගමුවත් වෙන්වෙන මායිමේ මාවනැල්ල කෙහෙල්පන්නල රිලා ගල කදුකර ප්‍රදේශයේ අවුරුදු 100ක් වයසැති කාන්තාවක් තවමත් නිරෝගි සුවයෙන් ජීවත් වේ. ඇය ජාමුණි ගෙදර පිංචි නම් වේ. ඇයට වයස අවුරුදු 100ක් වුවත් ගමේ අය පවසන්නේ ඇයට අවුරුදු 100කටත් වඩා වැඩි වයසක් ඇති බවයි. නමුත් ඇයගේ වැඩිහිටි හැදුනුම්පත අනුව එහි උපන් දිනය සඳහන් කර ඇත්තේ 1917 වර්ෂයේ මාර්තු 20 වැනි දා ලෙසටයි. ඒ අනුව මේ වන විට ඇයට වයස අවුරුදු 100ක් වන අතර තුන් මුණූපුරන් දැක ඇති ඇය මාවනැල්ල ප්‍රා‍දේශීය ලේකම් කලාපයට අයත් කොටසේ ජීවත් වේ.

පිංචි මාතාව දැනට ජීවත්වෙන ස්ථානය පිහිටි රිලා ගල හෙම්මාතගම නගරයේ සිට ගම්පොළ දෙසට යද්දි ඈත කඳු වළල්ලේ උස් කදු සහිත බිමක පිහිටා ඇත. සෞන්දර්ය අතින් සුන්දරත්වය ඇති ස්ථානයක් වුවත් මේ ගම්මානය පිහිටි ස්ථානයට යන්නට ඇත්තේ කුඩා අඩි පාරකි.

රිලා ගල පිහිටි කදුකර මුදුනේ පවුල් 40කට වැඩි පිරිසක් ජීවත් වේ. සිය බව බෝගවලින් ලබන ආදායම සහ කුලී වැඩවලින් ලැබෙන මුදලින් ඔවුහු ජීවත් වේ.

මෙරට සුදු ජාතිකයන් පාලනය කරන ලද කාල වකවානුවේ රිලා ගල මුදුනේ පදිංචියට නිවෙසක් හදා ගන්න අවසරය දුන් මේ මාතාව පවසයි. ඇයට දරුවන් 10 දෙනෙකි. ඇගේ ස්වාමියා උක්කු නමැති අයෙකි විවාහයෙන් පසු ඇය මේ නිවෙසට පැමිණ ඇති අතර ඇගේ මුල් පදිංචිය ගම්පොළ වැටකදෙනිය ග්‍රාමයයි.

පිංචි මාතාව - මම හිටියේ වැටකදෙනියේ අපේ තාත්තාගේ ගමේ. තාත්තාගේ නම කිරිහොඳා. අම්මාගේ නම මට මතක හැටියට පුංචිනා හෝ රන් කිරා. අම්මාගේ නම මට නිච්චියටම මතක නැත්තේ අම්මා අපි ඉපදෙනකොටම මැරුනා. සහෝදරයෝ ටිකගේ නම් ටික මතකයි. අක්කා උක්කු අම්මා, මල්ලිලා දෙන්නා උක්කුවා හා බිලිඳා. නංගිගේ නම ලැයිසා. අපි ඉස්සර මෙහාට එනකොට කැලෑ පාරවල් තිබුණේ. ගම් සභා පාරවල්. අපි සුද්ධ කරගෙන තමයි මේ ගමට ඇවිත් පදිංචි වුණේ.

අම්බුළුවාවේ සුද්දෝ ස්ටොරුවක් (තේ කර්මාන්ත ශාලාවක්) හදා ගෙන දළු ඇඹරුවා. අපි තේ දළු නෙළුවා. දවසට අපිට පොඩි ගාණත් තමයි දුන්නේ. දවසකටම රුපියල් 5ක් ද කොහේදෝ.

අනේ ඉතින් අපි කෑවේ වෙන මොනවාද කොස්, දෙල්, බතල, මඤඤෝක්කා. ඕවා තමා ඒ කාලේ කෑවේ. දැන් වාගේ බත් ගිල්ලේ නෑ. අපි මේකට එන කොට මහා කැලයක් තමයි තිබුණේ.

පස්සේ පස්සේ එළි පෙහෙලි කරලා වගා කළා. මට මතක හැටියට අපි ආවාට පස්සේ තමයි මිනිස්සු මේ පැත්තේ පදිංච්යට ආවේ. සුද්දෝ තමයි ගෙවල් හදා ගනිල්ලා කියලා අපිට එන්න කීවේ.

බඩු ගන්න ඉස්සර පයින්ම වරකාවල පැත්තට හෝ හෙම්මාතගම ටවුමට, ගම්පොළ ටවුමට යනවා. බස් දැම්මාට පස්සේ කාලේ. පයින් යන කාලේ උදේ ගියාම හැන්දෑවට තමයි ගෙදර එන්නේ. බබාලා හම්බ වෙනකොටත් අපි පයින් ගිහින් තමයි ඉස්පිරිතාලයකට ගියේ. නැත්නම් වින්දඹු අම්මාට කියනවා.

දැන් නම් මැරෙන්නේ කවද්ද කියලා තමයි බලාගෙන ඉන්නේ. මගේ ලේලි නන්දාවතී. එයාගේ අම්මට වගේම මට ආදරෙන් සලකනවා. මට කන්න බොන්න ටික ළඟට දෙනවා. නාවනවා.

හැම වන්දනා ගමනක්ම ගියේ පයින්. දවස් 7-10 වන්දනා ගමන් තමයි තිබුණේ. මග දිගට නැවති නැවතී යනවා. පාරවල් ගානේ නවතිනවා. එක තැනක නෙවෙයි. අම්බලන්වලත් ඉන්නවා. සිරිපාදේ යන්නත් දවස් 4ක් විතර යනවා. මාළිගාවට නම් ගිහින් ඇති මගේ ඔළුවේ හිස කෙයියා ගානට. ඒ වාගේම මාළිගාවේ දවල් පෙරහරවල් බලලා තියනවා. නැවතිලා සිල් අරන් තියනවා.

මාවනැල්ල
සමන් විජය බංඩාර


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...