පාසලේ ඵලදායිතාව සහ විභාග ප්‍රතිඵල

නූතන තාක්ෂණික යුගයේ සිට සළකන කල අතීත ගල් යුගය දක්වා දිවෙන සංකල්පයක් ලෙස හඳුනාගත හැකි ඵලදායිතාවය, ගල් යුගයේ සිට මේ දක්වා ක්‍රමිකව සංවර්ධනය වූ අතහැර දැමිය නොහැකි මාතෘකාවක් වේ. 70 – 80 දශකයේ කාර්මික විප්ලවයත් සමඟ ඇතිවූ සමාජ වෙනස්වීමට අනුරූපව ප්‍රබල ලෙස ගොඩනැගුණු සංකල්පයක් වූ මෙම ඵලදායිතාව යනු කර්මාන්ත ලෝකයේ අපූරු නිමවුමක් ලෙස ද හඳුනාගත හැකිවේ.

කෙසේ වුවද ඵලදායිතාවය යන්න රටක සංවර්ධනය කෙරෙහි අතිශයින් බලපානු ලබන ක්‍රියාදාමයක් ලෙස ගත් කල ආයතනික වශයෙන් එයට හිමිකර දෙන්නේ ප්‍රබල ස්ථානයකි. නමුත් ඉගෙනුම ලෝකයේ ඵලදායිතාවය කර්මාන්ත ලෝකයේ ඵලදායිතාවයට වඩා සුවිශේෂි බවක් දරන අතර කර්මාන්ත ලෝකය තුළ සිදුවන භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියට සාපේක්ෂව ඉගෙනුම් ලෝකය තුළ මානව හැසිරවීම් හැඩගැස්වීමට සිදුවන බව වැදගත්කොට සැලකිය යුතුවේ.

ඉගෙනුම් ලෝකය තුළ ක්‍රියාත්මක වන අධ්‍යාපන ආයතනයක් යනු කර්මාන්ත ලෝකයේ එක් අරමුණක් කරා ගමන් කරන නිෂ්පාදන ක්‍රියාවලියට වඩා වෙනස් මුහුණුවරක් ගන්නාමුත් අරමුණු රාශියක් සඵල කරගැනීම සඳහා ක්‍රියාත්මක වන්නාවූත් ආයතනයක් බැවින් එකී ආයතනයක් තුළ ඵලදායිතාවය මැනීමෙහිලා එකම නිර්ණායකය විභාග ප්‍රතිඵලය පමණක් බව කිව හැකි නොවේ. නමුත් එවන් ආයතනයක ඵලදායිතාවය මැනිය හැකි නිශ්චිතම නිර්ණායක විභාග ප්‍රතිඵලයක් බව සත්‍ය කරුණක් වේ. සමස්ත ලාංකීය පාසල් පද්ධතිය තුළින්ම එකම මට්ටමේ අධ්‍යාපන ක්‍රියාවලියක් අපේක්ෂා කළ නොහැකි අතර, එසේ වන්නේ යැයි උපකල්පනය කරන කල්හි සමස්ත පාසල් පද්ධතියෙහිම විභාග ප්‍රතිඵලය 100% විය හැකි බවත්, ඵලදායිතාවය උපරිමය කරා ගමන් කළ හැකි බවත්, සිතිය හැකි නමුත් සැබෑ ඵලදායිතාවය තුළ උපකල්පිතයක් කෙරේ. වටිනාකමක් තැබිය ‍නොහැකි වේ.

ඒ අනුව සැලකීමේදී අධ්‍යාපන ආයතනයක් ලෙස පාසල තුළ ඵලදායිතාවය තීරණය කිරීමෙහිලා එතුළ ක්‍රියාත්මක වන මානව හැසිරවීම් හැඩගැස්වීමේ කාර්යභාරය කෙරේ වැඩි අවධානයක් විභාග ප්‍රතිඵල හා සමානව යොමුවිය යුතුවේ. පළමු ශ්‍රේණියෙන් පාසලට ඇතුළුවන දරුවා දහතුන ශ්‍රේණියෙන් පාසල හැරයන තෙක් පමණක් නොව ඉන් ඔබ්බට ද තම ජීවිතය තුළට සාර්ථකව විභාග ප්‍රතිඵලයට අමතරව අත්කරගත යුතු හැසිරීම් චර්යා සමුදායක් පවතින අතර එකී සියල්ල ද පාසලේ ඵලදායිතාවය ගම්‍ය කිරීමෙහිලා හේතුපාදක වේ. පළමු ශ්‍රේණියේ සිට දහතුන ශ්‍රේණිය දක්වා අනිවාර්ය අධ්‍යාපනය ලබාදීමට සැලැස්වීම විශිෂ්ට කර්තව්‍යයක් වන අතර එතුළින් ඉහළ ප්‍රතිඵල දරන දරුවෙකු බිහි කිරීමට අපේක්ෂා කළ ද එය වර්තමානය වනවිට සිදුවී නැති බව විභාගයෙන් 25%ක් සමත් නම්, ඉන් 75% අසමත් වන අතර සමත් වන සුළුතරය තුළින් පාසලේ ඵලදායිතාවය මැනිය නොහැකි බව අසමත්වන්නන්ගේ ගිලිහීයාම තුළින් පැහැදිලිව කිව හැකිවේ. එහිදී බහුතරය හිස් මිනිසුන් බවට පත්වීම, බුද්ධිගලනය, අසමතුන් සඳහා උචිත වෘත්තිය මගපෙන්වීම් නොමැතිවීම වැනි සමාජ තත්ත්වයන් වර්තමානයේ විභාගය හා විභාග ප්‍රතිඵලය තුළින් ඇතිවන නීරස ඵලය බවට පත්ව ඇත.

විශේෂයෙන්ම පාසලක ඵලදායිතාවය මැනීමේදී විභාග ප්‍රතිඵලයට අමතරව හඳුනාගත හැකි වෙනත් නිර්ණායක බොහෝ වේ. ඒ අනුව ශිෂ්‍ය පැමිණීම ගුරුවරුන්ගේ පැමිණීම, විෂය සමගාමී ක්‍රියා හා එහි ප්‍රතිඵල, සම්පත් කළමනාකරණය, පාසල් වාතාවරණය ශිෂ්‍ය අවශ්‍යතා සැපරීම, පාසලේ අධ්‍යාපන දර්ශනය සදාචාරාත්මක බව ආදිය දැක්විය හැකි අතර, රටක තත්ත්වය අනුව පාසලේ ඵලදායිතාවය මැනීමේ නිර්ණායක වෙනස් විය යුතු වන බව ද ඒ අනුව දැක්විය යුතුවේ.

කෙසේ වුවද සැමට සමාන පංති කාමරයක් බිහි කිරීම තුළින් පාස‍ල් පද්ධතිය තුළ ඵලදායිතාවය ඉහළ නංවාගත හැකි නමුත්, වර්තමාන පාසල් පද්ධතිය තුළින් එවැන්නක් ක්‍රියාත්මක වන බව හඳුනාගැනීම දුෂ්කර වේ. එහිදී පංති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේදී අසමානයක් හඳුනා නොගෙන කටයුතු කිරීමෙන් දිගුකාලීන සාර්ථක ප්‍රතිඵල අත්කරගත නොහැකි බව පිළිගත යුතුවේ. එහිදී අසමානයන් හඳුනාගනිමින් ඔවුන්ට උචිත වැඩසටහන් ගොඩනගා ගන්නාතාක් පාසල් පද්ධතිය තුළින් ප්‍රතිඵල මත පමණක් මනින ඵලදායිතාවය ඵලදායි නොවන බව පැහැදිලි කරුණක් වේ.

එහිදී පාසල තුළ ඵලදායිතාවය අත්කර ගැනීමෙහිලා යොදාගත හැකි දිගුකාලීන වැඩසටහනක් ලෙස 55 ක්‍රමය හඳුනාගත හැකි අතර, වර්තමානයේදී මෙම S5 ක්‍රමය ද ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට නාභිගතවී පැවතීම සාපේක්ෂව අඩු බව කිව යුතුවේ.

ඒ අනුව ඵලදායිතාවය යන්න අධ්‍යාපන ක්‍රියාවලියේ අන්තර්ගතයට තල්ලුකර යැවීම තුළින් අධ්‍යාපනයේ ඉහළ ප්‍රතිඵල අත්කරගත හැකිවනවා මෙන්ම විභාග ප්‍රතිඵලයට සමගාමීව පාසලක ගේට්ටුව හැර තැබීමේ සිට පාසලෙන් පිටවී යන නිමැවුම දක්වාත් ඉන් සමාජගතවන තත්ත්වය දක්වාත් සියලු සාමාජීය පෞරුෂීය, සදාචාරාත්මක හැසිරීම් ආකල්ප සමුදාය තුළින් ද පාසලේ ඵලදායිතාවය තීරණය විය යුතු වේ.

එම්. චමිලා මාරසිංහ
කෑ/මාව/ ගනේතැන්න මහ විදුහල


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...