පරිසරය රකින්න ක්‍රමයක් ගේන්න

ඕනෑම රටකට විවිධාකාර සම්පත්, ස්වභාව ධර්මය තුළින් බිහිවන්නේ එම දේශයේ ජීවත්වන මිනිසුන්ගේ කුසලයටය. අද ලෝක සිතියමේ ඇති බොහෝ රටවල් වලට සොබා දහමේ සම්පත් ලැබී නැත. හොඳම නිදසුන අපේ පුංචි රට ලංකාවයි. ලංකාව වර්ග සැතපුම් 25000කට ටිකක් වැඩි රටකි. අපේ රටට සමීපතම ඉන්දියාව ලංකාව වගේ හැට තුන් ගුණයක් විශාලය. ඒත් ඉන්දියාවටත් වඩා සොබා සම්පත් ඇත්තේ අපේ රටේය. අගනුවර උණුසුම් දේශගුණය අතරින් පැය තුනක මෝටර් රථ ගමනකින් එංගලන්තයේ පවතින සිසිලස විඳගන්නට නුවර එළිය දී හැකිය. රුවන් පුරයේ පො‍ළවෙන් හමුවන අගනා මිණිමුතු දකුණු අප්‍රිකාවේ දියමන්තිවලටත් වඩා අමිලය. අනුරාධපුර පොළොන්නරු ප්‍රදේශවල පයට පෑගෙන වැලි ඇට පවා අතීත ශ්‍රී විභූතිය මේ යැයි ලොවට කියා පායි. රටවට කොට ඇති මහ සයුර තෙර නොනිදා රට රකින අයෝම හස්තයන් බඳුය සමනල කන්ද පිදුරුතලාගල කන්ද කිරිගල් පොත්ත කන්ද ආදි කඳු මුදුන් මතින් ගලායන සතර මහ ගංඟාවල් ආදි ගංඟා, ඔයවල් හා දිය ඇලි කිසිදා හිඳී නොයන්නේ මේ පිං බිමේ ජීවත් වන වැසියන්ගේ පිනටය.

මෙවැනි උතුම් සම්පත් රාශියකින් පොහොසත් මේ රටේ වර්තමානයේ ජීවත් වන ආත්මාර්ථකාමි දුර්ජනයන් කරන කියන අසමජ්ජාති පහත් ක්‍රියා නිසා සිදුවන විනාශයේ විපාක විඳින්නට සිදුවන්නේ අද ජීවත් වන අපට නොව අනාගතයේ උපදින දරු පරපුරටය. උත්තර ධ්‍රැවයේ කරදිය මහ සයුර තුළ පාවෙන මිරිදිය හිම කඳු ධනවත් අරාබියට ඇද ගෙන එන්නේ අරාබි කතර වැසියන්ගේ පවස නිවන්නටය. නමුත් එවන් වික්‍රම කරන්න අපේ රට කොතරම් පිංවත් වුවත් ධනය නැත. වර්තමානයේ පෙර සඳහන් දුර්ජනයන්ගේ වනාන්තර විනාශය අනාගතයේ තවත් සහරාකතරක් බවට පත් කිරීමට පසුබිම සකස් වීමය.

1935 වසර අවසන් වන විට ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් ¾ ක්ම වනාන්තර බවට වාර්තාවල සටහන්ව පැවතුනි. ඉන් අවුරුදු 25ක් ඉක්මවීමට ප්‍රථම වනාන්තර ප්‍රමාණය මුලු භූමි ප්‍රමාණයෙන් 50%ක් තරමට ම අඩු වී තිබුණි. ශීඝ්‍ර ජනගහනය වර්ධනය වානිජ භෝග වගාවට වනාන්තර එළි පෙහෙළි කිරීම හා දැව අවශ්‍යතාවයට ප්‍රමිතියක් නොමැතිව වන සංහාරය වනාන්තර විනාශ වීමට ප්‍රධාන හේතු විය. මානව සම්පත් ලොවේ අමිල සම්පතය. වන සම්පත දෙවැනි වන්නේ මෙම මානව සම්පතට පමණි. නමුත් මානව සම්පත සජීවී ක්‍රියාත්මක වන්නේ වන සම්පතේ පිහිටෙනි. මේ මිහිතලය මත ජීවත් වන අසංඛ්‍යායක් වූ සත්ත්ව සංහතියට ජීවත්වීම සඳහා අවශ්‍ය සියලුම මූලික අවශ්‍යතාවයන් සකස් කර දෙන්නේ වන සම්පත් විසින්ය. අවකාශයේ විහිදී විසිරී තිබෙන අංගාරික (කාබන් මොනොක්සයිඩ්) වාතය සම පිරිසිදු අම්ලකර (ඔක්සිජන්) වායුව බවට පත්කර දෙන්නේ වන සම්පත විසිනි. එමෙන්ම මිහිමඬල යට ඇති දිය උල්පත් ආරක්ෂා කර දෙන්නේ වන සම්පතය. පශුකාන්දය හෙවත් පස සෝදා හැරීම නවත්වන වෘක්ෂ ලතා, නොමැති නම් මුළු මිහිතලයම කතරක් වීම වැළැක්විය නොහැක. පානීය ජල සම්පත (මිරිදිය වතුර) සත්ත්ව සම්පත් මෙම පිපාසය නිවන්නට වන සම්පත ඉටු කර දෙන කාර්යභාරයය සුළු පටු නොවේ. අද වන විට මිනිස් ජනගහනය සත්සිය කෝටිය ඉක්මවා ගොස් ඇත. ඒත් අද ලොවේ ජීවත් වන සත්ත්ව සංහතිය ඉතා ශීඝ්‍ර වඳවීමේ තර්ජනයකට මූණ පා ඇත. එමෙන්ම සමහර සත්ත්ව වර්ග වඳ වී ගොස් හමාරය. පැන්ඩා - චීටා - එමු - හිම වලසා පැස්බරා යන සත්ත්ව ගනයා දැනට මේ ලොව වසන්නේ සිය ගණනකි. ගොඩබිම වසන සතුන්ටත් වඩා ඛේදජනක ඉරණමක් ලබා ඇත්තේ නම් කළ නොහැකි තරමේ මිරිදිය මත්ස්‍ය සම්පතය. ලංකාවේ සුන්දර මෙන්ම දුර්ලභ මිරිදිය මත්ස්‍ය සම්පත දුර්ජන මිනිස් ක්‍රියාකාරීකම් නිසා වඳ වී ඇත. එදා ඇළදොළ හා වෙළවල්/ ලියැදි අතර ජීවත්වූ තිත්තයන් - සල්ලියන් - වැලිගොව්වන් හා හුංගන් අද නැත.

මේ සියල්ලන්ටම හේතුව මහ පරිමාණයේ සිදු කරවන විනාශයයි. වනය විනාශ කරන ව්‍යාපාරිකයන් සියල්ලෝම වෙනත් විවිධ ව්‍යාපාර කරන අතර තම හෙංචයියලා - චක් ගෝලයෝ හා සමාජයේ අප්‍රසාදයට පත් අය වහල් කරගෙන මේ මහපොළොව නොඋසුලන අපරාධවලට දේශපාලනය කරන අයත් සම්බන්ධය. ඔවුන්ගේ මැදහත්වීම නිසා මේ මහ ‍මංකොල්ලය නැවතීමට පාලකයන්ට අපහසු වී ඇත.

වර්තමාන ලෝකයේ වැසි වනාන්තර ඇත්තේ ඉතාම සීමිත සංඛ්‍යාවකි. ඒ අතරින් ලංකාවේ පහතරට ප්‍රදේශය තුළ ඇති සිංහරාජ වනාන්තරයට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි. නමුත් අද වන විට මේ අමිල සම්පත අනාගත පරම්පරාවට උරුම නොවන තරමට කැලෑ පාලුවන් හා දේශපාලුවන් විසින් විනාශ කරමින් පවතී. ගහකොළ තුරුලතා පමණක් නොව සතා සිව්පාවා - ඇළදොළ දියකඩිති යන සොබා සම්පත් සියල්ල පමණක් නොව, දුර්ලභ ලංකාවට පමණක් ආවේණික කූඩැල්ලන් - පක්ෂීන් - නිශාචර සත්වයන් වන වවුලු වර්ග අද වන විට පාපකාරී අධම මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා මිහිතලයෙන් සහමුලින්ම වඳ වී ගොස් ඇත. මෙසේ වන සම්පත මිනිසුන් විසින් විවිධ ක්‍රම අනුගමනය කරමින් ඉවක් බවක් නොමැතිව වැනසීම නිසා භයානක විපාකයන් උතුරුමැද පළාතේ අහිංසක ජනතාව විඳියි. එම පළාතේ පානීය ජලය වස වීම නිසා භයානක වකුගඩු රෝග පැතිරී ඇත. මෙම පානීය ජලය තුළ රෝගකාරක රසායනික ද්‍රව්‍යයන් ඇතුල් වී ඇත්තේ වන සම්පත විනාශ කරමින් බහුජාතික ව්‍යාපාර විසින් රජරට ගොවියන්ට වැඩි අස්වනු ලබාගැනීම සඳහා රසායනික විස පොහොර භාවිතයට හුරු පුරුදු කළ බැවිනි. වන සම්පත විනාශ කරමින් කාබනික පොහොර මිහිතලයට ලැබෙන ප්‍රධාන මං පෙත් අවහිර කර රජරට කාන්තාර කළ අකුසලයට වන්දි ගෙවන්නේ මිනිසුන් පමණක් නොව සතා සිව්පාවන් ද, කුරා කූඹින් ද මෙය මොන තරම් ඛේදජනකද?

චන්ද්‍රසිරි ගෝමිස්
කළුබෝවිල 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...