කසළ කන්දේ නොපෙනෙන පැත්ත

ඡායාරූප-රංජිත් අසංක
උදිත ගුණවර්ධන

දහම්පුර ප්‍රදේශයේ දරු දැරියන්ද ගැටලු රැසකට මුහුණ දී සිටිති. නායයාම නිසා ඔවුනටද අද ඉතිරිව ඇත්තේ ඇඳිවත පමණි. සමහරුන්ට ඇඳිවත පවා අහිමිවී ගොස්ය. පොතපත ඇතුළු ඉගෙනුමට ඇවැසි දෑ සියල්ල පස් යටය. සති කිහිපයකින් දරුවන් අධ්‍යාපන කටයුතු ආරම්භ කළ යුතුය. එහෙත් ඔවුනට අවශ්‍ය කරන මානසික පසුබිම මෙන්ම අධ්‍යාපන උපකරණද නැවත ලැබිය යුතුය. මේ ගැනද බලධාරින්ගේ අවධානය යොමුවිය යුතුය.

එදා අප සමඟ කෙළිදෙලෙන් සිඟිති සිනහ පෑ පුංචි දියණිය සීල් තැබූ දෙනක අවසන් නින්දේය. මේ සිටින්නේ ඇය යැයි අප හඳුනාගත්තේ දෙන මත තබා ඇති වර්ණ ඡායාරූපයෙනි. අප සමඟ එදා ළෙන්ගතු වූ ඇගේ මවද දියණිය ආසන්නයේම අවසන් නින්දේය. මේ කඳුළු දසුන දුටු විට මාගේ සිත ගමන් කළේ 2015 අවුරුද්දේ බක් මාසයටය. එදා මීතොටමුල්ල කුණු ඉවත්කර එහි ජනතාවට සුවසේ සිටීමට වාතාවරණයක් ඇති කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණ ඇතිව තිබුණි. අප එදා ඒ ගැන ලිපියක් ලිවීමට මීතොටමුල්ල දහම්පුර පීරා ඇවිද ගියෙමු. එදා අපට සියලු කරුණු පැහැදිලි කළේ මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වූ කීර්තිරත්න පෙරේරා මහතාය. එදා දරු මුණුබුරන් බිරිය සමඟ දිවි ගෙවූ ඔහු අද තනිවෙලාය. එදා අප සමඟ කතා කළ කීර්තිරත්න මහතාගේ සමීපතමයන් උඩුකුරුව අවසන් නින්දේය. ඔවුන් පමණක් නොව එදා අප සමඟ කතා කළ දහම්පුරවාසින් රැසක් අද කුණු කන්දට යටව අවසන් නින්දේය.

එදා විරෝධය

“අපිව මේ කුණුවලටම යටවෙලා මැරෙනකම්ද ඉන්නේ” එදා දහම්පුර වැසියෝ ප්‍රශ්න කළ ආකාරය අපට අද මෙන් මතකය. අවුරුදු දෙකක් ගිය තැන කුණු කන්ද දහම්පුරයම යටකරගෙනය. අද එක් එක් අය විවිධ මත පළ කළද දහම්පුරයේ විශාල ඛේදවාචකයක් සිදුව තිබේ. මේ තත්ත්වයට බලධාරින් වගකිවයුතු වුවද, ගම්වැසියන් වගකිවයුතු වුවද මෙයට දැන් හෝ නිසි විසඳුමක් දිය යුතුය. බලධාරින් ගම්වැසියන්ටත් ගම්වැසියන් බලධාරින් වෙතත් බෝලය පාස්කිරීම දැන්වත් නැවතිය යුතුය.

අප ප්‍රදේශයේ කළ සංචාරයේදී මේ චෝදනා, ප්‍රතිචෝදනා එල්ල කිරීම සුලභව දක්නට ලැබුණි. ගම්වැසියන් මතුකරන ප්‍රබලම කරුණක් වන්නේ තමන්ට රුපියල් ලක්ෂ පහළොව බැගින් ලබා දී නිවාස අතහැර යන ලෙස බලකිරීම අසාධාරණ බවය.

“අපිට රුපියල් ලක්ෂ පහළොවක් දෙනව කියලා ගෙවල්වලින් යන්න කියනවා. මේක සාධාරණද?” අපගෙන් විමසුවේ නාගහකුඹුරේ අමිල එරන්දය.

“දැන් බලධාරින් ලක්ෂ පහළොවට වඩා දෙනවා කියනවා. ඒත් දැන් අස්සයා පැනලා ගිහින්”

“එදා රුපියල් ලක්ෂ විස්සකට වැඩිය වන්දියක් දුන්නනම් ගොඩක් අය යනවා. ඒත් එහෙම තක්සේරුවකට බලධාරින් යොමු වුණේ නැහැ”

අමිල පමණක් නොව මීතොටමුල්ලේ බහුතරයක් දරන්නේ මේ මතයයි. සාධාරණ ලෙස සලකා බලද්දි රුපියල් ලක්ෂ පහළොවේ වන්දිය ගැන සෑහීමකට පත්විය නොහැකිය යන්න සත්‍යකි. ඔවුන්ගේ ජීවිතය හැඩගැසී ඇත්තේ මීතොටමුල්ලටය. දරුවන් ඉගෙනුම ලබන්නේ ප්‍රදේශයේමය. ඒ නිසා සිදුකළ හැකි හොඳම දේ වන්නේ කොළොන්නාවෙන්ම නිවෙසක් මිලදී ගත හැකි ප්‍රමාණයේ වන්දි මුදලක් ජනතාව වෙත ලබාදීමය. ජනතාව අද අසරණව සිටින්නේ ස්වභාවික ආපදාවක් නිසා නොව කෘත්‍රිමව ඇති කළ ප්‍රශ්නයක් නිසාය. ඒ නිසා මේ කරුණේදී රජය වෙත පැවරෙන වගකීම වැඩිය.

ව්‍යසනයට හේතු

අද මහා ව්‍යසනයකට හේතු වූ මීතොටමුල්ල කුණු කන්ද මුලින්ම ස්ථාපිතව ඇත්තේ පොතුවිල කුඹුර නම් පුරන් වෙල් යායකය. එදා අක්කරයකටත් අඩු භූමියක ගමේ කුණු එක්රැස් කළ මෙහි අද අක්කර දහඅටකට වැඩි ප්‍රදේශයක් පුරා අඩි තුන්සියයකට වඩා වැඩි උසකට කසළ ගොඩගසා තිබේ. අවුරුදු ගණනාවක් පුරා තිබූ මෙම කසළ කන්ද හදිසියේ නායයාම ගැනද විවිධ අදහස් පැතිරෙමින් තිබේ. 2015 ට පෙර මෙහි කුණු කසළ තැන්පත් කරද්දී කිසියම් පිළිවෙළක් හා රටාවක් අනුගමනය කර ඇත. එම රටාව තුළ කසළ බැහැර කිරීම හා තැන්පත් කිරීම ක්‍රමානුකූලව කර ඇතත් ඉන්පසුව මේ පිළිවෙළ හා රටාව නොතකා කසළ තැන්පත් කිරීම අරඹා තිබේ. කසළ කන්දේ නායයාමට මෙයද එක් හේතුවක් බව බොහෝ අය සිතති. වගුරුබිමේ පස් තට්ටුව අස්ථාවර වීම මෙම ව්‍යසනයට හේතුවක් ලෙස තවත් අය සඳහන් කරති.

මීතොටමුල්ල කසළ කන්දේ ගැටලුව ඔඩු දිවීමට බාහිර පාර්ශ්වයන්ගේ අතපෙවීම් හා බලපෑම් මූලික වූ බවටද සාධක හමුවේ. අද කිසිවෙකුට අයිති නැති වුවද අප්‍රේල් 14 දාට පෙර මෙම කසළ ගොඩට අයිතිය කියූ බොහෝ අය සිටියහ. කසළ කන්ද අසල දිවි ගෙවන මොහොමඩ් මොහිදීන් මේ ගැන අප සමඟ අදහස් දැක්වූවේය.

“මේ කුණු කන්ද අපිට මාරකයක් වුණාට තවත් කට්ටියකට ආකරයක් වුණා. දේශපාලන බලය තියෙන අය පක්ෂ භේදයකින් තොරව සල්ලි හම්බකළා. යකඩ බිස්නස්, ප්ලාස්ටික් බිස්නස් විතරක් නොවෙයි” හිස් බෝතල් බිස්නසුත් ජයටම කෙරුණා. මේ අය තමයි කුණු කන්ද අයින්කරනවට විරුද්ධ වුණේ”

ප්‍රදේශයේ ජනතාව කියන ආකාරයට මේ කුණු කන්දෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපැයූ අය සිටිති. සමහර අවස්ථාවල මෙම ස්ථාන කසළ බැහැර කිරීමට පුද්ගලික අංශද කටයුතු කර ඇති බව පැවසේ. ඒ ටොන් ගණනිනි. මෙම බැහැර කිරීම් සඳහා අවශ්‍ය රැකවරණය සහ ආශිර්වාදය ලබාදීමට ප්‍රාදේශීය බලවතුන් රුපියල් ලක්ෂ ගණනින් සන්තෝසම් මුදල් ලබාගෙන ඇතැයි ජනතාව කියති.

මීතොටමුල්ල ප්‍රදේශයේ කසළ බැහැර කිරීමේ නිල අයිතිය ඇත්තේ කොළඹ මහ නගර සභාවට හා කොළොන්නාව නගර සභාවට පමණක් වුව ඒ නීතියට පිටින් කටයුතු කරන පිරිසක් කොළොන්නාවේ සිටි බවට ඉහත කරුණු අනුව තහවුරු වේ. ජනතාවගේ විරෝධය පළ වෙද්දි මෙයට විසැඳුමක් ලබාදීමට ආණ්ඩුවේ ඉහළ පෙළට අවශ්‍යතාවය තිබුණද එය වැළකී ගියේ ඉහත තත්ත්වය නිසා විය හැකිය. අද විශාල පිරිසක් ජීවිතවලින් වන්දි ගෙවා ඇත්තේද මේ නිසාය.

තවත් අනතුරක්

මීතොටමුල්ල කසළ කන්දේ නායගිය පස් හා කසළ එම ස්ථානවලින් ඉවත්කර කන්දේ වෙනත් පසෙක ගොඩගැසීම නිසා තවත් නිවාස පෙළක් අනතුරට පත්වීමේ තත්ත්වයක් උද්ගතව ඇතැයි ජනතාව බිය පළ කරති. එහි පදිංචිකරුවන් කියන ආකාරයට දැනටමත් මේ නිවාසවල බිත්ති දෙදරාගොස් තිබේ. ඒ ගැන අපට පෙන්වාදුන්නේ ජේ.ඒ.ශ්‍රියානි මහත්මියයි.

“අපිත් රෑට නිදාගන්නේ නැහැ. අපේ ගෙවල්වල බිත්ති දෙදරලා. අපි මේ ගැන පැමිණිලි කරනවා. වැටිච්ච පස් තට්ටු ගෙන ඒම නිසා කන්ද අස්ථාවර වෙලා. අපිට ලොකු බයක් තියෙනවා කන්ද මේ පැත්තෙනුත් නායයයි කියලා. අපිට ළඟින්ම ගෙවල් දෙනවනම් අපි මේවා අතහැරලා යන්න ලෑස්තියි. නැතිනම් තව ටික දවසකින් අපිවත් මේ කන්දටම යටවෙලා මැරේවි”

ජනතාව සඳහන් කරන කරුණුවල ඇත්තක් තිබෙන බව අපට දැකගන්නට ලැබුණි. මෙම නිවාස බොහොමයක විශාල පැලුම් ඇතිව තිබේ. සිමෙන්ති, කොන්ක්‍රිට් යොදා ප්‍රමිතියක් ඇතිව ඉදිකළ මෙම නිවාස දෙදරායාම යනු අනාගත විනාශයක පෙර නිමිත්තක් ලෙස සඳහන් කිරීම වැරැදි නැත. අප අවුරුදු දෙකකට පෙර දහම්පුර ඇවිද යද්දි අද මිහිදන්ව ඇති නිවාසවලද පැලුම් රැසක් දක්නට ලැබුණි. එදා එහි සිටි අයද අපට මේ නිවෙස්වල පැලුම් පෙන්වාදුන් අතර අවුරුදු දෙකක් ගතවෙද්දි මහා විනාශය සිදුවිය. ඒ නිසා තාමත් ජීවතුන් අතර සිටින වැසියන්ගේ ඉල්ලීමට කන්දීම බලධාරින්ගේ යුතුකමකි. වගකීමකි.

විශාල පිරිසක් මහ පොළොවේ වැළලෙද්දි තවත් පිරිසක් අතිශය දුෂ්කරතාවකට පත්ව සිටිති. ඒ බාහිර තුවාල නිසා නොවේ. සිත් පෑරීම් , හුදෙකලාවීම් නිසාද නොවේ. අද සුබසාධන මධ්‍යස්ථානවල සිටින සැලකිය යුතු ප්‍රමාණයක් නිධන්ගත රෝගවලට ගොදුරු වූවන්ය. අධි රුධිර පීඩනය, දියවැඩියාව , කොලෙස්ටරෝල්, හෘදය රෝග ඔවුන් පීඩාවට පත්ව ඇති රෝගී තත්ත්වයන්ය.

සෞඛ්‍ය ප්‍රශ්න

ව්‍යවසනයේදී ඔවුන් නිවෙස්වලින් පලා ආවේ ඇඳිවත පමණක් ඇතිවය. බෙහෙත්, බෙහෙත් තුන්ඩු හෝ මුදල් ඔවුන් රැගෙන ආවේ නැත. මේනිසා ඔවුන්ගේ රෝගී තත්ත්වයන් උග්‍ර අතට පත්ව තිබේ. ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ අනුග්‍රහයෙන් පවත්වන වෛද්‍ය සායනයක ස්වේච්ඡාවෙන් ‍තම සේවය සිදුකරන වෛද්‍ය වසන්ත ධනවර්ධන මහතා,

“මෙතැනට එන්නේ ඇඳිවත පමණක් ඇතිව ආපු අය. අප මූලික ප්‍රථිකාර කරලා රෝහල්වෙත යොමු කිරීමයි කරන්නේ. ගොඩක් අයගේ පෙෂර්එක නැගලා. සීනි නැගලා, කොලෙස්ටරෝල් වැඩිවෙලා. මේ ගැන අප මූලිකව සොයා බලනවා. සුබසාධන කඳවුරේ සායනය අරඹා පැය විසිහතරක් ගතවෙද්දි රෝගීන් සියයකට ආසන්න පිරිසක් මෙම සායනයෙන් මූලික ප්‍රතිකාර ගෙන තිබෙනවා. මීතොටමුල්ල කුණු කන්ද නායයාමේ ගැටලුව මූලිකව තවත් බාහිර ගැටලු මතුව තිබෙන්නේ මේ ආකාරයටය.

දහම්පුර ප්‍රදේශයේ දරු දැරියන්ද ගැටලු රැසකට මුහුණ දී සිටිති. නායයාම නිසා ඔවුනටද අද ඉතිරිව ඇත්තේ ඇඳිවත පමණි. සමහරුන්ට ඇඳිවත පවා අහිමිවී ගොස්ය. පොතපත ඇතුළු ඉගෙනුමට ඇවැසි දෑ සියල්ල පස් යටය. සති කිහිපයකින් දරුවන් අධ්‍යාපන කටයුතු ආරම්භ කළ යුතුය. එහෙත් ඔවුනට අවශ්‍ය කරන මානසික පසුබිම මෙන්ම අධ්‍යාපන උපකරණද නැවත ලැබිය යුතුය. මේ ගැනද බලධාරින්ගේ අවධානය යොමුවිය යුතුය. සියල්ල අහිමි වුවද දරුවන්ගේ අනාගතය සුරක්ෂිත විය යුතුය.

දේපළ අහිමිව ජීවිත විනාශ වූ මහා ඛේදවාචකයේ සැමදා ඉතිරි අයට ගිලී සිටිය නොහැකිය. ඔවුන් නැවත ශක්තිමත් ලෙස ප්‍රතිස්ථාපනය විය යුතුය. ජන ජීවිතය නැවත ප්‍රතිස්ථාපනය කරන රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රධානියා ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාය.

වන්දි ලබාදීම

“..අපි නිවාස අහිමි වූ අයට සාධාරණ වන්දි මුදලක් ලබාදෙනවා. ඒ නිසා තමයි විපතට පත් වූවන්ට උපරිම සහන ලබාදීමට කටයුතු කරන්නේ. මේ ගැටලුව ඉක්මනටම විසඳිය යුතුයි. ජනතාව කඳවුරුගත කර දිගු කාලයක් තියන්න බැහැ. ඒ සමඟ මියගිය අයගේ පවුල්වලටත් අපි එක් පුද්ගලයකුට සැළකිය යුතු වන්දි මුදලක් ලබාදෙනවා. රජය ප්‍රමුඛ කාරණයක් විදිහට සලකා අවශ්‍ය වන්දි ලබාදීම් නැවත පදිංචි කිරීම් කරනවා.”මීතොටමුල්ල කුණු කන්දට එරෙහි අරගලයේ මුල සිටම කටයුතු කළ නීතිඥ නුවන් බෝපගේ මහතා මේ කසළ කන්දේ කතාවට ඌන පූර්ණයක් එක්කිරීමට අමතක නොකළේය. බෝපගේ මහතාට අනුව මේ කසළ කන්ද මිලදීගැනීමට විදෙස් සමාගම් දෙකක් ඉදිරිපත්ව තිබේ. එහෙත් කුමක් හෝ කාරණයක් නිසා මේ අවස්ථා දෙකම ගිලිහී ගොස් තිබේ. එහෙත් මේ අවාසනාවට කර ගැසීමට අවසානයේ සිදුව තිබෙන්නේ දහම්පුර අහිංසකයන්ටය. මෙම කතාව පසුපස විවිධ මත ප්‍රතිමත තිබුණද දැන් සියල්ල සිදුව අවසානය. අතීතයට හෝ දේශපාලනයට දොස් කීමෙන්ද පලක් නැත. මන්ද සියල්ල දැන් අහිමිව විනාශව ගොස් ඇති නිසාය. දැන් කළ යුතුව ඇත්තේ මෙයින් හෝ පාඩමක් ඉගෙන යළිත් මෙවැනි මහ විපත් සිදුනොවීමට වැඩ කිරීමය. ඒ සඳහා නවීන විසැඳුම් හා ක්‍රමවේද අනුගමනය කළ යුතුය. දැනට ජීවතුන් අතර සිටින එහෙත් කොයිවේලේ හෝ අනතුරකට මුහුණදිය හැකි අය ඔවුනගේ ජීවිත හා ජීවන රටාව නොවෙනස්වන ආකාරයට නැවත පදිංචි කිරීම් කළ යුතුය. මීතොටමුල්ල කුණු කන්දේ ඛේදවාචකය පාඩමකට ගෙන යළිත් මෙවැනි විපත් ඇති නොවීමට වාතාවරණයක් ගොඩනැඟීම බලධාරින්ගේ යුතුකමකි.වද මෙවැනි ගැටලුවලදී බුද්ධිමත්ව කටයුතු කිරීම ඔවුනගේ වගකීමකි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...