කොතැනකවත් නැති අංග රැසක් ඇති කඩිගමුව පත්තිනි පෙරහර මහල්

රඹුක්කන විශේෂ ඔස්වල්ඩ් ගොඩකුඹුර
ගෙඩි ගෙවල් සහිත පෙරහර

ගණනාවකින් සමන්විත ගෙඩි ගෙවල්, උණ ගස් යොදා ගනිමින් සැකසූ මල් හා බුලත් ගස්, රෙදි හා ලණු යොදාගනිමින් සැකසූ ඔටුවන් මෙම පෙරහරට පමණක් ආවේණික විශේෂ අංග වෙති.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමා විය. ඒ සමගින් ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වල වාර්ෂිකව පැවැත්වෙන පෙරහර මාලාවේ ආරම්භක පෙරහර වන රඹුක්කන කඩිගමුව පත්තිනි දේව පෙරහර මේ මස 22 වැනිදා (සෙනසුරාදා) පස්වරුවේ පැවැත්වෙයි. අලි ඇතුන්, උඩරට පහතරට සබරගමු ඇතුළු විවිධ නර්තනාංගයන්ගෙන් අලංකාරව පෙරහර මෙවරත් වීථි සංචාරය කිරීමට නියමිතය.

මහල් ගණනාවකින් සමන්විත ගෙඩි ගෙවල්, උණ ගස් යොදා ගනිමින් සැකසූ මල් හා බුලත් ගස්, රෙදි හා ලණු යොදාගනිමින් සැකසූ ඔටුවන් මෙම පෙරහරට පමණක් ආවේණික විශේෂ අංග වෙති.

කඩිගමුව හා අවට ප්‍රදේශවාසින් සිංහල අවුරුදු සමයේ පුණ්‍ය කාලය යොදා ගන්නේද මෙම ගෙඩිගෙවල්, ඔටුවන් සෑදීමටය. ඒ සදහා ඔවුන්ටම ආවේණික ශිල්ප ක්‍රම රැසකි. පත්තිනි දේවිය සදහා කෙම්මුර දින හතරකදී පැවැත්වෙන මෙම පෙරහර සංවිධානය කරන්නේ ගම්මාන හතරකිනි. විහාරස්ථානය මගින් නොව විහාරාධිපති හිමියන්ගේ අනුශාසකත්වයෙන් දායකයන් විසින්ම මෙම පෙරහර සංවිධානය කර පවත්වාගෙන යාමද විශේෂත්වයකි.

පොළොන්නරුව රාජධානි සමයේදීද මෙම පත්තිනි දේවාලයේ පෙරහර පැවැත්වූ බවට තොරතුරු පවතී. එකල තෙළගු දේශයේ සිට පත්තනි දේවාභරණ මෙහි වැඩමවා එම දේවාභරණ විහාරස්ථානය සමීපයේ පිහිටි කෙම්පිටියේ පත්තිනියාවත්ත නමැති ඉඩමේ තැබූ බව කියති. පසුව මෙම විහාරස්ථාන භූමියේ නා ගසක් කපා එහි මුල කොටසේ සිදුරක් තනා පත්තිනි මහ සළඔ එහි තබා දේවාලය ඉදිකළ බව පුරාවෘත්තවල සදහන්ය. මෙම විහාර භූමියේ නා ගස් විශාල වශයෙන් තිබූ නිසා නාගවනාරාමය ලෙසින් ව්‍යවහාර වූ බවද පැවසේ.

මහනුවර රාජධානි සමයේදී මෙහි වැඩ විසූ කාංචිපුර දේශයේ ධම්මානන්ද හිමියන් මෙම දේවාලය කරවූ බව විශ්වාස කෙරේ. මෙම විහාරස්ථානයේ වැඩ සිටින බෝධියද අවුරුදු තුන් සියය ඉක්මවූවකි. මහනුවර රාජධානි සමයේදීම ඉදික රන ලද ටැම්පිට විහාර දෙකක් ද මෙහි ඇත. අඩි තුනක් පමණ පොළවෙන් උඩට පිහිටන සේ ගල් කණු සිටුවා ඒ මත ශක්තිමත් දැව දඬු යොදා ගනිමින් ඉදිකළ මෙම විහාර හඳුන්වන්නේ ටැම්පිට විහාර නමිනි.

කඩිගමුව නාගවනාරාම විහාරස්ථානයේ විවිධ සංවර්ධන කාර්යයන් සදහා අතීතයේ මෙරට පාලනය කල රජවරුන්ගේ දායකත්වය ලැබී ඇති බවටද තොරතුරු පවතී. ඒ අනුව දෙචන බුවනෙකබාහු, හය වන බුවනෙකබාහු, දෙවන විමලධර්මසූරිය හා කීර්ති ශ්‍රී රාජසිංහ රජවරුන්ගේ අනුග්‍රහය ලැබී ඇතැයි කියති. සියම් දේශයෙන් උපසම්පදාව යළි වැඩමවූ අවස්ථාවේදී මෙහි විහාරාධිපතිව වැඩ විසූ නාගොල්ලේ ධම්මජෝති හිමියන්ද උපසම්පදාව ලබාගත් බව කියැවේ.

පුරාණ රජවරුන් හා සම්බන්ධ විවිධ සිදුවීම් අනුව කඩිගමුව අවට ගම්මානවලට එම නම් පටබැඳුනු බවට පුරාවෘත්ත රැසක් අතැයි විශ්‍රාමික ග්‍රාම නිලධාරි අප්පුහාමි මහතා පවසයි. ඒ අනුව කඩිනමින් ඉදිකළ ගම කඩිගමුවයි. කඩිගමුව ගමට යාබදව පිහිටි කෙම්පිටිය රජුගේ ක්‍රීඩාංගණය හෙවත් කෙළි පිටියයි. ඒ අසලම පිහිටි හලාගිරිය රජු පැමිණ ගිය ශාලාවක් තිබූ ස්ථානයකි. අධික වර්ෂාවකින් එම ශාලාව ගිලා බැසි හෙයින් හලාගිරිය වූ බවත් ජනප්‍රවාදයේ සදහන්ය. පත්තිනි දේවියගේ හාස්කම් බැලීමට ගමේ පිරිසක් එක් වූහ. විශාල වලක් කපා එහි පත්තිනි සළඹ දමා පිළිස්සීමට සූදානම් කළහ. එම ස්ථානයට දිව ආ ගොන්වස්සකු වළට වැටී පිලිස්සී මිය ගියේය. එයින් ‘ගොනු+දෑ+වල’ ගොන්දෑවල විය. රජ බිසවට එළ කිරි සැපයූ එළු ගාල තිබූ ස්ථානය එළුගල්ල වූ බවද අප්පුහාමි මහතා පවසයි.

පත්තිනි දේව පෙරහර අලි ඇතුන්, උඩරට පහතරට සබරගමු නැටුම්, කාවාඩි, මොණර නැටුම් ආදිය ඇතුලත්ව වීථි සංචාරය කරයි. දිගු උණ ගස්වලින් ඉදිකළ මල් ගස්, ගෙඩි ගෙවල් මෙම පෙරහරටම ආවේණික අංගයන්ය. උඩුගම ගමින් පළමු පෙරහර ඇරඹෙන අතර ඉදිරි කෙම්මුර දිනවලදී හලාගිරිය, ගොන්දෑවල හා කඩිගමුව ගම්මානවල සංවිධායකත්වයෙන් පෙරහර පැවැත්වෙයි.

කඩිගමුව ශ්‍රී නාගවනාරාම රජමහා විහාරාධිපති පූජ්‍ය අල්කේගම ධම්මරතන හිමියෝ එම විහාරස්ථානයේ හා පත්තිනි දේව පෙරහරේ අතීතය පිළිබදව මෙසේ පවසති.

“කුරුණෑගල රාජධානියේ සිට මහනුවර දෙසට යන අතර ගජබා රජතුමා මෙම ස්ථානයේ සිවුරක් වනා ති‍බෙනු දැක තිබෙනවා. නා ගස් විශාල ප්‍රමාණයක් තිබූ මෙම ස්ථානයට පැමිණි රජතුමා හිමිනම සමග කතාබහ කර ඒ අවට කඩිනමින් ගමක් ඉදිකරන ලෙස ඇමැතිවරුන්ට නියෝග කර තිබෙනවා. එලෙස කඩිනමින් ඉදිවූ ගම කඩිගමුවයි. නාගස් තිබූ ස්ථානයේ විහාරස්ථානයක්ද රජතුමා ඉදිකර පූජාකළ බවටයි අතීත තොරතුරුවලින් අනාවරණය වෙන්නේ.

කඩිගමුව ගම පිහිටුවා ගොවිතැන් කටයුතු කරගනිමින් ජනතාව සිටින අතර මහනුවර රාජධානි සමයේදී ‍පත්තිනි දේවාලය මෙහි පිහිටුවා තිබෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ බිසවකට කුෂ්ඨ රෝගයක් සෑදී එය සුවපත් කිරීමේ සිදුවීමකට ගෞරවයක් වශයෙන් හා ප්‍රදේශයේ සශ්‍රීකත්වය උදෙසා අලුත් සහල් මංගල්‍යයක් පවත්වා පත්තිනි දේවාල පෙරහර ආරම්භ වූ බව ජනප්‍රවාදයේ සදහන්. මෙම පෙරහර සදහා ආරම්භයේ සිටම රාජ්‍ය අනුග්‍රහය ලැබී තිබෙනවා. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද අවසන් වනවාත් සමගම ශ්‍රී ලංකාවේ ආරම්භ වන ප්‍රථම පෙරහර ලෙස සතර මහා දේවාල නිලමේවරුන් හා දියවඩන නිලමේ තුමා සාක්ෂි දරනවා. එසේම මෙම පෙරහර අවුරුදු පන් සියයකට අධික කාලයක් පවත්වා ගෙන ආ බවටත් සාධක හමුවෙනවා.

පෙරහර මුල් කාලයේදී තට්ටු දහ අටකින් පමණ සමන්විතව ගෙඩිගෙවල් නිර්මාණය කළත්, පෙරහර මාර්ගයේ විදුලි රැහැන් ඇද ඇති නිසා දැන් 18 මහලය ගන්නේ නැහැ. මහල් දහයක් දොළහක් පමණ තිබෙන ගෙඩි ගෙවල්, බුලත් ගස්, මල් ගෙවල්, ඔටුවන් මෙම පෙරහරටම ආවේණිකයි. ලංකාවේ වෙනත් කිසිම පෙරහරක ඒවා දකින්න නැහැ. මේ නිර්මාණ සදහා සති කීපයක්ම මේ දායක පිරිස කාලය ගතකරන්නේ ඉමහත් කැපවීමකින්.”

පත්තිනි දේවාලයේ ප්‍රධාන කපු මහතා වන ඩබ්ලිවි. එම්. සෙනෙවිරත්න මහතා:

“මම මේ දේවා‍ලයේ තේවා කරන්න එක්වී අවුරුදු විසි පහක් පමණ වෙනවා. මෙහි තේවා කටයුතු දිගටම කළේ අපේ පරපුරේ අයයි. මම පස්වෙනි පරපුරයි නියෝජනය කරන්නේ. මෙහි දිනපතා රාජකාරි සිදු කෙරෙනවා. ලෙඩ රෝග, නඩු හබ ආදියටත් මෙහිදී පිහිට ලබාගත් පිරිස ඉතා විශාලයි.

කඩිගමුව විහාරස්ථානයට ගම්මාන නවයක් අයිති වෙනවා. උඩුගම, ගොන්දෑවල, කඩිගමුව, හලාගිරිය, නැටියපාන, එළුගල්ල, මීමිලිකේ, මාපිටිය හා කෙම්පිටිය එම ගම්මාන නවයයි. මේ ගම්මාන නවය කොටස් හතරකට බෙදී කෙම්මුර දින හතරකදී පෙරහර හතරක් පවත්වනවා. එයින් පළමු පෙරහර වෙන්වන්නේ උඩුගම ගමටයි.”

උඩුගම පෙරහර මෙවර තිස් දෙවන වරටත් සංවිධානය කරන්නේ උඩුගම එක්සත් වීර සහන සේවා පදනම මගිනි. එම පදනමේ සභාපති හා විධායක අධ්‍යක්ෂ උපාලි විජයවික්‍රම මහතා ඒ සම්බන්ධයෙන් පවසන්නේ මෙබන්දකි.

“කඩිගමුව පත්තිනි පෙරහරේ මුල්ම අවදිය මල් පෙරහරකට සීමාවී තිබෙනවා. විහාරස්ථ සතර පේරුවේ දායක දායිකාවන් සුදු වතින් සැරසී මල්වට්ටි රැගෙන බෙර හඩ මැද පත්තිනි සළඹ ඇතුළු දේවාභරණ රැගෙන වීථි සංචාරය කර දේවාලයට ගෙවැදීම එවක සිදු වූවා.

ඇතකු පිට සර්වඥ ධාතු කරඩුවත්, ඇතින්නක පිට පත්තිනි දේවාභරණ වැඩමවීමත් දැන් සිදුකෙරෙනවා. මහල් ගණනාවකින් සමන්විත ගෙඩි ගෙවල්, නිර්මානාත්මක ඔටුවන්, උණ ගස් යොදා සැකසූ බුලත් ගස් කඩිගමුවේ පත්තිනි දේව පෙරහරටම ආවේනික වූ ලක්ෂණයි. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහරට සම්බන්ධ පාරම්පරික ශිල්පීන් රැසක්ම මේ අවට පදිංචිව සිටිනවා. ඔවුන් පත්තිනි දේව පෙරහරට සම්බන්ධව එය විචිත්‍රවත් කරනවා.

සිංහල හින්දු නැකැත් චාරිත්‍ර නිමාවත් සමගම මෙම පෙරහර ඇරඹීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල අනෙකුත් වාර්ෂික පෙරහර සියල්ලටම පෙර ආරම්භ වන්නේ කඩිගමුවේ පත්තිනි දේව පෙරහරයි. ඒ අතරින්ද උඩුගම ගමට ප්‍රථම පෙරහර පැවැත්වීමේ අවස්ථාව ලැබී තිබෙනවා. උඩුගම සියලුම ප්‍රජාව හා එක්ව උඩුගම එක්සත්වීර සහන සේවා පදනම තිස් දෙවන වරටත් පෙරහර සදහා මෙවර දායකත්වය ලබාදීම සුවිශේෂී කාර්යයක්. දේශීය හා විදේශීය පිරිස්ද, බන්ධනාගාර රැදවියන් පිරිසක්ද මෙම පෙරහරට සම්බන්ධ කිරීමට පසුගිය වසරවලදී අපට හැකි වුණා. විහාරාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදි මෙවරත් දර්ශනීය පෙරහරක් පැවැත්වීමට අප සූදානම්.”


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...