දෙහිවල ගල්කිස්ස මහනගර සභාව ප්‍රශ්න සහ කුලිය

දුමින්ද සම්පත්
ඡායාරූප - කැලුම් ලියනගේ

කඩහිමියන් සහ නගර සභාව අතර පවතින බදු කුලී ගිවිසුම්වල ජලය හා විදුලිය පිළිබඳව පැහැදිලි එකඟතාවක් නොමැති බව බදුගෙන ඇති කඩහිමියන්ගේ අදහසය. වෙළෙඳ සංකීර්ණයටම ඇත්තේ එක් ජල මීටරයක් පමණී. රුපියල් ලක්ෂ 06 කට අධික ජල බිල්පතක් නොගෙවීම හේතුවෙන් පසුගිය දිනෙක ජල සම්පාදන මණ්ඩලය මඟින් ජලය විසන්ධිකර ඇති අතර මාස දෙකක පමණ කාලයක් ජලය නොමැතිව අපා දුක් විඳි බව වෙළෙඳසල් හිමියෝ අපට පැවැසූහ.

දෙහිවල ගල්කිස්ස මහනගර සභාව දෙවැනි වන්නේ කොළඹ මහ නගර සභාවට පමණි. ග්‍රාම සේවා වසම් 29 කින් සමන්විත නගර සභාවේ දැක්ම වී ඇත්තේ යහපත් පළාත් පරිපාලනයක් තුළින් තිරසාර සංවර්ධනයක් ළඟාකර ගැනීමය. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව ආසියාවේ ආදර්ශවත් පුරවරයක් කරගැනීමද ඔවුන්ගේ බලාපොරොත්තුවය.

දෙහිවල ගල්කිස්ස ජීවත්වන සියලුම ජනතාවට සුරක්ෂිත, විශ්වාසදායක, කාර්යක්ෂම හා ඵලදායි නාගරික සේවාවක් ලබාදීම ඔවුන්ගේ මෙහෙවර වී තිබේ.

නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරු 29 දෙනකු මහජන ඡන්දයෙන් පත්වන අතර ඔවුන්ගේ ධුර කාලය වසර 4කි. එකී ධුර කාලය නිමවී මේ වනවිට මාස 09ක් ගෙවී ගොස් ඇත. නැවත මහජන ඡන්දයක් පැවැත්වෙන තෙක් නගර සභාවේ බලතල නාගරික කොමසාරිස්වරයා යටතට පත්ව ඇත.

දේශපාලන අධිකාරිය යටතේ වසර 20කට වැඩි කාලයක් නොවිසඳුණු දෙහිවල ගල්කිස්ස මහනගර සභාවට අයත් දෙහිවල දුම්රිය පොළ පාරේ පිහිටි මධ්‍යම වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලේ ගැටලු සොයා බැලීමට අපි එහි ගියෙමු.

එහි ගොස් වෙළෙඳ ප්‍රජාව හමුවීමට ආසන්නතම හේතුව වූයේ පොදු පහසුකම් කිසිවක් නොමැති මධ්‍යම වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලේ කඩ කාමර කුලිය අසීමිත ලෙස වැඩිකර ඇතැයි අපට ලැබුණු තොරතුරකට අනුවය.

ඉහළ ආදායම් ඉපයූ සහ මෙරට ප්‍රධාන පෙළේ ආයතන රැසක් මෙම වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලේ ස්ථාපිතව තිබී ඇති අතර ඔවුන් මේ ගොඩනැගිල්ලෙන් ඉවත්ව ගොස් ඇත්තේ අනාරක්ෂිත බවත් නිසි නඩත්තුවක් නොමැතිවීමත් හේතුවෙනි.

මේ වනවිට මෙකී ගොඩනැගිල්ලේ සමාජ සංවර්ධන කටයුතු සඳහා දායකත්වය සපයන ආයතන කිහිපයක්ම පවත්වාගෙන යන්නේද ඉතා අවම පහසුකම් සහිතවය.

මේ ආයතනවල බොහෝ සේවකයින් ස්වේච්ඡා පදනමෙන් සේවා සපයන්නෝ වෙති. මෙම ස්වේච්ඡා ආයතනවල පවා මාසික බදු කුලිය 100% කටත් වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවා ඇත්තේ කිසිදු සාකච්ඡාවකින් තොරවය. රුපියල් 3000ක පමණ වූ මාසික බදු කුලී මුදල එක්වරම රුපියල් 14000 දක්වා වැඩිකිරීම මෙකී ආයතනවලට දැරිය නොහැකිය.

මෙලෙස බදු කුලිය වැඩිකර ඇත්තේ අවම ව‍ශයෙන් නිසි කැසිකිළි වැසිකිළි පහසුකම්වත් නොමැති පසුබිමකය.

මහජන මන්ත්‍රීවරුන් විසින් නගර සභා පාලන බලය හෙබවූ අවධියේදී වෙළෙඳ සංකීර්ණයේ කඩ කාමර බදු කුලී වැඩි කිරීමේ යෝජනා පැමිණියද එකී යෝජනා ඉවත දමා ඇත්තේ වෙළෙඳ සංකීර්ණයේ නිසි ප්‍රතිසංස්කරණයක් නොමැති වූ නිසාය.

නගර සභාවේ යෝජනාව වී ඇත්තේ වෙළෙඳ සංකීර්ණය අලුත්වැඩියා කටයුතුකොට ඊට අවශ්‍ය පොදු පහසුකම් ඇතිකිරීමෙන් අනතුරුව සාධාරණ බදු කුලී වැඩිකිරීමකට යා යුතු බවය. කෙසේ වූවද නගර සභාවේ පාලනය නාගරික කොමසාරිස්වරයා යටතට පත්වීමෙන් පසු කිසිදු ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුනොකොට බදු කුලී මුදල් වැඩි කිරීම පිළිබඳව වෙළෙඳ ප්‍රජාව දැඩි විරෝධතාවක් පළකර සිටී.

බදු කුලී මුදල් වැඩිකිරීම පිළිබඳව නාගරික කොමසාරිස්වරයාට අභියාචනා ඉදිරිපත් කළද ඊට ඔහුගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති අතර සණස සමිතිය වෙත දින රහිතව එවූ ලිපියකින් දන්වා ඇත්තේ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් නීති මඟින් කටයුතු කිරීමට සිදුවන බවය. එවැනි නීතිමය ලියවිල්ලකට නාගරික කොමසාරිස්වරයාගේ නිල අත්සන යෙදිය යුතු වුවද මෙකී ලිපියට යොදා ඇත්තේ රබර් මුද්‍රාව සහිත අත්සනකි.

වසර 30 කින් පමණ නිසි අලුත්වැඩියාවක් සිදුනොවුණු මෙකී වෙළෙඳ සංකීර්ණය වෙළෙඳසල් 38 කින් සමන්විත වූවද ‍ෙම් වනවිට වෙළෙඳසල් බොහෝමයක් හිස්ව පවතී.

වෙළෙඳ සංකීර්ණයේ බිත්ති සියල්ල ජරාවාසවී ඇති අතර ‍වහළද දිරාපත්ව තිබේ. දිරාපත් වූ සිවිලිමේ කොටස් කඩාවැටෙමින් තිබෙන අතර ඉහළ මහලේ සහ දෙවන මහලේ වසා දමා ඇති කඩ කාමර ජරාවාස වී ඇත.

දිරාපත් වහලේ සිදුරු අතරින් වැසි දිනට වෑහෙන ජලකඳ වෙළෙඳ සංකීර්ණයේ පඩිපෙළ දිගේ පහළට ගලා ඒමෙන් තම වෙළෙඳ කටයුතුවලට දැඩි බාධාගෙන එන බව එහි සිටින වෙළෙඳ ප්‍රජාව අපට පැවසූහ. ඔවුන් පවසන අන්දමට මේ පිළිබඳව වසර ගණනාවක සිට අදාළ බලධාරින් දැනුවත් කළද ඉන් කිසිදු පළක්වී නැත.

වෙළෙඳ සංකීර්ණයේ පියගැටපෙළෙහී සවිකර ඇති යකඩ අත්වාරු බොහෝසෙයින් මල බැඳී ඇති අතර ඒවා දිරාපත්ව ඇත. හදිසියකදී මෙම අත්වාරු සඳහා යමෙකු යම් බරක් යෙදුවහොත් එකී අත්වාරු ගැලවී ගොස් මහා විනාශයක් සිදුවිය හැකි බව එහි සිටි අයකු අප සමඟ පැවසීය.

වෙළෙඳ සංකීර්ණයේ අභ්‍යන්තර විදුලි පද්ධතියේ විදුලි මීටර් හා ස්වීච් ගැලවීයාමෙන් ගොඩනැගිල්ල අනාරක්ෂිත තත්ත්වයකට පත්ව තිබේ. මේ හේතුවෙන් පියගැටපෙළත් කෝරිඩෝව කොටස් සියල්ලත් රාත්‍රී කාලයේ ඝන අන්දකාරයක පවතී. මෙකී අන්දකාර ස්ථාන හෙරොයින් සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ තිප්පොළවල් බවට පත්ව ඇත. මත්ද්‍රව්‍ය ගැනීමෙන් සිහි විකල්ව සිටින පුද්ගලයන් පිහි අතැතිව කරනු ලබන කලහකාරී තත්ත්වයන්ට මුහුණ දීමේ අවස්ථා ගණනාවක්ම මෙහි බදු කුලී ගෙවන ආයතනයන්හී සේවකයිනට උදාවී තිබීම ඔවුන්ගේ අනාරක්ෂිත බවට කදිම නිදසුන්ය.

මේ පිළිබඳව දෙහිවල පොලිසිය වෙත ලිපි කීපයක් යොමුකිරීමෙන් පසු 2016.12.14 දින පොලිස් සංචාරක පොතක් යොදා ඇතත් එහි පොලිස් නිලධාරින් අත්සන යොදා ඇත්තේ පොත ආරම්භ කළ දිනයේ පමණී.

මේ ස්ථානයේ යම් විපතක් වූවාට පසු ඊට ප්‍රතිකර්ම යෙදීමෙන් පළක් නොවේ. එනිසා මෙකී වෙළෙඳ සංකීර්ණයට අවශ්‍ය පොලිස් ආරක්ෂාව සැපයීමත් රාත්‍රී කාලයේ අවශ්‍ය විදුලි ආලෝකය ලබාදීමත් කඩිනමින් කළ යුත්තකි.

වෙළෙඳ සංකීර්ණයේ රාජකාරි කටයුතු සඳහා යොදවා ඇති කම්කරුවන් තම රාජකාරි අවස්ථාවේදී ඇඳ සිටිය යුතු නිල ඇඳුම ඇඳ නොසිටීම නිසා ඔවුන් හඳුනාගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇත. එලෙස ඔවුන් හැසිරෙනුයේ රාජකාරි වේලාවේදී තම පෞද්ගලික ත්‍රිරෝද රථ ධාවනයේ යෙදීමට බව වෙළෙඳසැල් හිමියන්ගේ අදහසය. කෙසේ වූවද පවිත්‍රතා කටයුතු නිසිලෙස සිදුවන බවක්ද පෙනෙන්නට නොවුණු අතර ඔවුන් පිළිබඳව සොයා බලන්නට හෝ වෙළෙඳ සංකීර්ණයේ පරිපාලන කටයුතු සඳහා එහි නිලධාරියකු නොවීමද කැපී පෙනෙන්නකි.

කඩහිමියන් සහ නගර සභාව අතර පවතින බදු කුලී ගිවිසුම්වල ජලය හා විදුලිය පිළිබඳව පැහැදිලි එකඟතාවක් නොමැති බව බදුගෙන ඇති කඩහිමියන්ගේ අදහසය. වෙළෙඳ සංකීර්ණයටම ඇත්තේ එක් ජල මීටරයක් පමණී. රුපියල් ලක්ෂ 06 කට අධික ජල බිල්පතක් නොගෙවීම හේතුවෙන් පසුගිය දිනෙක ජල සම්පාදන මණ්ඩලය මඟින් ජලය විසන්ධිකර ඇති අතර මාස දෙකක පමණ කාලයක් ජලය නොමැතිව අපා දුක් විඳි බව වෙළෙඳසල් හිමියෝ අපට පැවැසූහ. ජලය නැවත ලබාගැනීම සඳහා වෙළෙඳසල් හිමියන්ට මසකට විශාල මුදලක් ගෙවීමට සිදුව ඇත්තේ නගර සභා පරිපාලනයේ දුර්වලතාව නිසාය.

මීට පෙර විදුලිය සම්බන්ධයෙන්ද මෙවැනිම තත්ත්වයක් උද්ගතව ඇති අතර එය විසඳාගෙන ඇත්තේද වෙළෙඳසල් හිමියන්ගේ දැඩි මහන්සියක ප්‍රතිඵලයක් ලෙසය.

කඩ කාමරවල ප්‍රතිසංස්කරණ කටයුතු හා පොදු පහසුකම් නොමැතිවීමෙන් අතහැර දමා ඇති කඩ කාමර නැවත ටෙන්ඩර් කර ඇතත් ඒ සඳහා නිසි ඉල්ලුමක් සිදුවී නැතැයි වෙළෙඳසල් හිමියන් පවසයි.

ආසියාවේ ආදර්ශවත් පුරවරයක් සඳහා යන ගමනේදී දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ල වැනි ස්ථානයක් පැවතීම එකී ගමනට ප්‍රධාන බාධාවක් බව බලධාරින්ට නොතේරීම පුදුමයට කරුණකි.

එස්. ඩබ්ලිව්. නිහාල්

අවුරුදු 38 කින් මේ ගොඩනැගිල්ලට තීන්ත ගාලා නැහැ. හරියට ලයිට් ටික නැහැ. මේක මහ අපායක්. කොමසාරිස් කියන්නේ බලන්න එන්න වෙලාවක් නැහැ කියලා. මේ ගොඩනැගිල්ල ජරාවාසවීම නතර කරලා දෙන්න කියලයි අපි ඉල්ලන්නේ. මේ ගොඩනැගිල්ලේ වතුර මාස දෙකක් කපලා තිබුණා. මාසයකට රුපියල් 50000 ක වතුර බිලක් අපි දැන් ගෙවනවා. නගර සභාව වතුර බිල ගෙවන්නෙ නැහැ කියලා කමිටු තීරණයක් ගත්තලු. ඒ ගැන වෙළෙන්දො දන්නෙ නැහැ.

ධීවර සමිති නිලධාරියෙක් -

මෙතෙන්ට කිසිම ආරක්ෂාවක් නැහැ. රාත්‍රියට කුඩුකාරයින්ගේ රජදහනක්. මේ ගොඩනැගිල්ල ඇතුළෙ කට්ටිය මුත්‍රා කරනවා. කවුරු හරි ඇමැති කෙනෙක් එනව කිව්වොත් සුද්ද කරනවා. නගර සභාව අපි එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. මෙතෙන්ට විදේශිකයොත් එනවා. ඒ අයට හොඳ පරිසරයක් නැහැ. ඔවුන් අපට හිනාවෙනවා. ධීවර ජනතාව 2000ක් විතර මේ කාර්යාලයෙන් ප්‍රයෝජන ගන්නවා. ඔවුන්ට මේ ස්ථානයේ හරි පහසුකම් නැහැ. නගර සභා සේවකයෝ ත්‍රිවිල් දුවනවා. මේ ස්ථානයේ සේවය කරන්නේ නැහැ. ඒ ගැන හොයන්න කවුරුවත් නැහැ.

හෙක්ටර් ද අල්විස්,

ස්වයංරැකියා සමුපකාරය, සභාපති -

අපි කරන්නෙ ස්වේච්ඡා සේවයක්. අපේ මාසික කුලිය රුපියල් 1700 යි තිබුණේ. ඒක එකවරම රුපියල් 11500ක් කළා. අපි දුන්න අභියාචනා ගැන කිසිම තැකීමක් කළේ නැහැ. අපි කියන්නෙ මේ ගොඩනැගිල්ලෙ කුලිය සාධාරණ වැඩිවීමක් කරන්න කියලා.

ලක්ෂ්මන් ජයන්ත,

සභාපති, දෙහිවල නාගරික සණස සමිතිය -

අපේ කාර්යාල කුලිය වැඩිකරලා. රුපියල් 3000.33 ක් තිබුණේ. ඒක රුපියල් 14000ක් කරලා අපි එක්ක කිසිම සාකච්ඡාවක් කළේ නැහැ. අභියාචනා කළත් වැඩක් වුණේ නැහැ. අපි ස්වේච්ඡා ආයතනයක්.

අපි නගර සභාවේ කුලිය හරියට ගෙවනවා. ඒත් නගර සභාව හරියට වතුර බිලවත් ගෙවා තිබුණේ නැහැ. ඒ නිසා අපි ලොකු අපහසුතාවකට පත්වුණා. පළාත් පාලන නියෝජිතයන් සිටියදී අපේ හඬට ඇහුම්කන් දුන්නා. ඒත් රාජ්‍ය නිලධාරින් අපේ හඬට ඇහුම්කන් දෙන්නේ නැහැ.

අපි ආරක්ෂාව ගැන පොලිසියට පැමිණිලි කළා. පොලිසිය ජංගම මුරසේවා පොතක් දැම්මා. ඒකෙ එදා විතරයි අත්සන් කළේ. ඊට පස්සෙ අද වෙනකන් ඒ පොතේ අත්සන් කළේ නැහැ.

යමිත රාජපක්ෂ - හිටපු නාගරික මන්ත්‍රී දෙහිවල ගල්කිස්ස මහනගර සභාව -

මේ සභාවේ සියලු බලතල නාගරික කොමසාරිස්ට පවරලා තියෙන්නේ. ‍ෙම් නගර සභාවේ අක්‍රමිකතා ගොඩක් වෙනවා. නාගරික කොමසාරිස්ගේ වැඩ අධීක්ෂණයක් නැහැ. ඔහු හිතුමතේ තීරණ ගන්නවා මිනිස්සු ගැන හිතන්නෙ නැහැ. අපි කිව්වෙ දුම්රියපොළ පාරේ වෙළෙඳ සංකීර්ණය අලුත්වැඩියා කරලා කුලිය වැඩිකරන්න කියලයි. ඒත් දැන් කොමසාරිස්වරයා ඒ කිසිවක් නොකර කුලිය වැඩිකරලා. කඩ ටෙන්ඩර් කරලා. පහසුකම් නැතිව මිනිස්සු ඉල්ලුම් කරන්නෙ නැහැ. මේ හරහා කඩ ඔවුන්ගෙ හිතවතුන්ට බෙදා දෙන්නැයි මේ හදන්නෙ. නගර සභාවේ වාහන යොදාගෙන කොමසාරින්ගේ පෞද්ගලික ඉඩමෙ ගෙයක් හදන්න කටයුතු කළා. ඒ ගැන මම සොයා බැලුවා අදාළ ආයතනවලටත් දැනුම් දුන්නා. වරිපනම් නොගෙවපු අයට සහන කාලයක් නොදී ගෙවල් ඉදිරිපිටට ගිහින් අණබෙර ගහනවා. මේවා වැරදි වැඩ. මිනිස්සු අපහසුතාවට පත්කරලා බදු අයකර ගන්න කොමසාරිස්ට අයිතියක් නැහැ.

ධම්මික මුතුගල, නාගරික කොමසාරිස්,

දෙහිවල ගල්කිස්ස මහනගර සභාව

දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණය ඉතාම අපිරිසුදුයි. කඩා වැටෙන්නත් ළඟයි. මේ ගැන මොකද කියන්නේ.

ඔබතුමා කියන එක මම පිළිගන්නවා. ඔය ගොඩනැගිල්ලට වෙන් කළ රුපියල් මිලියන 10ක මුදල මාර්ග අලුත්වැඩියාවට දැම්මා. වාර්ෂික සභා රැස්වීම්වලදී සභාව ඕකට මුදල් වෙන් කළේ නැහැ. ඔය ගොඩනැඟිල්ල කඩලා අලුතින් ගොඩනැගිල්ලක් හදන්න යෝජනාවක් හදලා තියෙන්නේ.

එහෙම තියෙද්දි කඩ කුලිය වැඩිකරලා තියෙන්නේ ඇයි?

අවුරුදු 10කට ඉස්සර තමයි කඩ කුලිය වැඩි කළේ. ඒත් සභාව වැඩිකරන්න ඉඩ දුන්නේ නැහැ. කඩ කුලී ගෙවලා නැති අයත් ඉන්නවා. රජයේ තක්සේරුකරු කිව්ව ගණන් තමයි වැඩි කළේ. කඩ කුලී වැඩිනම් කඩ ආපසු බාර දෙන්න.

වෙළෙඳ සංකීර්ණයේ වතුර කපලා තිබුණා.

ගිවිසුමේ ඉතා පැහැදිලිව තියෙනවා ජල බිල ඔවුන් ගෙවිය යුතු බව. සෑහෙන කාලයක් තිස්සේ නගර සභාව ඔය බිල ගෙව්වා. ඒක වැරදියි 30% නගර සභාව ගෙවනවා. අපේ ටික අපි ගෙව්වා ඒ අයගෙ ටික ගෙව්වෙ නැති නිසා වතුර කැපුවා.

මේ තත්ත්වය තුළ කඩ ටෙන්ඩර් කරලා ටෙන්ඩර් ඉදිරිපත් වෙන්න පුළුවන් තත්ත්වයක වෙළෙඳ සංකීර්ණයේ කඩ නැහැ නේද?

කඩයක් පවරගත්තොත් වහල තියන්න බැහැ. ඒත් කඩ ගොඩක් කාලයක් වහලා තිබුණා. සභාව තමයි ඒ දේ කළේ. සභාව විසුරුවා හැරියට පස්සෙ අපි ටෙන්ඩර් කළා.

ඔබේ නිවස සෑදීමට නගර සභා වාහන භාවිතා කරන බවට චෝදනාවක් තියෙනවා.

ඕක ඔය යමිත රාජපක්ෂ කියන කතාවක්. නගර සභාවේ ඕනෑම සේවකයකුට මුදල් ගෙවලා යන්ත්‍ර සූත්‍ර ගන්න පුළුවන්. මම මගේ අත්අකුරින් ලියුමක් ඉදිරිපත් කරලා මුදල් ගෙවලා වාහන අරන් තියෙන්නේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...