නීති විරෝධීව මසුන් මැරූ ධීවරයන් අටක් සහ යාත්‍රා දැලේ

කොච්චිකඩේ විශේෂ - ඩී. මිහිදුකුල

බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස මීගමුව මුහුදු සීමාවේ තහනම් පන්න ක්‍රම මගින් මසුන් මැරූ ධීවර යාත්‍රා දෙකක් ධීවරයන් අටදෙනකු සමඟ මීගමුව ප්‍රාදේශීය ධීවර කාර්යාලයේ ධීවර පරීක්ෂක මහත්වරු සහ නාවික හමුදා නිලධාරින් එක්ව කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුව පලඟතුරය මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත් එම ධීවර යාත්‍රාවල තහනම් පන්න ක්‍රම මගින් අල්ලා‍ගන්නා ලද විශාල මත්ස්‍ය අස්වැන්නක් ද තිබුණි.

පාවෙන “කරමල් දැල” භාවිතා කර මසුන් මැරීම නීත්‍යානුකූල ක්‍රමයකි. එම කරමල් දැල විවිධ ක්‍රමවලට සාදා නීතිවිරෝධී ක්‍රම මගින් මසුන් ඇල්ලීම ඇතැම් ධීවරයන් කරනු ලබයි. ගම්පහ දිස්ත්‍රික්කය තුළ පන්න ක්‍රම 17ක් සඳහා පමණක් බලපත්‍ර දී තිබෙන බවත් කරමල් දැල විවිධ ක්‍රමවලට සාදා මසුන් ඇල්ලීමට බලපත්‍ර ගම්පහ දිස්ත්‍රික්කය තුළ කිසිම ධීවරයකුට දී නොමැති බව ප්‍රාදේශීය ධීවර සහකාර අධ්‍යක්ෂ රංජිත් බණ්ඩාර මහතා පැවැසීය.

එබැවින් එම බලපත්‍ර රහිත නීතිවිරෝධී ක්‍රම මගින් මසුන් අල්ලන සෑම ධීවරයෙක්ම මසුන් අල්ලන මුහුදු සීමාවේදී ධීවර ආඥා පනතින් පැවරී ඇති බලතල අනුව ධීවර පරීක්ෂකවරුන්ට අත්අඩංගුවට ගැනීමට නියම කර ඇතැයි සහකාර ධීවර අධ්‍යක්ෂ රංජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවැසීය.

අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා දෙක ප්‍රාදේශීය ධීවර කාර්යාලය භාරයට ගත් අතර ධීවර යාත්‍රා දෙකෙහි තිබූ මත්ස්‍ය අස්වැන්න ධීවර සංස්ථා‍වට භාරදීමට කටයුතු කෙරිණි.

අත්අඩංගුවට ගත් ධීවර කාර්මිකයන් අටදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව ධීවර සහකාර අධ්‍යක්ෂවරයාට තිබෙන බලතල අනුව එම ධීවරයන් ඇප මත මුදාහැර 26 වැනි දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට උපදෙස් දුනි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...