ලේක් හවුස් - කොමර්ෂල් බැංකු ගැටුමින් ලේක් හවුසියට ජය | දිනමිණ

ලේක් හවුස් - කොමර්ෂල් බැංකු ගැටුමින් ලේක් හවුසියට ජය

සිටි ලීග් පාපන්දු සංකීර්ණයේ ඊයේ පැවති වෙළඳසේවා පාපන්දු තරගාවලියේ දී ජයග්‍රහණයක් අත්කර ගැනීමට ලේක් හවුස් පාපන්දු කණ්ඩායම සමත් විය.

ඒ, කොමර්ෂල් බැංකු කණ්ඩායම ගෝල 1 – 0ක් ලෙස පරාජයට පත්කරමිනි.

ලේක් හවුස් ක්‍රීඩක එස්. එෆ්. ඉෂාරගේ (08) පා පහරින් ආරම්භ කළ තරගයේ, වැඩි වේලාවක් යන්නට පෙර ගෝලයක් වාර්තා කිරීමේ අවස්ථාව ඔවුන්ට උදා වුවත් එය සාර්ථක නොවීය.

ඒ සුරේන්ද්‍ර (10) විසින් ඒ. අයි. ජේ. ප්‍රනාන්දු වෙත යොමු කළ පන්දුව ගෝල රාමුව‍ට නිසියාකාරව ඉලක්ක කිරීමට ඔහුට නොහැකි වීම නිසාවෙනි.

ලේක් හවුස් ක්‍රීඩකයින් හට තරගයේ 15 වන මිනිත්තුවේ දී දඬුවම් පහර අවස්ථාවක් උදා විය.

එය සාර්ථක කර ගත් එම්. බී. සුරේන්ද්‍ර (10) තරගයේ ප්‍රථම ගෝලය වාර්තා කළේය.

මෙම අර්ධයේ දී කොමර්ෂල් ක්‍රීඩකයින් හට පන්දුව වැඩි වේලාවක් තබා ගැනීමට අවස්ථාව උදා නොවීය.

දෙවන අර්ධයේ දී වැඩි වේලාවක් පන්දුව කොමර්ෂල් බැංකු සීමාවේ රඳවා ගනිමින් ලකුණු රැස් කිරීමට ප්‍රබල උත්සහයක් ලේක් හවුස් කණ්ඩායම විසින් දරණ ලදි.

කොමර්ෂල් බැංකු ක්‍රීඩක නලින් සිරිවර්ධන (09) වම් අන්තයේ සිට වේගයෙන් පන්දුව රැගෙන ආවද ගෝල රාමුව‍ට මීටර් 10 පමණ දුරින් ඔහුට පන්දුවේ පාලනය ගිලිහි ගොස් පන්දුව පිටියෙන් ඉවතට යොමු විය.

විශේෂයෙන්ම මෙම අර්ධයේ දී කණ්ඩායම් දෙක විසින් වැඩි වේලාවක් පන්දුව පිටිය මැද ප්‍රදේශයේ සිට හුවමාරු කරමින් සිටියේය.

එක්වරම නැවත වරක් ක්‍රියාත්මක වූ කොමර්ෂල් බැංකු ක්‍රීඩක නලින් සිරිවර්ධන (09) ගෝලයක් වාර්තා කිරීමේ බලාපොරොත්තුවෙන් පහරක් එල්ල කළත් ලේක් හවුස් ගෝල රකින්නාගේ දක්ෂ පන්දු රැකීම හමුවේ එය අසාර්ථක විය.

ඒ අනුව දෙවන අර්ධයේ දී කිසිදු කණ්ඩායමකට ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් නොලැබිණි.

(පපරේ ඩොට් කොම් ඇසුරිනි)

නව අදහස දක්වන්න