ඔලිම්පික් කමිටු ඡන්දය සැප්තැම්බරයේ | දිනමිණ

ඔලිම්පික් කමිටු ඡන්දය සැප්තැම්බරයේ

ප්‍රින්ස් ගුණසේකර

හේමසිරි වසර 20කට පසු සභාපති පුටුවට සමුදෙයි

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පවත්වන බව ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි. ඔලිම්පික් නිලවරණය අවසන් වරට වසර 2009දී පැවැති අතර 2013 පෙබරවාරි 27 වැනිදා නිලවරණය නැවත කැඳවීමට ගත් උත්සහය ක්‍රීඩා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උද්ගතවූ අර්බුදය හමුවේ අසාර්ථක විය.

ඔලිම්පික් කමිටු නිලවරණයට අදාල නාම යෝජනා නිලවරණයට දින 45කට කලින් කැඳවන බවත් විගණිත මූල්‍ය ප්‍රකාශ සමග මහා සභාව කැඳවා නව නිලධාරී මණ්ඩලය පත්කරන බවත් ඒ මහතා පැවැසීය. වසර 20ක් ඔලිම්පික් කමිටුවේ කටයුතු කරමින් දීර්ඝතම ක්‍රීඩා පරිපාලන නිලධාරියකුවූ ප්‍රනාන්දු මහතා එළැඹෙන ඔලිම්පික් කමිටු නිලවරණයේදී සභාපති තනතුරට තරග නොකරන බවද පැවැසීය.

“ඔලිම්පික් මුල් පුටුවට සුදුසු හොඳම කෙනෙක් පත්වෙනවා දක්න්නයි මට අවශ්‍ය. මගේ කාලයේ අංග සම්පූර්ණ කාර්යාල සංකීර්ණයක් ඉදිකොට තිබෙනවා. ස්ථාවර තැන්පත් ගිණුමේ රුපියල් මිලියන 50ක් තැන්පත් කොට තිබෙනවා. සේවක වැටුප් ගෙවන්න මාසයකට රුපියල් ලක්ෂ 8ක පමණ ආදායමක් අපේම ක්‍රමවත් සැලසුමක් අනුව ඔලිම්පික් කමිටුවට ලැබෙනවා. මගේ කාලයේ කළ හැකි උපරිම දේ මා කළා. මා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනයේ හා ආසියානු ඔලිම්පික් කමිටුවේ උප සභාපති ලෙස කටයුතු කරමින් තව දුරටත් ක්‍රීඩාවට සේවය කරනවා” ප්‍රනාන්දු මහතා පැවැසීය.

ඉදිරියේදී ස්වාධීනව කටයුතු කරමින් නිලවරණය සාර්ථකව පැවැත්වීම තම එකම අරමුණ බවද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. අවසන් වරට 2009දී පැවැති ඔලිම්පික් කමිටු නිලවරණයෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා නිතරගයෙන් තේරී පත්විය. ප්‍රනාන්දු මහතා ඔලිම්පික් කමිටුවේ සභාපති ලෙස මුල්වරට පත්වූයේ 1997දීය. ඒ මහතා එතැන් සිට මේ දක්වා අඛණ්ඩව එම තනතුරේ කටයුතු කළේය.

අවසන් වරට පැවැති නිලවරණයේදී එතෙක් ලේකම් ලෙස කටයුතු කළ එච්. යූ සිල්වා මහතා පරාජය කරමින් මැක්ස්වෙල් ද සිල්වා මහතා තේරී පත්වූ අතර එච්. යූ. මහතා ඡන්ද 6ක් ද, මැක්ස්වෙල් මහතා ඡන්ද 14ක් ද ලබා ගත්හ.

ඔලිම්පික් කමිටු නිලවරණයේදී සභාපති, ප්‍රධාන ලේකම්, උප සභාපති ධුර හයක්, උප ලේකම් ධුර දෙකක්, භාණ්ඩාගාරික හා උප භාණ්ඩාගාරික ධුර වසර හතරක කාලයකට පත් වේ. නව ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය හමුවේ ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ නිල අනුමැතිය හිමිව ඇත.

ඉකුත්දා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ආසියානු ක්‍රීඩා අධ්‍යක්ෂ හයිඩර් ෆාමර් මහතා ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්වීම පිළිබඳ අවධානය යොමු කොට ඇත. ඔලිම්පික් කමිටු සාමාජික ජාතික ක්‍රීඩා සංගම් ගණන 28 ක් වන අතර සෑම සංගමයකටම ඡන්ද අයිතිය හිමි වේ. ඔලිම්පික් නිලවරණයට පෙර සියලුම ජාතික ක්‍රීඩා සංගම් නව ක්‍රීඩා රෙගුලාසි වැළද ගැනීමට කටයුතු කළ යුතුව ඇතැයි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා නියෝග කොට තිබුණි.

නව අදහස දක්වන්න