උපාධියට රක්ෂාවක්

ශ්‍රී ලංකාවේ උපාධිධාරීන්ගේ රැකියා ගැටලුව විසැඳීම සඳහා ආණ්ඩුව අලුත් ප්‍රතිපත්තියක් හඳුන්වා දී තිබේ. එම ප්‍රතිපත්තියට අනුව රාජ්‍ය සේවයේ ඇති පුරප්පාඩු හා ක්ෂේත්‍ර පළමුව විමර්ශනයට ලක්කරනු ලැබේ. දෙවනුව උපාධිධාරීන්ගේ සුදුසුකම් හා හැකියාවන් විමර්ශනයට ලක්කරනු ලැබේ. රාජ්‍ය සේවය යනු උපාධිධාරීන්ගේ ප්‍රධාන අපේක්ෂාව ලෙස සැලැකිය හැකිය. එය ශ්‍රී ලංකාව, ඉන්දියාව වැනි රටවල පොදු තත්ත්වයකි. බටහිර දියුණු රටවල උපාධිධාරීන් රාජ්‍ය සේවයට වඩා පෞද්ගලික අංශය කෙරෙහි විශ්වාසය තබන බව අප දන්නා කාරණයකි. එහෙත් ශ්‍රී ලංකාවේ එබඳු තත්ත්වයක් ගොඩනැඟී නැත.

උපාධිධාරීන්ගේ රැකියා වියුක්තිය පිළිබඳ ගැටලුව ගතහොත් එහි විමසා බැලිය යුතු අංශ ගණනාවක් තිබේ. එක; උපාධිය රැකියා වෙළෙඳපොළට ගැළපෙන්නේ නැත. දෙක; උපාධිය රටේ සංවර්ධනයට ගැළපෙන්නේ නැත. තුන; අධ්‍යාපනය හා රැකියා වෙළෙඳපොළ අතර කිසිදු සම්බන්ධයක් නැත. හතර; උපාධිධාරීන් පිළිගැනීමට පෞද්ගලික අංශය මෙන් ම රාජ්‍ය අංශය ද පූර්ණ සූදානමකින් කටයුතු කරන්නේ නැත. මේ සියල්ලෙන් පෙනී යන්නේ උසස් අධ්‍යාපනය හා රැකියා වෙළෙඳපොළ අතර කිසිදු සම්බන්ධයක් නැති බව ය.

‍චීනය මෙලෙස ක්‍රියා කරන්නේ නැත. ජපානය මෙලෙස ක්‍රියා කරන්නේ නැත. අවම ලෙස මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල් ද මෙලෙස ක්‍රියා කරන්නේ නැත. එම රටවල උසස් අධ්‍යාපනය, උපාධිධාරීන්, රටේ සංවර්ධනය, රැකියා වෙළෙඳපොළ අතර සෘජු සම්බන්ධතා පවතී. ඒවා නොබි‍ඳෙනසුලු ස්ථාවර ගනුදෙනු ලෙස සැලැකිය හැකි ය. ඊට හේතුව දේශපාලකයෝ රටේ අනාගත සැලැසුම් ගොඩනැඟීමේදී අධ්‍යාපනය, උපාධිධාරීන් හා රටේ අනාගත සංවර්ධනය ගැන ද හොඳින් කල්පනා කිරීමය. ශ්‍රී ලංකාවට ද එබඳු සංවර්ධන ක්‍රමෝපායක් අවශ්‍ය වේ.

පසුගිය කාලය තුළ උපාධිධාරීන් දහස් ගණනකට රැකියා ලබා දුන් බව රහසක් නොවේ. එසේ රැකියා ලබාදීම යහපත් ක්‍රියාවලියකි. එහෙත් සොයා බැලිය යුතු කාරණය වන්නේ එලෙස රැකියා ලබා දුන් අයගේ දැනුම හා හැකියාව නියම අන්දමින් ප්‍රයෝජනයට ‍ගන්නේ ද යන්නය. නිදසුන් කිහිපයක් දැක්විය හැකිය. එක්තරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ආපදා කළමනාකරණය පිළිබඳ වගකීම භාර දී තිබුණේ නැටුම් විෂය පිළිබඳ උපාධියක් ලැබූ තැනැත්තෙකුටය. තවත් තැනෙක සංස්කෘතිය පිළිබඳ වගකීම භාර දී තිබුණේ ගණිත විෂය සමත් උපාධිධාරියකුට ය.

ඉතා පැහැදිලිව කිවහොත් උපාධිධාරීන්ට රැකියා ලබාදීම සිදු වී ඇත්තේ කිසිදු විචාරයකින් තොරව ය. උපාධිධාරීන්ගේ දැනුම හා කුසලතා ප්‍රයෝජනයට ගත හැකි ක්‍රමෝපායක් අප තවම සකස් කරගෙන නැත. එක අතෙකින් ඌන සේවා නියුක්තිය ගැන කතා කරනු දක්නට ලැබේ. තව අතෙකින් උපාධිධාරීන්ගේ රැකියා වියුක්තියක් ගැන කතා කරනු ලැබේ. අප දන්නා පරිදි විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්ගෙන් රැකියා පිළිබඳ ගැටලුවක් දැනට නැත්තේ වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් පමණි. අනෙක් සෑම ක්ෂේත්‍රයකම උපාධිධාරීන් සම්බන්ධයෙන් ගැටලු පවතී.

අපේ රටේ සම්ප්‍රදායට හා ප්‍රවණතාවට අනුව උපාධිධාරීහු බහුල ලෙස ආණ්ඩුවේ රැකියා අපේක්ෂා කරති. ආණ්ඩුවේ දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශ අතර ඇත්තේ සීමිත පුරප්පාඩු සංඛ්‍යාවකි. මේ සීමිත පුරප්පාඩු සංඛ්‍යාව පිරවීම සඳහා ද දීර්ඝ කාලයක් ගතකරනු ලැබේ. පළමුව එය වෙනස් විය යුතුය. දෙවනුව උපාධිධාරීන් පෞද්ගලික අංශය කරා යොමු කළ යුතු ය. එසේ නොමැතිව මේ ගැටලුව විසඳිය හැකි නොවේ. මේ වන විට අවුරුදු ගණනාවක උපාධිධාරීහු රැකියා පෝළිමේ සිටිති. එය ඔවුන්ගේ වරදක් ලෙස සලකන්නේ නම් එහි යුක්තියක් නැත.

අපට හැ‍ඟෙන පරිදි ආණ්ඩුව අලුතෙන් යෝජනා කර ඇති ක්‍රමවේදයෙහි යම් සාධනීය තත්ත්වයක් තිබේ. එම ක්‍රමවේදය පිළිවෙළක් අනුව ගොඩනැඟී ඇත. පළමු පියවර වන්නේ රජයේ ආයතන තුළ පුරප්පාඩු සොයා බැලීමය. දෙවන පියවර වන්නේ ඊට අදාළ උපාධිධාරීන් එම පුරප්පාඩු පිරවීම සඳහා තෝරා ගැනීමය. තෙවන පියවර වන්නේ ඔවුන්ගේ සාධනීය තත්ත්වයන් නිරීක්ෂණයට ලක් කිරීමය. උපාධිධාරීන්ට රැකියා ලබාදිය යුත්තේ මන්ත්‍රීගේ චිට් එකට අනුව නොවේ. දේශපාලනයට අනුව ද නොවේ. ඔවුන්ගේ සුදුසුකම් හා හැකියාවන් නිරීක්ෂණය කිරීම වැදගත් ය. ශ්‍රී ලංකාව තරුණ අරගල තුනකට මුහුණ දුන් රටක් ලෙස මතක තබාගැනීම මේ සියල්ලට වඩා වැදගත් ය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...