'අරයාට මෙයාට බැනලා වැඩක් නැහැ' - නයෝමි තක්ෂිලා | දිනමිණ

'අරයාට මෙයාට බැනලා වැඩක් නැහැ' - නයෝමි තක්ෂිලා

නයෝමි තක්ෂිලා සිය රංගන ජීවිතය අරඹන්නේ වේදිකාවෙනි. වේදිකා නිර්මාණ කිහිපයකටම රංගන දායකත්වය සපයන ඇය 2015 යෞවන සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙසට අභිෂේක ලැබීය. එමෙන්ම 2017 රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිළියට ද ඈ නිර්දේශ වූවාය. අද වන විට නයෝමි වඩාත් ජනප්‍රිය පුංචි තිරය ඔස්සේය. මේ දිනවල විකාශය වන නෙතු සහ ඔක්කොම හොඳටයි යන ටෙලි සිතුවම් හි වෙනුලි සහ දිනිති යන චරිතයන් ඇය නිරූපණය කරනු ලබයි. මීදුම් අම්මා නයෝමිගේ පළමු ටෙලි සිතුවම වේ.

* නයෝමි ඔබේ කලා ජීවිතය හි ආරම්භය වැඩි විස්තර පවසමින් මේ කතාබහ අරඹමු.

පුංචි කාලේ මට තිබුණු එකම හීනය තමයි නර්තන ගුරුවරියක් වීම. මගේ ඇඟේ නර්තන කලාව තිබුණා. ඒත් මට මගේ හීනය සැබෑ කරගන්න බැරි වුණා. ඔය අතරෙදියි මං ටවර් හෝල් පදනමේ නාට්‍ය හා රංග කලා ඩිප්ලෝමා එක හැදෑරීම සඳහා යොමු වන්නේ. එහෙම ඉන්න ගමන් මට හැකියාව ලැබෙනවා කතාහක නමැති ඉන්දියානු කෙටි නාට්‍යයට එකතුවන්න. ඒක තමයි මං දායකත්වය ලබා දුන් පළමු නිර්මාණය.

* ඉන් පසුව ඔබ දිගින් දිගටම රඟපෑවේ වේදිකා නිර්මාණවල නේද?

ඔව්. මුහුදු ලිහිනියා තමයි මගේ පළමු දිගු නාට්‍ය. අනතුරුව වේදිකා නිර්මාණ බොහොමයකට එකතු වෙනවා. මගේ පළමු ටෙලි නාට්‍ය වන මීදුම් අම්මා මට ලැබෙන්නෙත් වේදිකා නාට්‍යයක් නිසා. වේදිකාවේ මා කළ රංගනය දැකලයි සමීර හසුන් මට මීදුම අම්මා නාට්‍යය සඳහා ආරාධනා කළේ.

* වේදිකාවෙන් පුංචි තිරයට එද්දී ඒ වෙනස ඔබට තදින් දැනෙන්නට ඇති?

ඔව්. එහෙම වුණා. වේදිකාවේ නිදහසේ රඟපාන්න තියෙන ඉඩ පරාසය වැඩියි. නමුත් ටෙලි නාට්‍යවලදී එහෙම බැහැ. අපි රාමුවක් ඇතුළේ කොටු වෙලයි රඟපාන්නේ. මුලදි ටිකක් වෙනසක් දැනුණා. නමුත් මාලිනී ෆොන්සේකා මැඩම්ගෙන් මට විශාල උපදෙස් ටිකක් ලැබුණා. මම මීදුම් අම්මා හි රඟපෑවේ ඇගේ දුව හැටියට. ඉතින් වැඩිපුරම සීන්ස්වල හිටියේ අපි දෙන්නා. මට ඒ මොහොතේ ඇගෙන් ලැබුණු සහාය අපමණයි.

* මීදුම් අම්මා ටෙලි සිතුවමෙන් පසුව ඔබ රඟපෑ ටෙලි නාට්‍ය මොනවාද තියෙන්නේ?

නිසල දියසුළි, හිත ළඟ අත් තටු, බලය ඇවිත්, ඔබ ආයමත් ඇවිදින්, ඊළඟට නෙතු සහ ඔක්කොම හොඳටයි.

* මේ අතරින් ඔබව වඩාත් ජනප්‍රියත්වයට පත් කළේ?

මීදුම් අම්මා ටෙලි නාට්‍යයේ චරිතය තමයි වැඩිපුරම ජනප්‍රිය වුණේ. එයට අමතරව නෙතු හි වෙනුලි සහ ඔක්කොම හොඳටයි දිනිති චරිත යුවළත් ජනප්‍රියයි.

* නව පරපුරේ රංගන ශිල්පිනියන් කියනවා ඔවුනට ප්‍රවීණයන්ගෙන් වැඩිපුර සහායක් ලැබෙන්නේ නැහැ කියලා.?

ඒක නම් බොරුවක්. මාව ඉදිරියටම යැව්වේ ප්‍රවීණයෝ. මීදුම් අම්මා හි මගේ චරිතය හොඳින් කළේ මාලිනී මැඩම්ගේ උපදෙස් නිසා. ඒ වගේම මට හුඟක් ප්‍රවීණයන්ගෙන් සහාය ලැබුණා. අපි ප්‍රවිණයන්ට ගරු කරනවා නම් ඔවුන් ද නිරායාසයෙන්ම අපට උදව් කරාවි.

* රංගනයට ඔබ පිවිසෙද්දී පවුලේ අයගෙන් මොන වගේ සහායක් ද ලැබුණේ?

මුලදී දැඩි විරෝධතා මතු වුණා. කැමැති වුණේම නැහැ රඟපාන්න යනවට. ඒත් දැන් ඒ අකැමැත්ත කැමැත්තක් බවට පත් වෙලා. ෂූටිංවලට දුර යද්දී අම්මත් එනවා මගෙත් එක්ක යන්න.

* ඔබ තනියම රඟපාන්න යන්නෙ නැත්තේ ආරක්ෂාව පිළිබඳ ගැටළු ඇති නිසාද?

නැහැ. කොළඹ අවට එක් දින ෂූටිං සඳහා මං යන්නේ තනියම. දුර යද්දියි අම්මත් එක්ක යන්නේ.

* ඇතැම් නිළියන් කියනවා අපේ සමහර දර්ශන තලවලදී නිළියන්ට ආරක්ෂාව මදි කියලා?

තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසාගන්න ඕනෑ. එහෙමයි මං හිතන්නේ. අරයට මෙයාට බැන බැන ඉඳලා වැඩක් නැහැ.

* නයෝමිගේ ගම කොහෙද?

අනුරාධපුර.

* ඉගෙන ගත් පාසල?

අනුරාධපුර ස්වර්ණපාලි බාලිකාව.

* උපන් දිනය - 1991. 10. 31

* වර්තමාන පදිංචිය?

බත්තරමුල්ල.

* රංගන කටයුතුවලට පහසු නිසාද ගම දාලා කොළඹ ආවේ?

රංගන කටයුතුවලටම නෙවෙයි මං මේ දිනවල විවෘත විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව උපාධිය හදාරනවා. ඒ විශේෂයෙන් ඒ අධ්‍යාපන කටයුතුවලට ලෙහෙසියි කොළඹ ඉන්න එක.

* නයෝමි මේ වන විට පෙම්වතියක්ද?

ඔව්.

* ඔහු පිළිබඳ වැඩි විස්තර පවසන්න පුළුවන්ද?

දැන්මම බැහැ.

* පෙම්වතා කලාවට සම්බන්ධයිද?

නැහැ. ඔහු ව්‍යාපාරිකයෙක්.

* නයෝමි මේ වන විට සිනමාවටත් පිවිසිලා. ඒ ගැන වැඩි විස්තර කිව්වොත්?

චිත්‍රපට දෙකක රඟපෑවා. එකක් නිදහසේ පියා. එහි දොන් සේදිරිස්ගේ බිරිය හැටියට රඟපෑවේ. අනෙක් චිත්‍රපටය කොට උඩ එක්ස්ප්‍රස්.

* ඔබට ගැළපෙන නළුවා කවුද?

මං හිතන්නේ විරාජ් පෙරේරා.

* ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න බලන්න?

හරිම සරල කෙනෙක්.

 

නව අදහස දක්වන්න