වන්දි එපා ද?

 කුණු -කසළ පිළිබඳ අර්බුදය විවිධ මුහුණුවරින් යුතුව බලපෑම් කරන්නට පටන්ගෙන තිබේ. මීතොටමුල්ලේ ඛේදවාචකයට මුහුණ දුන් පිරිසට ලබාදීමට නියමිත වන්දි මුදල් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. ඊට නිශ්චිත හේතුවක් පෙනෙන්නට නැත. ඇතැම් විට එය දේශපාලන බලපෑමක් විය හැකි ය. විනාශ වූ නිවාසයක් සඳහා රුපියල් ලක්ෂ විසිපහක මුදලක් ද, මියගිය හෝ අතුරුදන් හෝ පුද්ගලයකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් ද යන ලෙසින් වන්දි මුදල් තක්සේරු කර තිබිණි. මීට විරෝධය දැක් වූ එක් පුද්ගලයෙක් කියා සිටියේ ලක්ෂ විසිපහකින් වැසිකිළියක් හෝ හදාගත නොහැකි බව ය. ඒ අර්ථයෙන් ගත් කල මීතොටමුල්ලේ ජනතාව ගෙවා ඇත්තේ අධි සුඛෝපභෝගී ජීවිතයකි.

කුණු කන්දේ ප්‍රශ්නය පාදක කොටගෙන විවිධ කණ්ඩායම් විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන බව පෙනෙන්නට තිබේ. දේශපාලන පක්ෂ තම වාසිය සඳහා මේ අර්බුදය දඩමීමා කරගෙන ඇත. පරිසර සංවිධාන හා ස්වේච්ඡා සංවිධාන තම ව්‍යාපෘති සඳහා මේ ප්‍රශ්නය යොදාගෙන ඇත. අර්බුදයට මුහුණ දුන් හා මුහුණ දෙන ජනතාව තම කෝපය මුදා හැරීම සඳහා කුණු කන්ද උපයෝගී කරගෙන ඇත. මේ එකක්වත් ගැටලුවට විසැඳුම් සපයන සාර්ථක උපාය මාර්ග නොවේ. මේ තත්ත්වය පවතින්නේ විසැඳුම් මාර්ගවලට බාධාවක් හැටියට ය. එක අතෙකින් මේ ඔස්සේ රජය අපහසුවට පත්වෙයි. තව අතෙකින් අර්බුදයට මුහුණ දෙන ජනතාව අපහසුවට පත්වෙයි. තවත් අතෙකින් විසැඳුම් කල් යයි.

කොළඹ කුණු අපට එපා යැයි උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවතී. එය රට පුරා ව්‍යාප්ත වන බවද පෙනෙන්නට තිබේ. මෙය ජනතාවගේ උද්ඝෝෂණයකට වඩා ප්‍රාදේශීය දේශපාලකයන්ගේ හා විවිධ සංවිධානවල මෙහෙයැවීම මත සිදු කරන දෙයක් බව පැහැදිලිය. කොළඹ කුණු කාගේ ද යන්න එක ප්‍රශ්නයකි. එම කුණු බැහැර කරන්නේ කොතැනකට ද යන්න තවත් ප්‍රශ්නයකි. අප දන්නා පරිදි කොළඹ නාගරික බල ප්‍රදේශයේ මුළු ජනගහනය ලක්ෂ හතක් නැත. එහෙත් දිනපතා ම මේ ප්‍රදේශයට ලක්ෂ දහයක් හෝ ලක්ෂ පහළොවක් හෝ පිට පළාත්වලින් කඩා වදිති. කොළඹ කුණු යනු ඒ සියලු දෙනාගේම කුණු බව කිව යුතුය.

කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ දිනකට එකතු වන කුණු - කසළ ප්‍රමාණය ටොන් 760ක් පමණ බව කියැවේ. මේවා කොතැනකට හෝ බැහැර කළ යුතුය. නැතහොත් ප්‍රතිචක්‍රීකරණය කළ යුතුය. දැනට ශ්‍රී ලංකාවේ පවතින එකම හා සාර්ථක ම කසළ චක්‍රීකරණ ව්‍යාපෘතිය ඇත්තේ දොම්පේ ප්‍රදේශයේ ය. කොරියන් ආධාර මත ඉතා විද්‍යානුකූල ලෙස ඉදිකර ඇති මේ ව්‍යාපෘතියට දිනකට කුණු මෙට්‍රික් ටොන් අනූවක් යොදාගත හැකි ය. එහෙත් ව්‍යාපෘතිය සඳහා දිනකට ලැබෙන කුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් දහයට අඩු ය. බැහැර කුණු මේ ස්ථානයට ගෙන ඒමට දොම්පේ ජනතාව ඉඩ දෙන්නේ නැත. එය එක අතෙකින් ජාතික අපරාධයෙකි.

කොළඹ වීදි පුරා කුණු ගොඩගැසී ඇත. තවත් දින කිහිපයක් මේ අයුරින් ගෙවී ගියහොත් මුළු කොළඹ ම ගඳ ගසනු ඇත. කොළඹ සියලු රාජකාරි හා ගනුදෙනු නවතිනු ඇත. දැන් මීතොටමුල්ල නිදහස් ය. එම ප්‍රදේශයට කුණු හෙළීම මුළුමනින් ම නවතා ඇත. කොළඹ කුණු එක්කෝ කරදියානට ගෙන යා යුතුය. නැතහොත් කොටිකාවත්තට ගෙන යා යුතුය. අධිකරණ තීන්දුවක් ඔස්සේ කුණු ටොන් 350ක් බැහැර කිරීමට ස්ථානයක් ලබා දී ඇත. එහෙත් එයට එල්ල වූ විරෝධතාව මැද එය තාවකාලිකව නැවතී ඇත. මේවා දොම්පේ ව්‍යාපෘතිය වෙත රැගෙන යන්නේ නම්; ගැටලුව පහසුවෙන් ම විසඳාගත හැකිය. එහෙත් ඊට අදාළ තීන්දුව තව ම ගෙන නැත.

ජනතාවට කුණු - කසළ ප්‍රශ්නය පිළිබඳ නිසි අවබෝධයක් ඇතැ’යි සිතන්නට බැරිය. මේ රටේ විශේෂඥයන් හා උගතුන් මේ තත්ත්වය පිළිබඳ දැනුම්වත් කිරීම් සිදු කරන බවක් ද පෙනෙන්නට නැත. ඒ අනුව දේශපාලකයන්ගේ හා විවිධ සංවිධානවල දෘෂ්ටි කෝණයෙන් ජනතාව කුණු -කසළ ගැටලුව දෙස බලති. ඇතැම් දේශපාලකයන්ට එය ව්‍යාපාරයකි. තවත් දේශපාලකයන්ට එය ඡන්ද කඩා ගැනීමේ මාර්ගයකි. ස්වේච්ඡා සංවිධාන බොහොමයක් මේ සම්බන්ධයෙන් ක්‍රියා කරනුයේ වෙනත් අරමුණු හා ඉලක්ක ඇතිව ය. එහෙත් කුණු - කසළ යනු අද වන විට ජාතික ප්‍රශ්නයකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය අතුල සෙනෙවිරත්න මහතා පෙන්වා දෙන ලෙස තවත් කුණු කඳු නාය යෑමට පුළුවන.

මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රිත ප්‍රශ්නය හෝ තව ම මුළුමනින් විසැඳී නැත. එම ප්‍රදේශයේ අවදානම් කලාපය ලකුණු කර ඇත. අවදානම් නිවාස ද සලකුණු කර ඇත. මේ අතර තවත් මතයකින් කියැවෙන්නේ මීතොටමුල්ල කුණු කන්ද යළිත් නාය යෑමකට ලක්විය හැකි බවය. එහෙත් ප්‍රදේශයේ ජනතාව තම නිවාස අතහැර යෑමට සූදානම් නැත. මෙය තවත් බරපතළ ගැටලුවකි. ඛේදවාචකය සිදුවීමට මාස ගණනකට පෙර කොළඹ නගර සභාව අනතුරු හැඟවීමක් සිදු කර තිබේ. ඉවත් වන පවුලකට ගෙවල් කුලී සඳහා මසකට රුපියල් 15,000/- බැගින් වූ ගෙවීමක් කිරීමට පොරොන්දු වී ඇත. මාස හයක මුදල එකවර ගෙවීමට ද පොරොන්දු වී ඇත. පවුල් හයක් මෙලෙස මුදල් ලබාගෙන පදිංචිය වෙනස් කර ඇත. ඉතිරි පවුල් ඛේදවාචකයට මුහුණ දුන්හ.

මේ සිද්ධියෙන් පෙනී යන්නේ ජනතාව ද යම් හිතුවක්කාරී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන බව ය. විමසිල්ලට ගත යුතු තවත් කාරණයක් වන්නේ මීතොටමුල්ල අවට පාරම්පරික පදිංචිකරුවන් සේම අනවසර පදිංචිකාරයන් ද විශාල ප්‍රමාණයක් ඇති බවය. රජයේ උත්සාහය වන්නේ ඒ සියලු දෙනාට ම සාධාරණයක් ඉටු කිරීම ය. රජය හැරුණු විට අනෙක් සෑම පාර්ශ්වයක් වෙතින් ම සිදුවන්නේ ජනතාව උසිගන්වන හා කුපිත කරවන ක්‍රියාකාරකම් ය. රාජ්‍ය නිලධාරීන්ට විරෝධය දැක්වීමෙන් හා දේශපාලකයන්ට හූ කීමෙන් කිසිදු ගැටලුවකට විසැඳුම් ලැබෙන්නේ නැත.

මෙබඳු ජාතික ගැටලු විසැඳීම සඳහා ජනතාවගේ පැත්තෙන් විශාල සහයෝගයක් ලැබිය යුතුය. එහෙත් අපේ රටේ එය සිදුවන්නේ නැත. ‍


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...