ඓතිහාසික පරමාකන්ද රජ මහා විහාරය ජරාවාස වෙලා | දිනමිණ

ඓතිහාසික පරමාකන්ද රජ මහා විහාරය ජරාවාස වෙලා

ක්‍රිස්තුපූර්ව 103-76 අතර කාලයේ වළගම්බා රජු විසින් ඉදි කෙරුණු බවට ශිලා ලේඛනවල සඳහන් පෞරාණික මෙන්ම ‍ඓතිහාසික පරමාකන්ද රජ මහා විහාරය අදවන විට ජරාවාස වී කිසිදු නවීකරණය වීමකින් තොරව පවතින පූජනීය සිද්ධස්ථානයකි. වෙසක් පොසොන් පොහොය දිනයන්හිදී ශ්‍රී ලංකාවේ පමණක් නොව ඈත එපිට විදෙස් රටවල්වලින්ද සංචාරකයන් මෙන්ම වන්දනාකරුවන් පැමිණෙන සිද්ධස්ථානයක් වන අතර දහස් ගණනක ජනී ජනයාගෙන් පිරී පවතින ස්ථානයකි.

පුත්තලම කුරුණෑගල කාපට් මහා මාර්ගයේ විහාරස්ථානය දක්වා වූ අතුරු මාර්ගය කිසිවකුට පයින්වත් ගම්න් කිරීමට නොහැකි තත්ත්වයට පත්ව ඇත. විහාරාධිපති ඔට්ටුකුලමේ පුඤ්ඤානන්ද හිමි ප්‍රකාශ කර සිටින්නේ වසර 10ක් තිස්සේම විහාරස්ථානයේ කිසිදු ඉදිකිරීමකට ඉඩ නැති කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේනතුව නීති පනවා ඇති බවයි. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කිසිම සංවර්ධන කටයුත්තක් ඉටුකර නොතිබීම හා විහාරාධිපති හිමියන්ගේ නායකත්වයෙන් ඉදිකරගෙන ආ නව සංඝාවාස ගොඩනැගිල්ල ද මේවනවිට තහනමට ලක්කර ඇති බව ද උන්වහන්සේ දැන්වීය.

වළගම්බා යුගයෙන් පසු මහනුවර යුගයේ විමලධර්ම සූරිය රජතුමාගේ අවධියේ ලෙන් විහාර දෙකක් පිළිසකර කොට විහාරස්ථානයට පූජා කළ බව සෙල් ලිපියක ද සඳහන් වේ. පසුකාලීනව බු.ව. 2500 සමරමින් අලුත් විහාරයක්ද ඉදිකර තිබුණත් මේ සියල්ල අද ජරාවාස වී පින්තාරු කිරීමකින් කඩතොලු මැකීමකින් තොරව තිබීම බලා සිටිය නොහැකි තත්ත්වයට පත්ව ඇත.

බුද්ධ සාසන අමාත්‍යංශය පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව සමග මෙසේ අභාවයට යන ස්ථාන පිළිසකර කිරීමට පියවර නොගන්නේ සංඝ සාසනය පිළිබඳව යම් කලකිරීමකින්දැයි විහාරාධිපති හිමියෝ විමසති.

පුත්තලම දිසා විශේෂ
ලංසගේ සිරිවර්ධන

නව අදහස දක්වන්න