මුදල් වාර්තා විගණනය වී නැත්නම් මලල ක්‍රීඩා නිලවරණයට බාධා

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ විගණනය කරන ලද මූල්‍ය වාර්තා කලට වේලාවට සියලු සාමාජික සංගම් වෙත ඉදිරිපත් කිරීමට අපොහොසත් වන්නේ නම් නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අවසරය හිමි නොවෙයි. නව ක්‍රීඩා රෙගුලාසි අනුව සෑම ක්‍රීඩා සංගමයක්ම රජයේ විගණකාධිපතිවරයා විසින් විගණනය කරන ලද මූල්‍ය වාර්තා සාමාජිකයන් වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය වන අතර එය මලල ක්‍රීඩා සංගමය ද ක්‍රියාවට නැංවිය යුතු බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගම් නිලවරණයේ නාම යෝජනා පෙරේදා දින ටොරින්ටන් පෙදෙස මලල ක්‍රීඩා සංගම් මූලස්ථානයේදී භාරගෙන නිමාවූවද එහි විගනන වර්තා රජයේ විගණකාධිපතිවරයා මේ වන විටත් අනුමත කොට නැත.

නව ක්‍රීඩා රෙගුලාසි අනුව මුදල් වර්ෂයේ විගණිත මූල්‍ය ප්‍රකාශනයේ සහතික කරන ලද පිටපතක් ඇතුලත් දැනුම්දීමක් වාර්ෂික මහා සභා රැස්වීමට දින හතලිහකට පෙර එහි අනුබද්ධ ක්‍රීඩා සංගම් වෙත දැනුම් දිය යුතුවේ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය මැයි මස 8වැනිදා පැවැත්වීමට දැනටමත් දින තීර්ණය කොට ඇති බැවින් දින හතලිහකට කලින් විගණිත මූල්‍ය ප්‍රකාශය සාමාජිකයින් වෙත යැවීම ප්‍රශ්න සහගතවී ඇත.

එහෙත් නව ක්‍රීඩා රෙගුලාසි ඉදිරිපත් කොට මාස කිහිපයක් පමණක් වන බැවින් අවම වශයෙන් නිලවරණයට දින 14කට පෙර හෝ සාමාජික සංගම් වෙත විගණිත මුදල් වාර්තා ඉදිරිපත් කිරීමට සංගම් ක්‍රියාත්මක වනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශයේ අපේක්ෂාව වී ඇත. මුදල් ගණු දෙනු සම්බන්ධ විනිවිදභාවය ක්‍රීඩා ඇමැතිවරයාගේ දැඩි අවධානයට යොමුව ඇති බැවින් විගණිත මූල්‍ය ප්‍රකාශ නිලවරණයට පෙර අත්‍යාවශ්‍ය කරුණකි.

තවද, විගණනය කරන ලද මූල්‍ය වාර්තා ක්‍රිඩා සංගම්වල සාමාජිකයන්ට නියමිත කලට ඉදිරිපත් නොකොට නිලවරණ පවත්වන ජාතික සංගම්වල ප්‍රධානීන්ට දැඩි දඩුවම් පමුණුවන බවද කල් ඇතිව දැනුම්දී තිබුණි.

විගණන වාර්තා නොමැතිව පැවැත්වූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශය පිළිනොගන්නා බව පසුගියදා ප්‍රකාශ වූ අතර එහි සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික යන නිලධාරීන් තිදෙනාට ජීවිතාන්ත තහනමක් පැනවීමට ද තීරණය විය. එමෙන්ම එම නිලවරණය අධීක්ෂණය කළ නිලධාරීන් තිදෙනකුට ද තහනමක් පැනවීමට තීරණය විය. විගණන වාර්තා ඉදිරිපත් නොකර කැදවූ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ නිලධාරි මණ්ඩලය අවලංගු කොට විශේෂ පරිපාලන කමිටුවක් පත් කිරීමට ඇමැතිවරයා පියවර ගෙන ඇත. එමෙන්ම එම නිලවරණය නැවත පවත්වන ලෙස ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා නියෝග කළේය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ විගණන වාර්තා අනුමත නොවීම පිළිබඳව එහි භාණ්ඩාගාරික ට්‍රොනාඩෝ ජයසුන්දර මහතාගෙන් අප කළ විමසීමකදී පැවැසූවේ අභ්‍යන්තර විගණනයකින් අනතුරුව රජයේ විගණකාධිපතිවරයා වෙත මලල ක්‍රීඩා අය වැය වාර්තා යවා ඇති බවය. මේ මස අගදී එය අනුමත කොට එවනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කළේය. යම් හෙයකින් විගණිත මූල්‍ය වාර්තා නිලවරණයට පෙර නොලැබුණහොත් මලල ක්‍රීඩා නිලවරණය කල් දැමීමට සිදුවනු ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...