ජ්‍යොතිෂ විගඩම් හා සඟිස්කුරුත නාඩගම් | දිනමිණ

ජ්‍යොතිෂ විගඩම් හා සඟිස්කුරුත නාඩගම්

 ශ්‍රී ලංකාවෙ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෝ කියන කට්ටිය ඇද වැටී සිටින පරිහානිය මොන තරම් හාස්‍යජනකද කියා පහු ගිය දවස්වල රූපවාහිනී නාළිකාවල රඟ දක්වපු නාඩගම් නරඹපු ඇස් කන් හා මොළේ කලඳක් හෝ තියෙන ඕනෑම කෙනකුට බෙහොම පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන්. කාලෙක පටන් කරගෙන එන අලුත් අවුරුදු නැකත් පත්තරයේ නැකත් වෙලාවල් ගැන ඒකමතික තිරණයක් ගන්න බැරිවයි මේ නාඩගම රඟ දක්වන්න ඔවුන්ට සිද්ධ වුණේ. සංස්කෘතිය බාර ඇමැතිවරයා වගේම සංස්කෘතික අධ්‍යක්ෂක තුමියත් ඉදිරියේ දිගහැරුණු නැකත් හරඹය මේ දවස්වල හැම රූපවාහිනී නාළිකාවක්ම පාහේ අරක්ගෙන සිටින මෙගා නාට්ටියවල ගොන්පාට් ජෝක් එකකින් වෙනස් වුණේ වෘත්තීය නළු නිළියන් මෙහි පෙනි නොසිටීමෙන් විතරය කියා හිතෙනවා.

අලූත් අවුරුදු නැකත් පිළියෙල කරන්න ඔය කියන නැකත් කමිටුව සංස්කෘතික දෙපාර්තමේන්තුවට රැස් වෙන්නේ සාමාන්‍යයෙන් අලුත් අවුරුදු උදාවට මාස අට නවයකට කලින්. උදාහරණයක් හැටියට කියනවා නම් 2017 වසර සඳහා අවුරුදු නැකත් සකස් කිරීමට මේ නැකැත් කමිටුව රැස් වෙලා තිබුණේ 2016 වසරේ ජුනි මාසයේ. සාමාජිකයන් 31 දෙනකුගෙන් සමන්විත මේ කමිටුව 2017 අලුත් අවුරුදු නැකත් පිළිබඳව එහිදී ඒකමතිකව තීරණයකට එළඹ තිබුණ බවයි මාධ්‍ය වාර්තා අනුව පෙනී යන්නේ. රූපවාහිනී කැමරා හමුවේ ශිල්ප දක්වලා නොමිලේ ඇඩ් එකක් දාගන්න ඕනෑකමක් තිබුණු කිප දෙනෙක් නැකත් ප්‍රකාශයට පත් කරන්න පහුගියදා සංස්කාතික දෙපාර්තමේන්තුවේ පැවැති අවසන් රැස්වීමේදි බාල්දියක් පෙරළුව බව පැහැදිලිවම පෙනෙවා.

රටේ මහජනතාවගෙන් බහුතරයක් අලුත් අවුරුදු නැකත් බලන විවිධ ලිත්වල අවුරුදු ලබන නැකත හැටියට අප්‍රේල් 14වන සිකුරාදා පාන්දර 02.24 දක්වා තිබෙනවා. ඒ වගේම ආහාර පිසීමේ නැකත හැටියට ඒ හැම ලිතකම වාගේ සඳහන් කර තිබෙන්නේ අප්‍රේල් 14වන සිකුරාදා උදෑසන 5.41යි. ආහාර අනුභවය සඳහා සිකුරාදා උදෑසන 7.05 නියම කර තිබෙනවා. ප්‍රශ්නය පැන නැඟුණේ ආහාර පිසීම හා අනුභව කිරීමට කලින් එකඟ වී තිබුණු වෙලාවල් පිළිබඳවයි. මේ විවාදය කෙරම් දුර දිග කියාද කීවොත් ඇතැම් වෙලාවල පාර්ලිමේන්තුවේ දකින්න ලැබෙන ශරීර භාෂාවල් පවා ඉක්ම ගිය තත්ත්වයක් රටේ ජනතාගේ ග්‍රහ අපල දුරු කිරීමට තරම් බලපුළුවන්කාරකමක් තියෙනවාය කියන මේ ශාස්ත්‍රඥයන්ගේ රංගන තුළ දක්නට ලැබුණා. තවදුරටත් මේ නාඩගම් දිහා බලා ඉන්න බැරිව සංස්කෘතික අධ්‍යක්ෂවරිය කියා සිටියේ ‘මේ උදවිය එකට එකතු වී නැකතක්වත් හදාගන්න බැරි පිරිසක් බව රටම දැනගත්’ බවයි. ‘රාජ්‍ය නැකත් කමිටුව සංස්කෘතික දෙපාර්තමේන්තුවට හානියක් ’ කියාත් ඇයට කියන්න සිද්ධ වුණා. ඊට දායක වෙමින් විෂය භාර ඇමැතිවරයා කීවේ පහුගිය කාලයේ ලංකාවේ ජ්‍යොතිෂවේදියෝ හොඳටම පල් වූ බවයි. එතුමා එහිදී සිහිපත් කළේ හිටපු ජනපතිට නැකත් හදපු සුමනදාස උන්නැහැ ගැන වෙන්න ඇති.

මේ අවුරුදු නැකත් කෙළිය අපේ සංස්කෘතික දෙපාර්තමේනතුව ඉල්ලාගෙන කාපු ගේමක් කියලයි තර්කානුකූලව යමක් ගැන හිතන මතන ජනයා නම් කියන්නෙ. සංස්කෘතික අමාත්‍යාංශයක් වැනි රාජ්‍ය ආයතනයකින් ඇත්තටම සිදු විය යුතු දේ තමා සමාජයේ ඉදිරි ගමනට විලංගු දමන අවිද්‍යාත්මක බාධක සමාජයෙන් ඉවත් කිරිමට රුකුල් දීම. නමුත් ජනප්‍රිය දේශපාලන ගොහොරුවක සිර වී සිටින අපේ රටේ දේශපාලනඥයන් අතින් මේ ප්‍රගතිශීලී කාර්යභාරය තවත් අවුරුදු සීයකින්වත් ඉටු වෙයිද කියන එක සැකසහිතයි. අලුත් අවුරුද්ද වගේ සමස්ත ජනතාවටම ඉතා සංවේදී සංසිද්ධියකදී විද්‍යාවේ හෝ තර්කයේ මිනුම් දඬු පමණක් හරස් කර එකපාරටම අංශක 180කින් ජන මනස ආපස්සට කරකවන්න බැරි බව ඇත්ත. ඒකත් හරියටම ආගමික විශ්වාසයකට අභියෝග කරනවා වගේ තීරණාත්මක වැඩක්. නමුත් ආණ්ඩුවකට පුළුවන් හඳහන්, ලග්න, නැකත් හා පොරොන්දම් වැනි දේවල් විශ්වාස කරන උදවියට

ඒ විශ්වාස මත වැඩ කරන්න හැරලා රටේ වෙනත් වැඩදායි සමාජ සංස්කාතික කාර්යයකට අර වගේ වැඩ සඳහා වැය වන ධනය හා සම්පත් වැය කරන්න. දැන් වෙලා තියෙන්නේ ආණ්ඩුවම අවිද්‍යාව හා මිථ්‍යාව කරේ තියාගෙන යන තත්වයක් උදා වී තිබීමයි.

පහුගිය ජුනි මාසයේ පැවැති නැකත් කමිටුවේ රැස්වීමට නිරික්ෂකයකු හැටියට සහභාගි වුණ තාරකා විද්‍යාඥයකු වන ආචාර්ය කාවන් රත්නතුංගෙන් මම විමසා සිටියා ඇත්තටම අලුත් අවුරුදු නැකත්වල කිසියම් විද්‍යාත්මක පදනමක් තියෙනවාද කියා. ආචාර්යවරයා මට මෙහෙම පිළිතුරු දුන්නා. ‘ මේ නැකත්වල කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ. මහසෙන් රජතුමාගේ අභිෂේකය සිද්ධ වුණ ක්‍රි.ව.282 මාර්තු 21වැනිදා ඉර හරියටම ඊසාන දිසාවෙන් නැ‍ඟෙන විට තිබුණු ස්ථානය 0 වශයෙන් පදනම් කරගෙනයි ජ්‍යොතිෂවේදියෝ මේ අවුරුදු නැකත් හදලා තියෙන්නේ. නමුත් හැම අවුරුදු 70යි දශම 56කට වරක්ම කාලය දවසකින් ඉදිරියට යන බව විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා. අපි කුඩා කාලයේ අලුත් අවුරුද්ද යෙදුණෙ අප්‍රේල් 12 හා 13ට. දැන් ඒ දවස් 13ට හා 14ට දිග් වෙලා. කාලයේ ඇති වන මේ වෙනස් විම අනුව අනාගතයේදී අලුත් අවුරුද්ද අනිවාර්යෙන්ම වෙසක් මාසයේත් යෙදෙනවා. මේ ක්‍රමය වෙනස් කර සිංහල අවුරුද්ද වෙනුවෙන් ස්ථීර දිනයක් නම් කිරීම වඩාත් ප්‍රායෝගික නැද්ද? හිරු මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කරනවා කියන එකත් විද්‍යාත්මක පදනමකින් තොර හිතලුවක් හැටියට හඳුන්වන්න පුළුවන්. ජ්‍යොතිෂකරුවන් විසින් හදාගෙන තිබෙන මේ පිළිවෙත් නිසාම අලුත් අවුරුදු උත්සවය පවත්වන්න එපා කියලා කවුරු හරි කියනවා නම් ඒක අන්තවාදි කතාවක්. අවුරුදු නැකත් හා සිරිත් විරිත් පිළිගන්න කැමති අයට ඒවා අනුගමනය කරන්න ඉඩ ඇරලා කාටත් පහසු වෙලාවක අලුත් අවුරුදු උත්සවය සතුටෙන් හා විනෝදයෙන් ගත කරන්න අවශ්‍ය පහසුකම් සැලසීමයි රජයක් කළ යුත්තේ. රටක හා සමාජයක ඉදිරි ගමනට බාධා කරන යම් සම්ප්‍රදායන් වෙනස් කරපු රටවල් ලෝකයේ ඕනෑ තරම් තියෙනවා. අපේ අසල්වැසි ඉන්දියාව පවා කාලෝචිත වෙනස් කම් සිදු කර තිබෙන බව අමතක කරන්න නරකයි. දියුණු වන ජාතියක් හැටියට අපි ඒවායෙන් පාඩම් ඉගෙන ගන්න ඕනෑ. නැත්නම් සිද්ධ වෙන්නේ මුළු ලෝකයම ඉදිරියට යද්දී අපි ආපස්සට ගමන් කිරීමයි.’

ආචාර්ය කාවන් වගේම මෙවැනි අදහස් දරන විද්වතුන් රැසක් අපේ රටේ ඉන්නවා. ජනතාව මිථ්‍යාවෙන් මුදාගන්න කියා උදේ හිටන් රෑ වෙනකම් ග්‍රහ පලාපල හා රාහුකාලය වැනි මිථ්‍යාවන් සමාජ මනසට කාවද්දමින් අනාගත පරම්පරාවට අයත් මිල කරන්න බැරි තරම් වටිනා ගුවන් තරංග කාබාසිනියා කරන රූපවාහිනී හා ගුවන් විදුලි නාළිකාවලින් ඉල්ලා සිටීමත් හරියටම ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවාටත් වඩා අසීරු වැඩක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. දැනට ජාතික රූපවාහිනියේ නොයෙක් බාධා මැද පවත්වාගෙන යන ‘යථාරූප’ වැනි වැඩසටහන් තව තවත් අරඹන්න ආණ්ඩුව අඩුම ගානේ රජයේ මාධ්‍යවලටවත් අනුබල දෙන්න ඕනෑ. ඒ වගෙම ජනතාවගේ සංස්කෘතිය නංවන්න කැප වී සිටින සංස්කෘතික අමාත්‍යාංශය කළ යුත්තේ ඔය වගේ ‘අවුරුදු නැකත් කමිටු’ අටවාගෙන ඉතිහාසය ආපස්සට කරකවන්න අනුබල දිම නෙවේ. වැඩිහිටි පරපුර කෝක වෙතත් රට බාරගන්න ඉන්න අනාගත පරපුරවත් මේ මිථ්‍යා ජාලයෙන් ගලවා ගත හැකි වැඩපිළිවෙළක් අරඹන්න අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක අත්වැල් බැඳගැනීම තමා මේ වගේ කාලෙක කළ යුතු දූරදර්ශිම කටයුත්ත. ඒක යල්පැනගිය අවිද්‍යාත්මක මතිමතාන්තර වපුර වපුරා සමාජයම වල්මත් කරමින් තමන්ගෙ බඩගෝස්තරේ රැකගන්න දහම්ගැට ගහන නැකැත්කාරයන්ව පෝෂණය කරනවාට වඩා පින් සිද්ධ වෙන වැඩක් බවත් මතක් කරන්න කැමතියි.

කමල් පෙරේරා
[email protected]

නව අදහස දක්වන්න