මීතොටමුල්ල!

 මීතොටමුල්ල කුණු කන්ද ගැන ද; ඊට අදාළ ඛේදවාචකය ගැන ද තවත් කතා කළ යුතු බොහෝ දේවල් තිබේ. එක අතෙකින් ඛේදවාචකයට හසු වූ ජනපදිකයෝ දේශපාලකයන්ට බැණ වදිමින් හා ඇතැම් වැඩසටහන් අවුල් කරමින් කටයුතු කරති. තවත් අතෙකින් ඇතැම් නිලධාරීහු සිද්ධියට අදාළ වගවීම්වලින් කර ඇර යෑමට වෑයම් කරති. තවත් පිරිසක් දේශපාලන වාසි ලබාගැනීම සඳහා සිද්ධිය පාවිච්චි කරති. දැන් දකින්නට ලැබෙන්නේ සංකීර්ණ තත්ත්වයකි. මේ අතර රජය සහන වැඩසටහන් ක්‍රියාත්මක කරයි. ඒවායින් නිසි ප්‍රයෝජනය ගැනීම සඳහා ජනතාව උනන්දු විය යුතුය.

මෙබඳු සිද්ධියකදී ඛේදවාචකයට මුහුණ දුන් අය කලහකාරී ලෙස හැසිරීම සාමාන්‍ය දෙයක් ලෙස සැලැකිය හැකි ය. එහෙත් එහි නිමාවක් තිබිය යුතු ය. දේශපාලකයන්ට හා නිලධාරීන්ට බැණ වැදීමෙන්, හූ කීමෙන් හා ගල් ප්‍රහාර එල්ල කිරීමෙන් ගැටලුවට විසැඳුම් ලැබෙන්නේ නැත. සියලු දෙනාම සහයෝගයෙන් ක්‍රියා කිරීම කාලෝචිත ය. ඛේදවාචකයට ලක් වූ ජනතාව අතර ද කොටස් දෙකක් සිටිති. එක් කොටසක් පාරම්පරික පදිංචිකාරයෝ ය. අනෙක් කොටස අනවසර පදිංචිකාරයෝ ය. දෙපිරිසට ම එක ම ආකාරයෙන් සලකන්නේ නම්; එහි අයුක්තියක් තිබේ.

කුණු කන්දේ ප්‍රශ්නයට සැලැකිය යුතු ඉතිහාසයක් තිබේ. මුලින් ම මේ ප්‍රදේශයට කුණු බැහැර කරනවිට මෙතරම් විශාල ගෙවල් ප්‍රමාණයක් එහි තිබුණේ නැත. කුණු - කසළ ආශ්‍රිතව පැතිර යන විෂ වායු හා වෙනත් වසංගත රෝග නිසා ප්‍රදේශය හැර ගිය අය ද සිටිති. එහෙත් හැර යනවාට වඩා වැඩි පිරිසක් එහි අලුතින් පදිංචි වූහ. මෙයින් කොටසක් කුණු කන්ද ආශ්‍රිත අපද්‍රව්‍ය එකතුකොට ඉන් ආදායමක් ලබාගත්හ. එබඳු ව්‍යාපාරවල යෙදුණු බොහෝ දෙනා අනවසර පදිංචිකාරයෝ වෙති. මේ අය ම කුණු කන්දට එරෙහි උද්ඝෝෂණවලට ද සහභාගී වී ඇත. මෙබඳු විරෝධතා පහළොවක් හෝ දාහතක් හෝ පවත්වා ඇත.

මීතොටමුල්ල කුණු කන්ද පුත්තලම දිස්ත්‍රික්කයේ සුදුසු ප්‍රදේශයකට ඉවත්කර දැමීම සඳහා වැඩසටහනක් තිබේ. එය ප්‍රමාද වී ඇත්තේ කුණු ප්‍රවාහනය කිරීමට අදාළ ටෙන්ඩරය කල්ගතවීම නිසා ය. එය කාගේ වරදක් නිසා සිදුවූයේ ද යන්න අපට නිශ්චය කළ නොහැකි ය. කෙසේ වුව මීතොටමුල්ලෙන් මේ විශාල කුණු කන්ද ඉවත් වනු ඇත. තීරණයේ වෙනසක් නැතැ’යි අගමැතිවරයා කියා තිබේ. එලෙස ම ඛේදවාචකයට ගොදුරු වූ පවුල්වලට ඉඩම් හා නව නිවාස ලබාදීමට රජය ඉදිරිපත් ව සිටී. කොළඹ නගර සභාව, රජය හා තවත් ආයතන ඒකරාශීව නව නිවාස ඉදිකිරීම සිදු කරනු ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී හෙළිදරව් වී ඇත්තේ ගැටලුවට මුහුණදීම සඳහා අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන ලබාදීමට භාණ්ඩාගාරය සූදානම් බව ය. මුදල් ප්‍රශ්නයක් කර නොගන්නා හැටියට ද ජනාධිපතිවරයා නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. අවතැන් වූ පවුල් දැනට පදිංචි ව සිටිනුයේ පන්සලක හා පාසලකය. මේ අයට හැකි ඉක්මනින් නිවාස ලබාදිය යුතුව තිබේ. අප දන්නා පරිදි; ස්ථිර නිවාස ඉදිවනතෙක්; කුලී නිවාස ලබා ගැනීමට රජයෙන් ප්‍රතිපාදන සපයනු ලැබේ. එය ද විශාල සහනයෙකි. මේ අයුරින් මාස ගණනාවක් සඳහා කුලී ගාස්තු ගෙවීමට ද රජය එකඟ වී ඇත.

නිවාස එකසිය හතළිහක් පමණ අනතුරට පත්වී ඇති බව හෙළිදරව් වී ඇත. මෙසේ අනතුරට ලක් වූ නිවාසවල සැලකිය යුතු පිරිසක් සුන්බුන්වලට ද, කුණු හා පස් තට්ටුවලට ද යට වී සිටිති. මේ වන විට මළ සිරුරු විසි හතක් සොයාගෙන ඇත. තුවාලකරුවෝ ද විශාල පිරිසක් සිටිති. තවදුරටත් මෙහෙයුම් සිදුවන අතර කීදෙනකු පස් යට සිටිත්දැ’යි නිශ්චය කළ නො හැකි ය. එහි අර්ථය වන්නේ සිද්ධියෙන් මියගිය පිරිස තව වැඩිවිය හැකි බව ය. මේ අයගේ ආදාහන කටයුතු සිදු කිරීම ද සන්සුන් ලෙස පැවැත්වීම වැදගත් ය. මේ ඛේදවාචකය වෙනත් දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදාගැනීම අන්තිම වැරැද්දකි.

මේ අර්බුදයට විසැඳුම් සෙවීමේදී අංශ දෙකක් කෙරෙහි සැලැකිල්ල දක්වන්නට සිදු වේ. පළමුවන්න නම්; ඛේදවාචකයට හසු වූ පවුල්වලට හා අවදානම් සහගත පවුල්වලට ස්ථිර නිවාස ලබාදෙන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ය. දෙවන්න නම්; කොළඹ කුණු - කසළ ප්‍රශ්නයට ස්ථාවර විසැඳුමක් සපයා ගැනීම ය. මේ දෙක ම පහසුවෙන් කළ හැකි දේවල් නොවේ. අනතුරුදායක ජනාවාසය එක්කෝ වෙනත් ස්ථානයක ස්ථාපනය කළ යුතුය. ඒ සඳහා අදාළ පවුල්වල සහයෝගය ද තිබිය යුතුය. එම පවුල් වෙනත් ස්ථානයක පදිංචියට අකමැත්තක් දක්වන්නේ නම්; ගැටලුව තවදුරටත් පවතිනු ඇත. දේශපාලනය මීට මැදිහත් නොවන්නේ නම් ගැටලු නිරාකරණය පහසු වනු ඇත.

ජපානයේ අගමැතිවරයා මේ වනවිටත් කණ්ඩායමක් එවා ඇත්තේ තත්ත්වය සොයා බලා වාර්තාවක් ලබා ගැනීමට ය. ජපන් රජය නිත්‍ය ලෙස ම මේ ගැටලුව විසඳාගැනීමේදී අපට ආධාර ලබාදීමටද උපදේශන සැපයීමට ද ඉදිරිපත් වනු ඇත. කුණු කසළ ප්‍රශ්නය විසඳාගැනීම සඳහා ලෝක බැංකුවේ සහයෝගය ලැබෙන්නේ මීට වසර ගණනාවකට පෙර ය. එහෙත් දේශපාලන ව්‍යාපාර ජනතාව කුලප්පුකොට එම වැඩසටහන අසාර්ථක කළ බව අපි කවුරුත් දනිමු. මේ ඛේදවාචකය අලෙවි කිරීමට ද විවිධ දේශපාලකයෝ ඉදිරිපත්ව සිටිති. ඒවා පරාජය කළ යුතු ය. එසේ නොවුණහොත් මෙබඳු ඛේදවාචක ඉදිරියේ ද ඇතිවනු නො වැළැක්විය හැකි ය.

වඩාත් වැදගත් වන්නේ කුණු - කසළ කළමනාකරණය සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වාදීම ය. ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ යුතුය. ත්‍රස්තවාදය පරාජය කළ අපට කුණු - කසළ කළමනාකරණය දුෂ්කර කාර්යයක් නොවනු ඇත. පළමුව අවශ්‍ය වන්නේ අවබෝධයයි. ජනතාව දැනුම්වත් කිරීම මෙහිදී ඉතා වැදගත් ය. අද අප දකින්නේ ස්වදේශිකයා අපේම පරිසරය විනාශ කරන ආකාර‍යක් හා විදේශිකයා අපේ පරිසරය ආරක්ෂා කරන තත්ත්වයකි. නිදසුනක් දක්වතොත් ස්වදේශිකයා ප්ලාස්ටික් වතුර බෝතලය ගෙන වතුර පාවිච්චිකොට බෝතලය පරිසරයට මුදාහරී. විදේශිකයා එය රැගෙන ගොස් නියමිත කුණු බක්කියකට දමයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...