අධ්‍යක්ෂවරු හරිම කුහකයි

සුරංගා රණවක

ඇය සිනමා ක්ෂේත්‍රයට අත්පොත් තබන්නේ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරියක හා රංගන ශිල්පිනියක ලෙසය. චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂණය කළ 'අලිමංකඩ' චිත්‍රපටයෙහි 'කමලා' නම් එල්.ටි.ටි.ඊ කාන්තා සෙබළියගේ චරිතයට පණපොවමින් ප්‍රේක්ෂක සිත් පැහැරගන්නා ඇය අනතුරුව ධර්මසිරි බණ්‌ඩාරනායකගේ ට්‍රෝජන් කාන්තාවෝ වේදිකා නාට්‍යයත් සමග සම්බන්ධවන්නීය.'මීදුම් අම්මා' (ටෙලි නාට්‍යය), 'ආදරණීය කතාවක්', 'ප්‍රේමය නම්', 'සුළඟ ගිණි අරන්', සිනමාපට තුළින් සිනමාත්මක ඉංගිතයන් මොනවට නිරූපණය කරමින් සිය නිසග රංග පෞර්ෂය විදාරණය කළාය. ඇය “සුළඟ අප රැගෙනයාවි” “නූනි” (ද්‍රවිඩ චිත්‍රපටයකි) “රස්තියාදු වලාකුළු” හා 'මධුර චාරිකා' චිත්‍රපටවලින් අප අභිමුවට පැමිණීමට නියමිතය. ඕ නමින් සුරංගා රණවකය. මේ ඉඩ ඈ වෙනුවෙනි,

ඔබ රංගනයෙන් දායකවන චිත්‍රපට දෙකක්ම මේ වන විට තිරගත වෙමින් තිබෙනවා. මේ දෙක දෙවිදියක සිනමා අඛ්‍යාන. කොහොමද ඔබ මේ දෙක විග්‍රහ කරගන්නෙ.

'ප්‍රේමය නම්' සහ 'සුළඟ ගිණි අරන්' චිත්‍රපට තිරගත වීම පිළිබඳව නිළියක් විදියට ලොකු සතුටක් දැනෙනවා. නමුත් අපි මේ චිත්‍රපට නිර්මාණය කරලා අවුරුදු ගණනාවක් බලාගෙන හිටියා. දැන් තමයි මේවා ප්‍රේක්ෂකයින් අතරට එන්නේ. දැන් හරි මේ චිත්‍රපට නිදහස් වෙච්ච එක ගැන හරිම සතුටුයි. වාරණයකින් තොරව මෙම චිත්‍රපටය මුදාහැරිය හැකි පසුභිමක් ගොඩනැගී තිබීම සිනමා කර්මාන්තය පැත්තෙන් සුභ ලකුණක්. නමුත් මේ චිත්‍රපට දෙක ගත්තොත් එකක් පවුලේ කාටත් එකට රසවිඳිය හැකි චිත්‍රපටයක් වන අතරම, අනෙක වැඩිහිටියන්ට පමණයි කියන මුද්‍රාව යටතෙයි නිදහස් වන්නේ. අනෙක් පැත්තෙන් මේ චිත්‍රපට දෙකම එකම සිනමා ශාලවකදී නැරඹීමේ හැකියාව ලබා දී තිබෙනවා. මේ හේතුව නිසා සුළඟ ගිණි අරන් චිත්‍රපටයේ චරිතය ඉස්මත්තට පැමිණීමෙන් ප්‍රේමය නම් චිත්‍රපටයේ මා කළ චරිතය වාරණයට ලක්වුණා. උදාහරණයකට ප්‍රේමය නම් චිත්‍රපටයේ මා කළ චරිතයට ඇගයීමක් ලෙස මට ලබාදී තිබුණු සියලු වැඩසටහන්වලින් මාව ඉවත් කෙරුණා. මං දන්නේ නැහැ එහෙම කිරීම කොයිතරම් සාධාරණද කියන කාරනාව. නමුත් විමුක්තිගේ චිත්‍රපට තිරගත වීමත් සමඟ මගෙන් ඒ අවස්ථාව උදුරාගනු ලැබුවා. ඒ නිසා තමන් සිනමාව තුළ කුමක් කතා කළත් මේ නවක සිනමා කරුවන්ගේ ඇත්ත ජීවිතය තුළ මොකක්දො අඩුවක් තියෙනව කියලයි මට නම් හැඟෙන්නේ.

ඔබ කිසියම් ද්වේෂයකින්ද මේ කතාව කියන්නේ.

අපෝ නැහැ. මම එවැනි කෙනෙක් නෙමෙයි. මම කාටවත් වැරැද්දක් කියනව නෙමෙයි. අප අතර දැඩි හිතවත් කම් කොච්චර තිබුණත් සිනමා කරුවන් කොයිතරම් කුහකද කියන කාරණා ව මෙවැනි හැසිරීම් තුළින් දැනෙන්න පටන් ගන්නවා. විමුක්ති කියන්නේ මුලු ලෝකයම පිළිගත්ත සිනමාකරුවෙක්. එතකොට එයාගෙ චිත්‍රපටයක මම ඉන්න එක නවක සිනමා කරුවෙකු සතුටට පත්වෙන්න ඕනනේ. නමුත් එහෙම නෙමෙයි වෙන්නේ. Òවැඩිහිටියකුට අවස්ථාව දෙන්න ඕන නිසා අහවල් වැඩසටහනින් ඔයාව අයින් කළා කියන එක මට නොදැනෙන්න මම බබෙක් නෙමෙයි. මං හරිම සවිඥානිකයි. මම දැනගෙනයි වැඩ කරන්නේ. මම රංගනයට එන්නේ අත්වැරදීමකින් නෙවෙයි. තමන්ගෙ චිත්‍රපටය ජනප්‍රිය වුණාම එකෙන් හිස උදුම්මගෙන මාව නිළියක් විදියට කියවගන්න බැරි නම් මොකක්ද ඒ අධ්‍යක්ෂකවරයගෙ චින්තනය.

ප්‍රේමය නම් චිත්‍රපටය නිර්මාණය කරද්දි ඔබ ලබපු අත්දැකීම මොන වගේද?

ඇත්තෙන්ම මේ චිත්‍රපටය මුදල් මූලික කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක් නෙමෙයි. ඇත්තටම ඔවුන් සතුව විශාල මුදලක් තිබුණේ නැහැ. අපි යාළුමිත්‍රකම් උඩතමයි මේ සිනමා නිර්මාණය එළියට ආවේ. මම ඇතුළු බොහෝ දෙනෙක් අතින් වියදම් කරගෙන මහත් කැපවීමකින් මේ චිත්‍රපටය අවසාන මොහොත දක්වාම කටයුතු කළා. මම හරිම ආසාවෙන් ඒ කටයුතු කළේ. මඟවියදම් පවා අතින් දරාගෙන ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළා. මම ඒ තරම් ඒ චිත්‍රපටයට ආදරෙයි. ඒ චිත්‍රපටය නිර්මාණය කළ දෙන්නම මගේ හොඳ මිත්‍රයින්. ඔවුන් සිනමාව පිළිබඳව හැදෑරීමක් සහිතව කටයුතු කළ අය. මේ චිත්‍රපටය ලංකාවේ තිරගත වෙනකම්ම අපි ඉතාම සමීපව කටයුතු කළා. චිත්‍රපට උළෙලවල්වලට සහභාගිවුණා. ඒ කාලය පිළිබඳව මතක් වෙද්දි තවමත් සතුටුයි.නමුත් ප්‍රේමය නම් චිත්‍රපටය ලංකාවේ තිරගත වුණායින් පසුව ඒ අයට මාව අමතක වුණා.

'සුළඟ ගිණි අරන්' චිත්‍රපටය ගැනත් පැවසුවොත්?

ඒ චිත්‍රපටයත් අර විදියටම කරපු චිත්‍රපටයක්. විමුක්ති මෙ සිනමා පටය ලියන කාලයේ ඉඳන්ම අපි යාළුවො විදියට එකට වැඩ කළා. විමුක්තිට මුදල් තිබුණෙත් නැහැ ලොකුවට වියදම් කරලා මේ චිත්‍රපටය කරන්න. ප්‍රේමය නම් චිත්‍රපටයට කලින් මම විමුක්තිගේ චිත්‍රපටයේ රඟපෑවේ. සුළඟ ගිණි අරන් කියනනේ මම ආසම චිත්‍රපටයක්. විමුක්තිත් එක්ක වැඩ කරන්න මම ආසයි. මොකද ඔහු තුළ තිබෙන දැනුම, විනය, ශික්ෂණය, ඒ තුළ ගොඩක් දේවල් අපි ඉගෙන ගන්නවා. අපිට හිතෙන්නේ ආත්මාර්ථකාමී චරිතයක් මොනාද මේ හදන්නේ. මොනාද මේ කරන්නේ කියලා. නුමුත් ඔහු සමඟ වැඩ කරද්දි තෙරෙනවා මේ තමන්ට ලැබුණු හොඳ ආයොජනයක් කියලා. මම ඒ චිත්‍රපටයේ ඉතාම සුළු කාලයක් තුළ පමණයි රැඳෙන්නේ. නමුත් මම විමුක්තිගෙ චිත්‍රපටය එක්ක මේ මොහොත දක්වාම ඉන්නවා. මොකද විමුක්තිගේ චිත්‍රපටයත් තිරගත වුණා කියලා විමුක්ති වෙනස් වුණේ නැහැ. විමුක්ති විමුක්තිම තමයි. ඔහු අදටත් චිත්‍රපටයේ කටයුත්තකට සහභාගිවෙන්න බැරි නම් මාව ඒසඳහා යවනවා. මගේ කැපකිරීම ගැන ගෞරවයෙන් කතා කරනවා. ඒක සුලු කොට තකමින ඔහු කටයුතු කරන්නේ නැහැ. ඔහුගෙත් අනෙක් අයගෙත් තියෙන වෙනස ඒකයි. ඔහු නිර්මාණය ජනප්‍රිය වුණා කියලා හෝ ජාත්‍යන්තරව ඇගයීමට ලක්වුණා කියලා හිස උදුම්මවා ගන්නේ නැහැ. ඒවගේම විමුක්තිගේ චිත්‍රපටයේ තුළ තිබෙන සිනමාත්මක දෘෂ්ටිය විමුකතිගේ ජීවිතය තුළත් මම දකිනවා.

ලංකාවේ බොහෝ චිත්‍රපට නිළියන්සිනමාව තුළ ලංගික දර්ශනවලට පෙනී ඉඳීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වනවිට ඒ භූමිකාව වෙනුවෙන් වගවීමක් දක්වන්න මැලිවෙනවා.

මම යම් චරිතයක් නිරූපණය කළා නම් ඒක කරේ මම. ඒදේ මම ඉතාම හොඳින් දැනුවත්ව කරපු කාර්යයක්. තමන් තුළ ඒ පිළිබඳව කියවීමක් වගවීමක් තිබෙන්නට ඕන. නමුත් සිනමාව තුළ කෙනෙක් යම් චරිතයක් නිරූපණය කළාම එය සිනමාත්මකව කියවනවා මිසක් ඒක ඒ කෙනාගෙ පුද්ගලික ජීවිතයට අදාළ කරගෙන හිතනව නම් ඒක වැරදියි. ලංකාවේ ඒ වගේ හිතන මිනිස්සු කොට්ඨාශයකුත් ඉන්නවා. මං ඒවගේ අය බොහෝම පිළිකුලෙන් යුතුව අත්හරිනවා. මේ චිත්‍රපටය රූගත කළේ මීට වසර දහයකට පමණ පෙර නමුත් පෙන්වන්නෙ දැන්. ඒ කාලය තුළ අපේ ජීවිතත් ගොඩක් වෙනස් කම්වලට ලක්වෙලා. මට දුවෙක් ඉන්නවා. විමුක්ති මගෙන් ඇහුව්වා සුරංගා ඔයාට මේ චිත්‍රපටය පෙන්වන එක ගැටලුවක් නම් මම ඒ කොටස් චිත්‍රපයෙන් ඉවත් කරන්නම් කියලා. නමුත් ඒ දර්ශන ඉවත් කළොත් මොකක්ද ඒ චිත්‍රපටය. මම කිවුවා කමක් නැහැ ඔයා කිසිම දෙයක් කපන්න එපා පෙන්නන්න. ඒ පෙන්නුවට පස්සේ සමාජය තුළ කතාබහක් ඇති වුණොත් ඒ වෙලාවට ඒ වෙනුවෙන් මමයි උත්තර දෙන්නේ. ඒ වෙනුවෙන් වෙනත් කවුරුවත් යොමු කරන්න එපා කියලා. විමුක්ති ඒ වෙලාවෙ හරිම සතුටට පත්වුණා. නමුත් මේ වෙනකම් මට කිසිම කෙනෙක්ගෙන් වැරදි විදිහෙ වචනයක්වත් අහන්න ලැබුණේ නැහැ. හුඟාක් සාධනීයව බොහොදෙනෙක් මං කළ කැපකිරීම භාරගත්ත බව පෙනුනා. විශේෂයෙන්ම මගේ පියා හා ස්වාමි පුරුෂයා මේ චිත්‍රපටය නරඹලා කරපු අදහස් දැක්වීම් එක්ක මම ගොඩක් ශක්තිමත් වුණා. මොකද මම ජීවත්වෙන්නේ ඒ අය එක්ක නිසා ඒ අයගෙන් මට විරෝධයක් මතු වුණා නම් ඒක එකට ජීවත් වෙන්න අපහසු වෙන්න ඉඩ තිබුණා. නමුත් ඒ අය මාව හොඳින් වටහාගෙන තිබුණ නිසා එවැනි ගැටළුවක් මතු වුණේ නැහැ.

චිත්‍රපටයක් නිර්මාණය කරලා එය ප්‍රදර්ශනය වීමට මත්තෙන් එහි අධ්‍යක්ෂවරයට හෝ එහි රඟපෑ නළුවට හෝ නිළියට සමාජයට මුහුණ දෙන්න බැරිවෙයි කියලා හිතන එක මොනතරම් ඛේදවාචකයක්ද? .

ඔව්. ඒක තමයි අපි මුහුණදෙන යථාර්ථය. ඇත්තටම මගේ දරුවට පාසල් යන්න බැරි තත්ත්වයක් උදාවෙයිදෝ කියන සැකය පවා අපිට ඇති වුණා. මොකද අම්මට ඒඩ්ස් කියලා ළමයව පාසලෙන් නෙරපන රටක් මේක. මනුෂ්‍ය ආකල්පවලින් හීන ජනතාවක් අද ඉන්නේ. ඒ නිසා අපට කටයුතු කරන්න වෙන්නේ ඒ හැමදේකටම මුහුණ දෙන්න බලාගෙන. ඒ අභියෝගය මම භාරගත්තේ කොයි අතට පත්වෙයිද කියන දෙගිඩියාවෙන්. ඇත්තට ඔබ කිව්වාවගේ එක හරිම ඛේදවාචකයක්. අනික අපි හරිම විනයකින් ඒ විදියට කැමරාව ඉදිරියේ හැසිරෙන්නේ. මම අධ්‍යක්ෂකවරයා කවුද, ඔහු කෙවැනි පුද්ගලයෙක් ද, ඔහු තුළ විනයක් ශික්ෂණයක් තිබෙනවද යන්න සොයා බලනවා. විමුක්ති කියන්නෙ එවැනි අධ්‍යක්ෂක වරයෙක්. එනිසා මම භය නැතිව ඒ නිර්මාණයට දායක වුණා.

නමුත් 60-70 දශකය අරන් බැලුවොත් අපි දකිනවා මේ දේවල් දිහා විවෘත්ත මනසකින් බලපු සිනමා රසිකයෙක් හිටියා.නමුත් අද තත්ත්වය හාත්පසින්ම වෙනස්. කොහොමද මෙහෙම වුණේ?

මේක සම්පුර්ණයෙන්ම දේශපාලන නිසා මතුවුණු ප්‍රශ්නයක්. දේශපාලනය හරහා මතවාදය හදල තමයි චිත්‍රපටය නිදහස් කරන්නේ. අසෝක හඳගම, විමුක්ති ජයසුන්දර වැනි මේ රටේ පෙරටුගාමී සිනමාකරුවන්ගෙ නිර්මාණවලට ඒ ඉරණම අත්වෙන හැටි අපි ඇස්පනාපිටම දැක්කා. හැටේ හැත්තෑව දශකය අරන් බැලුවොත් උගත් බුද්ධිමත් නායකත්වයක් මේ රටේ තිබුණා. රටකට නිවැරදි නායකත්වයක් නොලැබුණාම වෙන දේ තමයි අපි දකින්නේ. රජා අනුව තමයි මිනිස්සුන්ගේ මානසිකත්වය තීරණය වෙන්නේ. ඒ කාලෙ පැවතුණේ රජා මමයි මානසිකත්වයක්නෙ. නමුත් දහජරා වැඩ කරන ඔක්කොම රජ සළුපිළි ඇඳගෙන මුතුමාල දාගෙන දේව උත්තමාවියෝබවට පත්වෙනවා. අන්තිමට බැලුවම රජ අනින් තමයි සියල්ල ක්‍රියාත්මක වන්නේ.

සංවාද සටහන
රසික කොටුදුරගේ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...