කුණුවලට යටවීම

අලුත් අවුරුදු සමයේ අපට අසන්නට හා දකින්නට ලැබුණු බරපතළ ඛේදවාචකය වන්නේ මීතොටමුල්ල කුණු කන්ද නායයෑමට ලක්වීමයි. මේ වන විටත් ජීවිත විසි ගණනක් අහිමි වී ඇත. සුන්බුන් අතර තවත් මිනිස් ජීවිත කීයක් තිබේදැ‘යි නිශ්චිතව ම කිව නොහැකිය. සුන් බුන් අස්කිරීම හා ජීවිත සෙවීම තවම සිදු වේ. නිවාස එකසිය ගණනක් අනතුරට ලක් වී ඇත. තවත් නිවාස එකසිය ගණනක් අවදානම් තත්ත්වයේ පවතී. නාය යෑම සිදුවීමට සතියකට පමණ පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාරිසරික ඉංජිනේරුවරයෙක් මේ ගැන අනතුරු අඟවා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කළේ ය. එහි සඳහන් වූයේ මීතොටමුල්ල කුණු කන්ද නාය යාමට ආසන්න තත්ත්වයේ පවතින බවය.

ඉහත ප්‍රකාශය ගැන කිසිවකුගේ සැළකිල්ල යොමු වී නැත. ඉංජිනේරුවරයාගේ තර්කය වූයේ වර්ෂාවත් සමඟ කන්දේ බර වැඩි වී තෙරපුමක් ඇති විය හැකි බවය. දෙවනුව කන්දෙන් පොළොවට උරා ගන්නා ජලය භූ-ගර්භය ඔස්සේ නිවාස පේළිය ඇති පැත්තට ගලා යා හැකි බවය. ඒ ඔස්සේ නිවාස යම් කම්පනයකට ලක් විය හැකි අතර අනෙක් පැත්තෙන් කුණු කන්ද නාය යෑමකට ලක්විය හැකි බව ය.

මේ ක්‍රියාවන් දෙකම සිදු විය. ඉදිරියේ දී තවදුරටත් මේ විපැත්තියම සිදු වන්නටත් පුළුවන. මීතොටමුල්ල කුණු කන්ද අක්කර විස්සක් පුරා ව්‍යාප්ත වන කෘත්‍රිම කන්දකි. ඒ මඟින් වාතයට මුදා හැරෙන විෂ වායු ද තිබේ. කෙසේ වුව මේ කන්ද පාමුල පමණක් පවුල් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් ජීවත් වෙති.

කුණු කන්දකට ජනාවාසයක් යට වී බරපතළ විනාශයක් සිදු වීම යනු හැම අතකින්ම ප්‍රශ්න කළ යුතු සාධකයෙකි. රටේ සංවර්ධනය, තාක්ෂණ දියුණුව, නගර සංවර්ධනය, කසළ කළමනාකරණය යන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ යළි සළකා බලන්නට මේ සිදුවීම හේතු - සාධක වනු ඇත. දේශපාලකයන් මෙන්ම විශේෂඥයන් ද මහා නාගරික සැළසුම් පිළිබඳ සුරංගනා කතා අප හමුවේ තබන‘මුත් කොළඹ නගරයේ මූලික ප්‍රශ්නයට විසැඳුම් ලැබී නැති බව මින් පහැදිලි වේ. දේශපාලකයන් මූලික ගැටලුව විසැඳීම පමා කරමින්, වෙනත් අලංකරණ ව්‍යාපෘති ආරම්භ කරන බවක් පෙනෙන්නට තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනය ලක්ෂ විස්සකට වැඩි ය. නාගරික බල ප්‍රදේශයට අයත් ජනගහනය ලක්ෂ හතකට ආසන්නය.

කොළඹ නගරයට දිනපතාම පාහේ කඩා වදින ජනතාවගේ ප්‍රමාණය ලක්ෂ දහයකට වැඩි ය. තදබදය කොතෙක්දැ‘යි ඉන් පැහැදිලි කර ගත හැකිය. මේ සියල්ලගේ ම ගැටලුවක් හැටියට ද රටේ ජාතික ගැටලුවක් හැටියට ද කොළඹ කුණු ප්‍රශ්නය හඳුන්වා දීම නිවැරැදි ය. කොළඹ නාගරික ප්‍රදේශයෙන් පමණක් දිනකට ගොඩ ගැසෙන කසළ ප්‍රමාණය ටොන් 760 ක ට වැඩි ය. එකතුවන ප්ලාස්ටික් හා පොලිතීන් ප්‍රමාණය කි.ග්‍රෑ. 50,000 ක් පමණ වේ. මේ සියල්ල ගොඩ ගැසෙන්නේ මීතොටමුල්ල කුණු කන්ද තුළ ය. කුණු කන්ද ගැන කතා කරන්නේ දීර්ඝ කාලයක සිට ය. එහෙත් ඒ සංවාද, සාකච්ඡා හා සම්මන්ත්‍රණ අවසන් වී ඇත්තේ සාධනීය විසැඳුමකින් තොරවය. අන්තිමේ මේ කුණු කන්ද ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. එහෙත් එහි ආරම්භය ගැනීමට පෙර කන්ද නාය ගියේ ය.

කොළඹ කැළි-කසළ ප්‍රශ්නය ආරම්භ වී වසර විස්සකට වැඩි කාලයක් ගත වී ඇතැ‘යි සිතන්නට පුළුවන. උද්ඝෝෂණ, නඩු විභාග, විරෝධතා, උපවාස මේ වෙනුවෙන් පවත්වා ඇත. කොළඹ දේශපාලකයන් ගැටලුව විසඳන බවට අනන්තවත් පොරොන්දු දී ඇත. ගැටලුව එතැනම ය. එක්කෝ කුණු කන්ද ඉවත් කළ යුතු ය. නැතහොත් ජනතාව මේ ප්‍රදේශයෙන් ඉවත් විය යුතු ය. වන්දි හා ඉඩම් ලබා දී ජනාවාසය වෙනත් තැනෙක ස්ථාපනය කිරීමට උත්සාහ කළ ද එය සාර්ථක වී නැත. ප්‍රදේශයේ ජනතාවගේ අදහස වන්නේ පරම්පරා පහක් තිස්සේ තමන් පදිංචි වී සිටින ස්ථානයෙන් ඉවත් වීම කළ නොහැකි බව ය. තර්කයක් ලෙස ගත් කල කුණු කන්ද ළඟ ජනතාව පදිංචි වූයේ නැත. ජනතාව පදිංචි වූ තැනට කුණු කන්ද පැමිණ තිබේ. එහෙත් මීට පෙර කොම්පඤ්ඤවීදියේ පාරම්පරික නිවාස බලහත්කාරයෙන් බුල්ඩෝසර් කරන විට ජනතාව මේ තරම් හයියෙන් විරෝධතා දැක් වූ බවක් අපට මතක නැත.

කුණු - කසළ ප්‍රශ්නය නගරයට පමණක් සීමා වන්නේ නැත. මේ වන විට බොහෝ ග්‍රාමීය ප්‍රදේශවලද කුණු මුල් කොට උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වෙයි. මීට දින කිහිපයකට ඉහත දී මීගහකිවුල ප්‍රාදේශීය සභාවට එබඳු ගැටලුවකට මුහුණ දෙන්නට සිදු විය. ජනතාව විරෝධතාවක් දක්වන්නට වූයේ කළුගහකඳුර ප්‍රදේශයට කුණු දැමීම වහා නැවැත්විය යුතු බවට ය.

පාරවල් හරස් කරමින් වාහන නවත්වමින් උද්ඝෝෂණය පැවැත්විණි. අවසන් ලෙස කුණු ලොරිවලට ආපසු හැරී එන්නට සිදු විය. ගැටලුව වන්නේ මීගහකිවුලේ කුණු බැහැර කරන්නේ කොතැනට ද යන්න ය. මේ ප්‍රශ්නය සෑම පළාතකම පාහේ පවතී. කසළ කළමනාකරණය පිළිබඳ නිශ්චිත වූ ජාතික ප්‍රතිපත්තියක් හා ජාතික වැඩසටහනක් අපට නැත. අප දන්නා පරිදි තායිලන්තයට, පිලිපීනයට, ඉන්දියාවට හා සිංගප්පූරුවට එබඳු ජාතික වැඩසටහනක් තිබේ.

කසළ කළමනාකරණයේ දී ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව පෙනෙයි. එක කසළ වර්ගීකරණය යි. දෙක ඉවත් කිරීමයි. තුන ප්‍රතිචක්‍රීකරණය යි. හතර ප්‍රති - නිෂ්පාදනය යි. අපද්‍රව්‍ය වර්ග පහකට දක්වා තිබේ. ප්ලාස්ටික්, වීදුරු, ලෝහ, කඩදාසි හා ආහාර ද්‍රව්‍ය වශයෙන් ය. එය ජනතාව අතින් ඉටු විය යුතු කාරණයෙකි. එහෙත් කිසිවකු කසළ බෙදා වෙන්කොට ඉවත් කරන්නේ නැත. එය කසළ කළමනාකරණයේ මූලික වැරැද්දකි.

කුණු ඉවත් කිරීම සඳහා ප්‍රදේශ තෝරා ගැනීමේ දී සුදුසු ප්‍රදේශ තෝරාගෙන නැත. සෑම ආයතකයක් ම පහසු හා ඇඟ බේරා ගැනීමේ ක්‍රමයක් අනුගමනය කරන බව පෙනෙන්නට තිබේ. අප දන්නා තරමට ප්‍රතිචක්‍රීයකරණ ව්‍යාපෘති ඇත්තේ පෞද්ගලික අංශය තුළ ය. ප්‍රතිචක්‍රීකරණයට අවශ්‍ය අපද්‍රව්‍ය නොලැබෙන බවට මැසිවිල්ලක් ද තිබේ. ඒ හැරෙන්නට කුණු - කසළ ජාවාරමක් ගැන ද අසන්නට ලැබේ. මීට අදාළ ප්‍රති නිෂ්පාදන සිදු වන්නේ ඉතා අඩුවෙන් ය.

2006 දී එක්තරා විශේෂඥවරියක් කියා තිබුණේ ශ්‍රී ලංකාවේ කුණු ප්‍රශ්නය යුද්ධය තරමටම බලවත් බව ය. යුද්ධය නිමා කරන්නට අපි සමත් වීමු. එහෙත් කුණු ප්‍රශ්නය තවම ජයගෙන නැත. මේ ගැටලුව විසැඳීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුය. එහිදී ජනතාවගේ පැත්තෙන් ද ඉටුවිය යුතු යුතුකම් කොටසක් තිබේ.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...