අලුත් ජීවිතයක්

 බලාපොරොත්තුවක් නැති ජීවිතය ඉදිරියට ගමන් කරන්නේ නැත. එය හරියට රුවලක් නැති ඔරුවක් වැනිය. එබඳු ඔරු මහ මුහුදේ එහෙට මෙහෙට පාවෙයි.සිහින නැති ජීවිතයට ද ගැම්මක් නැත. එය මඩ ගොහොරුවේ සිටවන ලද ඉන්නකට සමානය. ඕනෑම මොහොතක මඩ ගොහොරුවට ම පහත් වෙන්නට පුළුවන. මිනිස් සමාජයට බලාපොරොත්තු අවශ්‍ය වෙයි. එක්තරා මනෝ විද්‍යාඥයෙක් කියා ඇත්තේ සිහින යනු සැලැසුම් බවය. අනාගත සැලැසුම් බවය. සිහින ලෝකයක ජීවත් වීම යනු අපේ ප්‍රස්තෘතයට අදාළ නොවන දෙයක් බවද කාරුණිකව සිහිපත් කළ යුතුය. අපේ අර්ථයෙන් ගත් කල බලාපොරොත්තු හා සිහින මිනිසා ජීවත් කරවයි. ඔහුට ජීවය ලබා දෙයි.

දියුණුවක් අපේක්ෂා කරන පුද්ගලයා තමාගේම සැලැසුමක් මත ක්‍රියා කරයි. ඔහුට ඉලක්ක තිබේ. ඉලක්ක ජය ගත හැකි උපාය මාර්ග ද තිබේ. පවුලක්, සමාජයක්, ජාතියක් හා රටක් ක්‍රියා කළ යුත්තේ ද ඒ අයුරින්ම ය. ජාතියක් වශයෙන් සාමූහික ව සැලැසුම් ක්‍රියාත්මක කරන චීනය අද ලෝකයේ දෙවන ශක්තිමත් ම ආර්ථිකය හිමිකරගෙන සිටී. සැලැසුම් සහගත ව වැඩ කරන මැලේසියාව, දකුණු කොරියාව, තායිවානය, සිංගප්පූරුව වැනි රටවල් සංවර්ධිත තත්ත්වයට පත් ව සිටී. සැලැසුමක් නැති, ඉලක්ක නැති, සාමූහිකත්වය නැති සෝමාලියාව, ඉතියෝපියාව, ඇෆ්ඝනිස්ථානය ලෝකයේ දිළිඳු ම රටවල් ගණයට වැටී තිබේ. මේ වෙනස වටහා ගතහොත් දියුණුවේ මාර්ගය අපට ම සොයා ගත හැකි ය.

ශ්‍රී ලංකාව වසර පන්සිය ගණනක් යටත් විජිතවාදයේ ග්‍රහණයට නතුව සිටියේ ය. එම කාලය තුළ අපේ ස්වයංපෝෂිත ආර්ථිකය මෙන්ම අනන්‍ය සංස්කෘතිය ද විනාශ මුඛයට ගියේ ය. නිදහස පතා කරන ලද අරගල නිමාවට පත්වූයේ පරාජය ළඟා කර දෙමින් ය. නැවත 1948 දේශපාලන නිදහස ලබන විට රට ගොඩනැඟිය හැකි චින්තනයක් හා සැලැසුමක් අපට නොතිබිණි. නිදහස ලැබී වසර හැත්තෑවකට අධික කාලයක් ගෙවී ගොස් ඇති නමුදු ශ්‍රී ලංකාවේ ආර්ථිකය තව ම නියම පීල්ලට වැටී නැත. ජාතියක් වශයෙන් අප සාමූහිකත්වය හා සාමය ළඟා කරගෙන ඇත්තේද නැත. තවම අප සිටිනුයේ විසිරුණු තැනෙක ය. දේශපාලන වශයෙන් ගැඹුරු විභේදන පවතී. පන්ති හා ආගම් වශයෙන් ද , භාෂා හා කුල වශයෙන්ද වෙනත් බෙදීම් පවතී.

ඉහත පූර්විකාව ලියා තබන ලද්දේ අප පසුවන සැබෑ තත්ත්වය නැවත කල්පනාවට ගැනීමක් හැටියට ය. ජනමාධ්‍ය කළ යුත්තේ සත්‍යය වසන් කිරීම නොව; එය විග්‍රහකොට දැක්වීම ය. අපේම වැරැදි ස්වයං විවේචනයකට ලක් කළ හැකිනම්; අපට වෙනස් විය හැකි ය. දියුණුවේ මාර්ග හා සැලැසුම් ද තනා ගත හැකි ය. වෙනස්වීමට මෙන් ම සැලැසුම් සකස් කිරීමට ද හොඳම කාලය අලුත් අවුරුදු සමය යැයි කියන්නට පුළුවන. කට පුරා සුබ අලුත් අවුරුද්දක් වේවා ’යි! ප්‍රාර්ථනා කළ ද අවුරුද්ද සු​බ වන්නේ නැත. අවුරුද්ද මෙන්ම අනාගතය ද සුබ වීමට නම් හරි දේ තෝරාගත යුතුය. හරි දේ ම ක්‍රියාත්මක කළ යුතුය. අවුරුදු සමය ඊට අවශ්‍ය පසුබිම මෙන් ම සාංස්කෘතික ගැම්ම ද ඇති කරයි.

අපේ අර්ථයෙන් ගතහොත් අලුත් අවුරුද්ද යනු සාංස්කෘතික උත්සවයකි. එහි මුල් තැන ලැබෙන්නේ සිරිත් - විරිත් වලට ය. සිරිත් ඉටුකළ යුතුය. විරිත් අත්හළ යුතුය. අලුත් අවුරුදු උත්සවයට ඇතුළත් හොඳ සිරිත් රාශියක් තිබේ. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, කෘතගුණ සැලකීම, කෝන්තර අත්හැරීම හා සමගිය හා සාමූහිකත්වය වර්ධනය කිරීම ඒ අතර ප්‍රධාන වෙයි. වැඩ ඇල්ලීම අවුරුද්ද පුරාවටම බලපාන වැදගත් සාධකයකි. එය අනාගත සැලැසුම්වලට හා ඉලක්කවලට අදාළ ය. ගනුදෙනු කිරීමෙහි අර්ථය ඉපැයීම හා ඉතිරි කිරීම ය. කෘතගුණ සැලකීමෙන් හා පරණ කෝන්තර අත්හැරීමෙන් සාමකාමී සමාජයක් බිහිවෙයි. එය අපගේ අපේක්ෂාව හා බලාපොරොත්තුව වන්නේ ය.

මේ වනවිට අලුත් අවුරුද්ද විකෘති වී ඇත. එහි පැවැති සිරිත් - විරිත් මුල්ලකට ගොස් හරසුන් දේවල් ඉදිරියට පැමිණ ඇත. නිදසුනක් ගතහොත් සෑම අවුරුදු උත්සවයක් පිටුපස ම මත්පැන් තිබේ. අවුරුද්දේ ප්‍රධාන සාධකය මත්පැන් වන තරමට ම එය ප්‍රචලිත වී ඇත. අලුත් අවුරුද්දේ ආගමික සිද්ධස්ථානයකට යන කෙනකු දැකගත හැක්කේ කලාතුරෙකින් ය. එබඳු ස්ථානයකට යන අයද පෙරළා නිවසට එන්නේ බෝතලය අපේක්ෂාවෙන් ය. මේ ක්‍රමය වෙනස් කරගත හැකි නම්; අපට දියුණුවක් ලබා ගත හැකි ය. ඊට හොඳම අවස්ථාව මේ යැයි සිතන්නට පුළුවන. බේබද්දාට මත්පැන් නතර කළ හැකි ය. මසුරාට මසුරුකම අත්හළ හැකි ය. වෛරක්කාරයාට වෛරය අත්හළ හැකි ය. අලසයාට අලසකම අත්හළ හැකි ය. ඊට හොඳම කාලය දැන් පැමිණ තිබේ.

අලුත් අවුරුද්ද වසන්ත සමය ලෙස ද හැඳින්වේ. මේ අස්වනු නෙළා ගත් කාලය යි. ගහකොළ මලින් ද, පලින් ද, බර වී ඇත. සතා -සීපාවා පවා සොම්නසින් කාලය ගෙවනු දැකිය හැකි ය. මේ පරිසරය අපට උත්තේජනයක් සපයා ඇත්තේ අලුත් වීමට ය. අලුත් විය යුත්තේ අනාගතය දෙස බලාගෙන ය. අනාගත අභියෝග රාශියක් අප ඉදිරියෙහි පවතී. ආර්ථිකය, දේශපාලනය, සහජීවනය, ප්‍රජාතන්ත්‍රවාදය යන ක්ෂේත්‍ර ඊට නිදසුන් ය. මේ අභියෝග ජයගැනීම සදහා සාමූහිකව ද, බුද්ධිමත්ව ද, ක්‍රියා කළ හැකි නම් අපට අනාගතයක් තිබේ. එසේ නොවුණහොත් රට එක තැන පල්වෙමින් ඔහේ පවතිනු ඇත. අපගේ අදහස වන්නේ මේ සියල්ල සාධනීය ලෙස වෙනස් කළ හැකි බවය. අවශ්‍ය වන්නේ ඒ සඳහා වූ අධිෂ්ඨානයකි.

අපගේ සහෘද පාඨක ජනතාවට සුබ අලුත් අවුරුද්ධක් වේවා’යි ඉත සිතින් ම පතන අතර එය යථාර්ථයක් බවට පත්වන්නේ ඔබ තුළ සාධනීය වෙනසක් ඇති වුවහොත් පමණකැ’යි ද ලියා තබන්නෙමු.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...