නීර්ණායක!

වෛද්‍ය සභාව වෛද්‍ය පීඨවලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් නිර්ණායක ගණනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඕනෑම වෛද්‍ය පීඨයකට සිසුන් ඇතුළත් කරගැනීමේ අවම සුදුසුකම ලෙස සඳහන් වී ඇත්තේ සම්මාන දෙකක් හා සාමාන්‍ය සාමාර්ථයකි. මෙය වඩාත් පැහැදිලි ව සඳහන් කරන්නේ නම්; අ.පො.ස.උ/පෙ ජීව විද්‍යා විෂය ධාරාවේ වැඩ තුනක් සමත්වීම ද, ඉන් වැඩ දෙකකට සම්මාන ලබා තිබීම ද වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් කර ගැනීමේ අවම සුදුසුකම වේ. වෛද්‍ය සභාව මීට පෙර ද මේ නීර්ණායකය ඉදිරිපත් කර තිබිණි. එහෙත් කිසිවිටෙක මේ සුදුසුකමට රජයේ වෛද්‍ය විද්‍යාලයයකට ඇතුළත් විය නො හැකි ය.

වෛද්‍ය සභාව තවත් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කරයි. එක; වෛද්‍ය පීඨයකට ප්‍රමාණවත් දේශන ශාලා තිබිය යුතු බවය. දෙක; පුස්තකාල පහසුකම් අවශ්‍ය බව ය. තුන; ආචාර්ය මණ්ඩලය සුදුසුකම් ලත් පිරිසකගෙන් ප්‍රමාණවත් පරිදි පරිපූර්ණ විය යුතු බව ය. හතර; වෛද්‍ය පීඨයකට ප්‍රමාණවත් ඇඳන් සහිත රෝහලක් වෙන්කර තැබිය යුතු බව ය. ඊළඟ නිර්ණායකය වන්නේ වෛද්‍ය අධ්‍යයනයට අවශ්‍ය ප්‍රමාණවත් පහසුකම් තිබිය යුතුය යන්න ය. තවත් නීර්ණායකයක් වන්නේ වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට අදාළ සියලු පහසුකම් තිබිය යුතුය යන්න ය. එක අතෙකින් බලනවිට මේවා අමුතු ඉල්ලීම් ද නොවේ.

වෛද්‍ය සභාව පෙන්වා දෙන ලෙස රජයේ වෛද්‍ය පීඨවලට මෙන් ම පෞද්ගලික වෛද්‍ය පීඨවලටද මෙය අදාළය. රජයේ වෛද්‍ය පීඨ අටක් ක්‍රියාත්මක ය. පෞද්ගලික අංශයේ එක වෛද්‍ය පීඨයක් ක්‍රියාත්මක ය. ඊට ද විශාල විරෝධයක් එල්ල වෙමින් පවතී. අප දන්නා පරිදි මේ කියන සියලු පහසුකම් රජයේ වෛද්‍ය පීඨ කිහිපයක ද නැත. ඒ හැරත් නේපාලයෙන්, බංගලිදේශයෙන් හා ඉන්දියාවෙන් වෛද්‍ය උපාධිය ලබාගෙන එන අය කුමන පහසුකම් මත සිය අධ්‍යයන කටයුතු කරගෙන ගියේ ද යන්න දන්නේ ඔවුන් ම පමණි. නේපාලයේ පෞද්ගලික වෛද්‍ය පීඨවල සිසුන් ටකරන් මඩුවල නැවතී සිටින බවක් අප අසා තිබේ.

පිටරට ගොස් වෛද්‍ය උපාධිය හදාරන සිසුන් ඒ සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කරන බව කියති. මුදල කෙසේ වුව අපේ රටේ ද පිරිසක් වෛද්‍ය උපාධිය සඳහා වාර්ෂිකව පිටරට යති. මෙලෙස පිටරටට ඇදී යන විදේශ විනිමය රට තුළ ම රඳවාගත හැකි නම්; එය විශාල ශක්තියකි. ඒ සඳහා කළ යුතු වන්නේ ප්‍රමිතියකින් යුතු පෞද්ගලික වෛද්‍ය පීඨ බිහි කිරීම ය. එහෙත් එය පහසු කටයුත්තක් නොවන්නේ වෛද්‍ය සංගම් හා ශිෂ්‍ය ව්‍යාපාරය ගෙන යන විරෝධතා නිසා ය. දැන් මෙය දේශපාලන ගැටලුවක් බවට පරිවර්තනය වී ඇත්තේ පක්ෂ දේශපාලනය ද විරෝධතාවලට හවුල් වන නිසා ය.

අපේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ගැටලු පවතින්නේ දීර්ඝ කාලයක සිට ය. ඒ අතරින් වෛද්‍ය අධ්‍යාපනයේ ගැටලුව ඔඩු දුවන තත්ත්වයක පවතී. එය මේ වනවිටත් අර්බුදයක් බවට පත්වී ඇත. එක අතෙකින් උසස් පෙළ සමත් වන සියලු දෙනාට විශ්වවිද්‍යාල පහසුකම් සැපයීම දුෂ්කර වී ඇත. තව අතෙකින් විශ්වවිද්‍යාලවලින් පිටවන උපාධිධාරීන්ට රැකියා නැත. අවශ්‍ය පහසුකම් සැපයීමට තරම් ශක්තිමත් ආර්ථිකයක් අපට නැත. එය පිළිගත යුතු සත්‍යයකි. වෙනත් රටවල් පෞද්ගලික අංශයේ සහයෝගය මත පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන පවත්වා ගනිමින් ගැටලුවට ප්‍රායෝගික විසැඳුම් සපයාගෙන ඇත.

ඉන්දියාව පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වැඩිපුරම පවත්වාගෙන යන රට ලෙස ප්‍රකට ය. එහි ධනවත් පවුල්වල දරුවෝ විශාල මුදලක් වැයකොට උපාධි ලබා ගනිති. ඊට විරෝධතාවක් ඒ රටේ නැත. දුප්පත් සිසුහු ශිෂ්‍යත්ව ලබමින් අධ්‍යාපනය කරගෙන යති. උපාධිය සමාන ය. දැනුම හා හැකියාවන් ද සමාන ය. රැකියා සැපයීමේ දී ද වෙනසක් නැත. අප ද යා යුත්තේ එබඳු තැනකට ය. ඉදිරියේ දී මේ ගැටලුව තවත් උග්‍රවනු ඇත. එවිට පෞද්ගලික අංශයේ සහයෝගය ලබාගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇත. පෞද්ගලික අධ්‍යාපනයට විරෝධය දැක්වීම අදට අනුව එක්තරා විහිළුවකි.

රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුහු මේ වනවිට සිය අධ්‍යයන කටයුතුවලින් බැහැර වී සිටිති. සතිපතාම පාහේ විරෝධතා පැවැත්වේ. මේ සෑම විරෝධතාක් ම නිමාවට පත්වන්නේ කඳුළු ගෑස්, බැටන් ප්‍රහාර, ජල ප්‍රහාර ආදියත් සමඟ ය. කිසිම විරෝධතාවක් සාමකාමී නැත. ඇතැම් විරෝධතාකරුවන්ගේ සටන් පාඨ දෙස බලනවිට පෙනී යන්නේ එය රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් බව ය. එක්තරා වෛද්‍ය සංගමයක් කියා ඇත්තේ තව වැඩිකල් යෑමට මත්තෙන් රජය පෙරළා දමන බව ය. ඒ අනුව තීරණය කළ හැක්කේ පවතින විරෝධතා නිදහස් අධ්‍යාපනය උදෙසා ම ක්‍රියාත්මක නො වන බව ය.

අපේ වෛද්‍ය වෘත්තිය තුළ බරපතළ ඒකාධිකාරයක් පවතින බව රහසක් නොවේ. එම ඒකාධිකාරය පවත්වාගෙන යනු ලබන්නෝ බටහිර වෛද්‍යවරුය. එනම්; බටහිර වෛද්‍ය ක්‍රමවේද භාවිත කරනු ලබන්නෝය. තව අතෙකින් වෛද්‍යවරුන්ගේ හිඟයක් ද රටතුළ පවතී. ඇතැම් මූලික රෝහල් වසාදමන තත්ත්වයට පත් වී ඇත්තේ වෛද්‍යවරුන්ගේ හිඟය නිසා ය. මේ තත්ත්වය මත රාජ්‍ය සේවය සඳහා නව වෛද්‍යවරුන් බඳවා ගත යුතුය. ඉල්ලුමට සැපයුම නැත. ඒ අනුව වෛද්‍යවරුන්ගේ චැනල් සේවය තවත් ව්‍යාප්ත වෙයි. ඇතැම් වෛද්‍යවරුන්ගේ ගාස්තුව ඉතා ඉහළ ය.

ශ්‍රී ලංකාව ගතහොත් වෛද්‍ය ශාස්ත්‍රය අතින් ඓතිහාසික රාජ්‍යයකි. රාවණා රජතුමාගේ විශිෂ්ට වෛද්‍යකර්මවලට අභියෝග කළ හැකි වෛද්‍ය ශාස්ත්‍රයක් ලොව කොතැනකවත් නැත. බුද්ධදාස රජතුමා මිනිස් සමාජයට පමණක් නොව; සත්ත්ව සමාජයට පවා නිර්ලෝභීව නොමිලේ ප්‍රතිකාර කළ බව සඳහන් ය. එදා අපේ වෛද්‍ය සේවය ක්‍රියාත්මක වූයේ මනුෂ්‍යත්වය සලකමින් ය. අද අපේ වෛද්‍ය සේවය ක්‍රියාත්මක වන්නේ මුදල මුල්කගෙන ය. තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීම සඳහා නිරන්තරයෙන් වර්ජන කරන අපේ වෛද්‍යවරුන් දෙස බලන විට එය හොඳින් සනාථ වෙයි. වෛද්‍ය සභාව යනු එහිම ප්‍රති නිර්මාණයකි. එම සභාවේ නීර්ණායක වෛද්‍ය අධ්‍යාපනයේ ඇති ගැටලුව තවත් උග්‍ර කරනු ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...