පොලීසියේ භාවනාව...!

 අපේ පොලීසිය එක පැත්තකින් ඍජුව සිට සිය මෙහෙයුම් තරකර ඇති අතර තව පැත්තකින් භාවනා කරන්නට පටන්ගෙන තිබේ. මෙය සංවාදයට ලක්විය යුතු කාරණයක් හැටියට අපට පෙනෙයි. භාවනාවෙන් කෙරෙන්නේ සිත දියුණු කිරීම හා සංසුන් කිරීම යැයි කියන්නට පුළුවන. පොලිස් නිලධාරීන්ගේ සිත දියුණු කිරීම ඉතා වැදගත් ය. දියුණු රටවල පොලිස් නිලධාරීන්ට පාඨමාලා ඔස්සේ මිනිස් මනස ගැනත් මනෝ චිකිත්සක ක්‍රම ගැනත් උගන්වනු ලැබේ. එය අපරාධ පිළිබඳ තොරතුරු ගවේෂණයට ද සාහසික පුද්ගලයන් හඳුනාගැනීමටද යොදාගත හැකි විද්‍යාත්මක ක්‍රමයකි.

පොලිස්පතිවරයාගේ නියමය පරිදි සෑම පොලිස් ස්ථානයක ම පෙ.ව. 8.30 හා 9.00 අතර කාලය භාවනා වැඩසටහන් සඳහා වෙන් කළ යුතු ය. එවිට දිනකට පැය භාගයක් භාවනාව සඳහා වෙන් වෙයි. මේ කාල සීමාව තුළ රාජකාරි අත්හළ යුතු බවට ද, ගේට්ටු වසා දැමිය යුතු බවට ද උපදේශනයක් ලැබී තිබේ. පොලීසියට පැය භාගයක් නිවාඩු ලෙසින් එය හැඳින්විය හැකි ය. අප දන්නා අන්දමට පොලිස් ස්ථානයක් දවසේ පැය විසිහතර තුළ ම විවෘත ව තැබිය යුතු ය. අපරාධ සිදුවන කාලයක් නැත. මහජනයාට දවසේ පැය විසිහතර පුරාම ආරක්ෂාව අවශ්‍ය වේ.

අලුත් තත්ත්වය යටතේ උදෑසන පැය භාගයක් මහජනයා ස්වකීය ආරක්ෂාව සපයා ගත යුතු ය.

සරදියල් ඇල්ලීමට ගිය පොලිස් නිලධාරීන් කිහිප දෙනකුට ම වෙඩි කන්නට සිදු විය. ඒ එක්දහස් අටසිය ගණන්වල ය. එදා අපරාධකාරයන් අද අපරාධකාරයන් මෙන් සූක්ෂ්ම වූයේ නැත. අද වන විට නවීන අවි - ආයුධ දෙපාර්ශ්වය අතර ම තිබේ. ඒ හැරෙන්නට අපරාධ සිදුකරන ක්‍රමවේද මෙන්ම අපරාධ ඇල්ලීම සදහා පොලීසිය යොදන උපාය මාර්ග ද දියුණු ය. එහෙත් අදටත් පොලිස් නිලධාරීහු අපරාධකාරයන් අතින් මිය යති. මෑත කාලයේ එබඳු සිදුවීම් කිහිපයක් ම වාර්තා වී තිබිණි. කොයි අතින් බැලුවත් පොලිස් නිලධාරියා අපරාධකාරයාට වඩා වේගවත් විය යුතු ය. ඊටත් වඩා උපායශීලී විය යුතු ය.

හොංකොංවල සිදුවන දරුණු ගණයේ අපරාධ මෙන් ම එම අපරාධ ඇල්ලීම සඳහා පොලිස් නිලධාරීන් යොදන සූක්ෂ්ම උපාය මාර්ග ඇතුළත් චිත්‍රපට පෙළක් තිබේ. මේ චිත්‍රපට පෙළ සටන්කාමීන් අතර මෙන් ම තරුණ පරපුර අතර ද බෙහෙවින් ජනප්‍රිය ය. එහි එන පොලිස් නිලධාරීහු අපරාධකාරයෝ කැටුව හරි-හරියට ගහ ගනිති. අපරාධකාරයා කරණමක් ගසන විට පොලිස් නිලධාරියා ඊට වඩා හොඳ කරණම් දෙකක් ගසයි. අපරාධකාරයන් නීතියේ රැහැනට හසුකර ගැනීම පහසු නැත. ඒ අපහසු කාර්යය පොලිස් නිලධාරීන් අතින් ඉටුවන්නේ ඔවුන් ඕනෑම දෙයකට මුහුණ දීම සඳහා සූදානමින් සිටින බැවින් ය.

අපරාධකාරයන්ට කතා කළ යුත්තේ කෙසේ ද? ඔවුන්ගෙන් ප්‍රශ්න කළ යුත්තේ කෙසේ ද? ඔවුන්ට සැලැකිය යුත්තේ කෙසේ ද යනු සංකීර්ණ තත්ත්වයකි. කෙනකුට කාරුණිකව කතා කිරීම වැඩදායක ය. තව කෙනකුට කාරුණිකව කතා කිරීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත. පරුෂ වචනයක් දෙකක් නොකියා පහරක් දෙකක් නොදී ඇත්ත හෙළිදරව් කර ගැනීමට අපහසු අපරාධකරයෝ සිටිති. ඒ - ඒ අපරාධකාරයාගේ ස්වභාවයට අනුව සැළකිය යුතු ය. එසේ නොවුණහොත් අපරාධයක සුලමුල සොයාගැනීම අපහසු ය. අත්දැකීම් ඇති පොලිස් නිලධාරියෝ මේ තත්ත්වය හොඳින් දනිති. එය අත්දැකීමෙන් මිස භාවනාවෙන් උගත හැකි ද යනු ප්‍රශ්නයකි.

භාවනානුයෝගී පුද්ගලයා ජීවිතය දෙසත් සමාජ ප්‍රශ්න දෙසත් උපේක්ෂාවෙන් බලන්නේ යැයි සිතන්නට පුළුවන. ඔහුගේ අවසන් ඉලක්කය වන්නේ සිත දියුණුකොට නිවන් මාර්ගය අවබෝධ කරගැනීම ය. එබඳු තැනැත්තා අපරාධ ගැන සෙවීමට හෝ අපරාධකාරයන් ඇල්ලීමට හෝ උනන්දු වන්නේ යැයි සිතිය නොහැකිය. භාවනාව සඳහා නිශ්චිත වේලාවක් නියම කිරීම ද , එම කාලසීමාව තුළ පොලීසිය වසා දැමීම ද සුදුසු දෙයක් යැයි සිතිය නොහැකිය. මෙබඳු දෙයක් ප්‍රචාරය කිරීම ද අනුචිත යැයි කිව හැකි ය. අපරාධකාරයා සිටින්නේ මේ සියල්ල ගැන සෝදිසියෙන් ය. ඔහු ඉහත කාලය අපරාධ සඳහා යොදා ගන්නටත් පුළුවන.

මෙහි තවත් පැත්තක් ඇතැ’යි කෙනකුට තර්ක කරන්නට පුළුවන. සමහර පොලිස් නිලධාරීහු අහිංසක පුද්ගලයන් අපරාධකරුවන් බවට පත් කරති. ඇතැම් සැකකරුවන්ට පොලීසියේ දී මැරෙන තුරු පහර දුන් අවස්ථා ද තිබේ. ආයුධ සෙවීමට ගිය ඇතැම් සැකකරුවන් පුදුම ලෙස මියගිය අවස්ථා ද තිබේ. පොලීසියේ හැසිරීම කෙතරම් අනුචිත ද යත්; ඇතැම් පොලිස් ස්ථානවලට මහජනයා ගල් ගැසූහ. මෙබඳු සිදුවීම්වලින් පෙනී යන්නේ සදාචාරය හා නීතිය ඉක්මවා ඇතැම් පොලිස් නිලධාරීන් ක්‍රියා කරන බව ය. එබඳු අය නිවැරැදි මාර්ගයට ගැනීම සඳහා භාවනාව යොදා ගත හැකි ය. ඒ අර්ථයෙන් ගත් කල භාවනාව අපේ පොලිසියට වැඩදායක ය.

ඉංග්‍රීසිකාරයා ආරම්භ කළ ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුවට වසර එකසිය ගණනක් ගත වී ඇත. එය අපේ ර‍ටේ පැරණිම දෙපාර්තමේන්තුවක් ලෙස සැලැකිය හැකි ය. එදා ඉංග්‍රීසිකාරයාගේ ක්‍රමවේද අනුව ක්‍රියාත්මක වූ පොලීසිය අද අපේ ම ක්‍රමවේද අනුව ක්‍රියාත්මක වෙයි.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම අතින් පොලිස් දෙපාර්තමේන්තුව විශිෂ්ට සේවාවක් ඉටුකර ඇතැ’යි කීම අතිශයෝක්තියක් නොවේ. ගෙවී ගිය කාලය තුළ පොලීසිය නිවාඩු ලබාගත්තේ නම්; මේ රට පවතින්නේ වෙනත් තැනක ය. එහෙත් දියුණු ම රටවල පොලිස් සේවාව සමඟ සසඳන විට අපේ සේවාවෙහි යම් අඩුපාඩු තිබෙන්නට පුළුවන.

කොයි අතින් බැලූව ද පොලිසියට අලුත් මුහුණුවරක් ලබා දෙන්නේ නම්; එය වැදගත් ය. එහිදී කල්පනාවට ගතයුත්තේ බැටන් පොල්ල හා තුවක්කුව පසුපසින් සිටින මිනිසා ගැන ය. ඒ අතින් බලනවිට පොලිස්පති පූජිත ජයසුන්දර මහතා නිය ම නිලය අල්ලා ඇතැ’යි තර්කයක් නඟන්නට පුළුවන. පොලීසිය දියුණුකිරීම යනු ගොඩනැඟිලි හැදීම, නවීන අවි අයුධ ලබාදීම පමණක් නොවේ. වැදගත් ම කාර්යය වන්නේ පොලිස් නිලධාරියා හැදීම ය.

ඒ සඳහා ගනු ලබන තීන්දු තීරණ හැමවිට ම බුද්ධිමත් විය යුතු ය. ඇතැම් පොලිස් ප්‍රධානීන් ප්‍රචාරණය සඳහා අලුත් වැඩසටහන් හඳුන්වා දුන්න ද ඒවායින් දිගුකාලීන ප්‍රතිඵලයක් ලැබුණේ නැත.

භාවනා වැඩසටහන එවැන්නක් නොවිය යුතුය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...