ප්‍රීතිය හා ශෝකය

වාහන පදවන අයට පොලිසිය විසින් අපූරු උපදේශනයක් ලබා දී තිබේ. එනම්; මේ අවුරුදු සමයේ මත්පැන් සාදවලට සහභාගීවන්නේ නම්; අතිරේක රියදුරකු රැගෙන යන ලෙස ය. මීට ව්‍යතිරේකයක් ලෙස බලපත්‍ර හිමි බිරිය ද භාවිත කළ හැකි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. ඒ සමඟම රතු එළියක් නිකුත් කරන පොලිසිය කියා සිටින්නේ හෙට සිට එනම්; අප්‍රේල් 11 දා සිට දිවයින පුරාම මෙහෙයුම් ආරම්භ කරන බව ය. හැදෙන රියදුරකුට මේ උපදේශනය හොඳටම ප්‍රමාණවත් ය. එහෙත් ඒ බීමත්ව රිය පදවන අයට පමණි. රිය අනතුරු සිදුවන තවත් හේතු ගණනාවක් තිබේ.

මීට සතියකට පමණ පෙර කන්ද උඩරටින් බස් රථ අනතුරක් වාර්තා විය. සෙනඟ පුරවාගත් බස් රථය ප්‍රපාතයකට පෙරැළී යාන්තමට බේරී තිබිණි. විසි ගණනක් රෝහල්ගත කරන්නට සිදුවිය. එය ලංගම බස් රථයකි. රියදුරාගේ නොසැලකිල්ල නිසා මේ අනතුර සිදුවී ඇති බව හෙළිදරව් වී ඇත. ඔහු බසය ධාවනය කරන අතර ජංගම දුරකථනයෙන් කතාකර ඇති බව වාර්තාවී තිබේ. බසය ධාවනය වී ඇත්තේ ද සෑහෙන වේගයකිනි. සුක්නාම පාලනය කරගත නොහැකිව මාරක වංගුවේ දී බසය පාරෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළෙන්නට ඇත. පොලිසිය කියා සිටින්නේ ජංගම දුරකථන භාවිතය නිසා ද අනතුරු ඉහළ ගොස් ඇති බව ය.

උසස් පොලිස් නිලධරයකු විසින් මේ තත්ත්වය ඉතා හොඳින් පැහැදිලි කර දී තිබේ. ඔහුට අනුව ජංගම දුරකථන භාවිතය සඳහා ‍ යොදාගනු ලබන්නේ දකුණු අත ය. හෙවත් සුරත ය. සුක්කානම පාලනය සඳහා මූලික වශයෙන් යොදාගනු ලබන්නේ ද දකුණු අත ය. රිය ධාවනය කරන පුද්ගලයා ජංගම දුරකථනය භාවිත කරන විට සුක්කානමෙන් දකුණු අත නිදහස් වෙයි. එවිට රිය පාලනය කිරීම අපහසු ය. මේ ක්‍රමයෙන් බොහෝ අනතුරු සිදුවෙයි. රිය ධාවනය කරමින් ජංගම දුරකථනය භාවිත කිරීම තහනම් වුව එය බහුල ලෙසින් සිදුවෙයි. එය රියදුරන්ගේ මෝස්තරයක් වී ඇතැ’යි කීම වඩා නිවැරැදි ය. කොපමණ දඩ නියම කළ ද; මෝඩ රියදුරන් මේ ක්‍රමය අත්හරින්නේ නැත.

අපට රිය අනතුරු ගැන විශේෂයෙන් කතා කරන්නට සිත් වූයේ අවුරුදු සමයේ රිය අනතුරු සිදුවීමට ඇති නැමියාව ඉතා වැඩි නිසා ය. අවුරුද්දට මත් පැන් සාද වැඩි ය. වාහනත් වැඩි ය. දුරකථන සංවාදවල ප්‍රමාණය ද ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇත. ඒ හැරෙන්නට ධාවන වේගයත් වැඩි ය. කලබලය - තදබදය යන සියල්ලමත් වැඩි ය. මේ අනුව රිය අනතුරුවලට ඇති අවකාශය බෙහෙවින් ඉහළ යනු ඇත. ප්‍රවාහන අමාත්‍යංශය කියන ලෙස අලුත් අවුරුද්දේ ගමන් පහසුව සඳහා අමතර බස් රථ 1000ක් යොදාගෙන ඇත. එම බස් රථ කොළඹ සිට උතුරට, දකුණට හා කන්ද උඩරටට ගමන් කරයි. 10 දා සිට 21 දා දක්වා මේ බස් සේවය පවතී. අපේ මහාමාර්ගවලට තවත් බස් රථ දාහක් යනු සැලැකිය යුතු තත්ත්වයකි.

පොලිසිය අප්‍රේල් 04 දා සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් හෙළිදරව්වක් කර තිබේ. ඊට අනුව පැය 24ක් තුළදී රිය අනතුරු නිසා අටදෙනෙක් මිය ගිය හ. තවත් හතරදෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. මෙය භයානක තත්ත්වයකි. එක් කාන්තාවක මිය ගොස් ඇත්තේ කහ ඉරි මත සිදු වූ අනතුරකින් ය. මේ අනතුරෙන් පෙනී යන්නේ බොහෝ රියදුරන් මාර්ග නීති තුට්ටුවකට නොසලකන බව ය. තවත් අනතුරක් සිදුවී ඇත්තේ රියදුරාට නින්ද යෑම නිසා ය. එය නිදහසට කාරණයක් නොවේ. එයින් පෙනී යන්නේ රියදුරා තම වගකීම පිළිබඳ නොසලකා ඇති බව ය. රියදුරකු අතේ ජීවිත ගණනාවක් තිබේ. අධික තෙහෙට්ටුවෙන් රිය පැදවීම අතිශය භයානක ය.

වැරැදි සිදු කරන රියදුරන් සඳහා බරපතළ දඬුවම් ලබාදීමෙන් රිය අනතුරු අවම කරගත හැකි යැයි මතයක් පවතී. එහෙත් අපේ රටේ දී එය සිදුවන බවක් පෙනෙන්නට නැත. දැන් දඩ මුදල් වැඩි කර ඇත. එහෙත් රිය අනතුරු අඩු වී නැත. පොලිසිය සෘජුව සිටීමෙන් හා මෙහෙයුම් වැඩි කිරීමෙන් රිය අනතුරු අවම කර ගත හැකි යැයි තවත් මතයක් පවතී. අප දන්නා පරිදි පොලිසිය දැන් සෘජුව සිටී. මෙහෙයුම් ද වැඩි කර ඇත. එහෙත් රිය අනතුරු අඩු වූ බවක් පෙනෙන්නට නැත. මෙය රටේ විනය පිළිබඳ ප්‍රශ්නයක් දැ’යි වරෙක අපට සිතේ. අපේ රටේ කිසිම ක්ෂේත්‍රයක විනය ගරුක බවක් නැත. රිය ධාවනයේදී එය කොහොමටවත් නැත.

රියදුරු බලපත්‍රයක් නැතිව වාහනයක් පැදවීම නීති විරෝධී ක්‍රියාවකි. එහෙත් විශාල පිරිසක් බලපත්‍ර නැතිව වාහන පදවති. ඒ අතර පෞද්ගලික බස් රථවල ධාවකයෝ ද සිටිති. අධික වේගය මෙන්ම අපරික්ෂාකාරී ඉස්සර කිරීම් ද අනතුරුවලට හේතුවකි. එහෙත් අපේ රටේ රියදුරෝ මේ වැරැදි දෙක ම බහුල වශයෙන් සිදු කරති. සමහරුන් අධික වේගයෙන් රිය පදවනුයේ මෝස්තරයකට ය. සෙමෙන් පරිස්සමට ගමන් කිරීම මදිකමක් ලෙස ඔව්හු සලකති. ඒ පමණක් නොව; ඇතැම් රියදුරෝ නීතිගරුක ලෙස රිය පදවන අයට බැණ වදිති. මේ ක්‍රමය හා චින්තනය වෙනස් කළ යුතු ය. ඒ සඳහා හොඳම ක්‍රමය සමාජය දැනුම්වත් කිරීම යැයි සිතේ.

වඩා වටින්නේ මිනිස් ජීවිත මිස වාහන නොවේ. සල්ලි ඇතොත්; යකඩ ගොඩවල් මිලට ගත හැකි ය. එහෙත් මිනිස් ජීවිත සල්ලිවලට ගත හැකි නොවේ. කෝටි ගණන් වටිනා වාහනවලට වඩා දුප්පත් මනුෂ්‍ය ජීවිතයක් වටිනාකමින් වැඩි ය. රිය අනතුරුවලින් මිය යන සංඛ්‍යාව සිවිල් යුද්ධයකින් මිය යන සංඛ්‍යාවට වඩා වැඩි බව ශ්‍රී ලංකාව ඔප්පු කර තිබේ. එබැවින් මහ මඟ ත්‍රස්තවාදය ලෙස රිය අනතුරු සලකනු ලැබේ. එහෙත් පුදුමයකට මෙන් මේ ගැන සමාජ‍යේ ඇති අවධානය අඩු ය. මාරක රිය අනතුරක් දකින රියදුරා එයින් කම්පනයට පත් ව සුළු වේලාවක් පරෙස්සමෙන් රිය පදවයි. එහෙත් ඊළඟ පැයේදී ඔහු එය අමතක කරයි.

මේ උත්සව සමයේ රටේ රිය අනතුරු සංඛ්‍යාව ඉහළ යෑමට හොඳට ම ඉඩ තිබේ. එක රියදුරකුට දෙදෙනෙකුට පමණක් මේ අනතුරු වැළැක්විය හැකි නොවේ. පොලිසියට ද එය වැළැක්විය හැකි නොවේ. සමස්තයක් ලෙස මුළු සමාජය ම මේ ගැන අවධානය යොමු කළ යුතු ය. උත්සව අවස්ථා එළඹෙන්නේ ප්‍රීතිවීමට මිස ශෝකවීමට නො වේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...