පර්පචුවල් දඩ මුදලට අර්ජුන් කිසිම බලපෑමක් කළේ නෑ | දිනමිණ

පර්පචුවල් දඩ මුදලට අර්ජුන් කිසිම බලපෑමක් කළේ නෑ

කමනි අල්විස්

පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ දඩ මුදල සම්බන්ධව කිසියම් හෝ බලපෑමක් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිදු නොකළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නිහාල් රංජිත් රොද්‍රිගු මහතා බැඳුම්කර කොමිසම ඉදිරියේ ඊයේ (07) සාක්ෂි දෙමින් පැවසීය.

ඒ සම්බන්ධව නිදහස් තීරණ ගැනීමේ අයිතිය තමාට පැවරූ බවත් සාක්ෂිකරු වැඩිදුරටත් කොමිසම හමුවේ පැවසීය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන සහ නියෝජ්‍ය ‍සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහත්වරුන්ගේ විමසීම් හමුවේ සාක්ෂි දෙමින් සාක්ෂිකරු ඒ බව පැවසීය.

මහේන්ද්‍රන් මහතාට දුරකථනයෙන් කතා කර අදාළ කාරණය දැනුම් දුන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පලිසේන මහතා තමන්ට ඇමතීමෙන් පසුව බවත් සාක්ෂිකරු පැවසීය.

මහ බැංකුවේ සියලුම මූල්‍ය ගනුදෙනු සිදුකරන ලංකාසෙටල් නැමැති විද්‍යුත් ක්‍රමවේදයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව මහේන්ද්‍රන් මහතාට පැහැදිලි කරදුන් අවස්ථාවකදී මහේන්ද්‍රන් මහතා එම කාරණා පිළිගත් බවත් පැවසූ සාක්ෂිකරු ඊට එරෙහිව මහේන්ද්‍රන් මහතා අදහස් පළ නොකළ බවත් පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා සභාපතිත්වය දරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන සහ වී. කන්දසාමි මහත්වරුන්ගෙන් හෙබි බැඳුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් සාක්ෂිකරු ඒ බව පැවසීය.

තවදුරටත් සාක්ෂි දෙමින් සාක්ෂිකරු මෙසේ ද පැවසීය.

අප්‍රේල් 01 වෙනිදා බැඳුම්කර ගනුදෙනුවේ ගෙවීම වන රුපියල් බිලියන එකොළහක මුදල එදින ගෙවීමට පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම අපොහොසත් වී තිබෙන බව මහේන්ද්‍රන් මහතාගේ ජංගම දුරකථනයට කතා කර දැනුම් දුන් බවත් සාක්ෂිකරු පැවසීය.

දැනුම්දීම කළ වහාම මහේන්ද්‍රන් මහතා පැවසුවේ තමාගේ යම් සම්බන්ධයක් අදාළ සමාගම හා තිබෙන බැවින් එයට මැදිහත් නොවන බවයි. එම නිසා නිදහසේ තීරණ ගෙන ඒ අනුව ක්‍රියා කරන ලෙසට ‍මහේන්ද්‍රන් මහතා පැවසූ බවත් සාක්ෂිකරු ප්‍රකාශ කළේය. දුරකථන ඇමතුම ලබාදෙන අවස්ථාවේදී මහේන්ද්‍රන් මහතා සිටියේ යාපනයේ බවත් සාක්ෂිකරු වැඩිදුරටත් පැවසීය.

රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සහීඩා බාරි මහත්මියද සාක්ෂි මෙහෙයවූවාය. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ‍ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ද එම අවස්ථාවට සහභාගී විය. 

නව අදහස දක්වන්න