අපූරු දානයක්!

අප ආහාරයට ගන්නා බොහෝ දේවල්වල ශරීරයට අහිතකර රසායනික ඇති බව ද, සිරුර ලෙඩ කරන විෂබීජ ඇති බව ද කියන්නේ කාලයක සිට ය. එක අතෙකින් පලිබෝධ නාශක නිසා ධාන්‍ය වර්ගවල ද, එළවළු, පලතුරු ආදියෙහි ද රසායනික තැන්පත් වී තිබේ. තව අතෙකින් කෘත්‍රිම ලෙස ආහාර සකස් කිරීමේ දී ඒවාට විෂ එකතු වී තිබේ. මේ අනුව පැණි කොමඩු ගෙඩියක් මිලට ගන්නා තැනැත්තා ද, මයියොක්කා කිලෝවක් මිලට ගන්නා තැනැත්තා ද ඒවා ගැන දෙවරක් සිතන්නට පෙලැඹී සිටිති. අද පවත්නා තත්ත්වයට අනුව වෙළෙඳ පොළෙහි පවතින කිසිදු ආහාර ද්‍රව්‍යයක් ගැන විශ්වාසයක් තැබිය නොහැකි ය.

ඈත අතීතයේ නම් තමන් වවාගෙන තමන්ම ආහාරයට ගන්නා ක්‍රමයක් පැවැතිණි. එදා අ‍පගේ ආර්ථිකය මෙන්ම දිවි - පැවැත්ම ද සරලය. එහෙත් අද වන විට තත්ත්වය වෙනස්ය. සියලු දෙනාට ම වවාගෙන ආහාර භුක්ති විඳීමේ අවකාශයක් නැත. මේ අනුව වෙළෙඳ පොළ කරා යෑමට විශාල පිරිසකට සිදු වී ඇත. එහි ඇති ආහාර ද්‍රව්‍ය හොඳ වේවා නරක වේවා ඒවා මිලට ගැනීමට පාරිභෝගිකයාට සිදු වී ඇත. අද සිදුවිය යුත්තේ ආහාර නිෂ්පාදනය හා ඒවා පිළියෙල කිරීම ප්‍රමිතියකට සිදු කිරීම ය. එහෙත් බොහෝ තැන්වල එය සිදුවන්නේ නැත. ඒ ගැන විමර්ශනය කිරීම ද සිදුවන්නේ කලාතුරෙකින්ය. ජනාධිපතිවරයා මෑතක දී කියා සිටියේ කොළඹ හෝටල්වලින් ආහාර ගන්නේ බලාගෙන යන්න ය.

මීට අදාළ අලුත් ම සිද්ධිය වාර්තා වන්නේ ගම්පොළ වානගමුව ප්‍රදේශයෙන් ය. එම ප්‍රදේශයේ දේවස්ථානයක පැවැති වාර්ෂික සැමරුම් දානයක් භුක්ති විඳි විශාල පිරිසක් ලෙඩ වී සිටිති. රෝහලට ගොස් ප්‍රතිකාර ලබාගත් පිරිස පන්සිය පනහක් බව කියති. මෙයින් එකසිය විස්සක් තවම නේවාසිකව රෝහලේ ප්‍රතිකාර ලබති. දානය භුක්ති විඳි එක් පුරුෂයෙක් මිය ගියේ ය. තවත් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද සඳහන් වේ. මෙය අමතකකර දැමිය හැකි සරල සිදුවීමක් නොවේ. වමනය, පාචනය හා ක්ලාන්තය රෝග ලක්ෂණ ලෙස සඳහන් ය. මෙයින් පැහැදිලි ලෙස ම පෙනී යන්නේ ආහාර සමඟ යම් විෂබීජයක් මුසු වී ඇති බව ය.

මේ දානය සඳහා සහල් කිලෝ දහසක් පමණ උයා ඇති බව දැනගන්නට ලැබේ. එලෙසම ගවයන් හත් දෙනකුගේ මස් ද දානය සඳහා යොදාගෙන තිබේ. දැනට සැක කළ හැක්කේ සහල්වල හෝ මස්වල හෝ විෂබීජය රැඳී තිබෙන්නට ඇති බවය. කරුණු සොයා බලන විට පෙනී යන තවත් වැදගත් සාධකයක් වන්නේ දානයට අදාළ මස් ලබාගත් ගවයන් හත්දෙනාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ අනුමැතියකින් තොරව මරා මස් කර ඇති බව ය. මාංශ සමඟ ඉතා ඉක්මනින් ම විෂබීජ මුසුවෙයි. එලෙසම සතුන්ගේ ශරීර තුළ ද විවිධාකාර විෂබීජ තිබෙන්නට පුළුවන. සතුන් මස් කිරීමේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ අනුමැතිය ලබාගත යුත්තේ එම හේතුව නිසා ය.

දානය පිළියෙල කිරීමේ දී වැරැදි කිහිපයක් සිදුවී ඇති බව බැලූ බැල්මටම පෙනෙයි. එක; අවසරයකින් තොරව ගවයන් මරා මස් කිරීම නීතිමය වැරැද්දකි. මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ අනුමැතිය ලබා නොගැනීම තවත් වැරැද්දකි. දෙක; ආහාර පිසීමේදී ඒවායෙහි සෞඛ්‍යාරක්ෂකභාවය ගැන කල්පනා කර නැති බව පෙනෙයි. තුන විශාල පිරිසක් සඳහා ලබාදෙන දානයෙහි ආහාර ද්‍රව්‍ය ගැන සෝදිසියක් නොකිරීම ය. මේ දානය බැතිමතුන් පන්දහසක් සඳහා සකස් කර තිබූ බවද; දානය පිළිගැන්වීමට පෙර ආහාර පිළිබඳ පරීක්ෂණයක් සිදුකර නැති බව ද දැන ගන්නට ලැබේ. එබඳු පරීක්ෂණයක් පැවැත්වූයේ නම්; මෙතරම් කරදරයක් සිදුවන්නේ නැත.

අප දන්නා පරිදි පාසලක කැන්ටිමේ ආහාර ද්‍රව්‍ය විෂවීමෙන් ශිෂ්‍ය - ශිෂ්‍යාවන් සැලකිය යුතු පිරිසක රෝහල්ගත කර වැඩි කාලයක් ගත වී නැත. ඇඟලුම් කම්හල් කිහිපයක සේවක -සේවිකාවන් විශාල පිරිසකද මීට පෙර රෝහල්ගත කර තිබුණේ ආහාර විෂ වීමකින් ය. ඇඟලුම් කම්හල් සේවක- සේවිකාවන් නිතර - නිතර මේ ගැටලුවට මුහුණ දෙන බව වාර්තා වී ඇත. එහෙත් විසැඳුමක් ලැබී ඇති බවක් පෙනෙන්නට නැත. කැන්ටින්කරුවන්, ව්‍යාපාරිකයන්, මෙන්ම සමාගම්කාරයන් ද අපේක්ෂා කරනුයේ අධික ලාභය මිස මහජනයාගේ සුවතාව නොවේ. ඔවුන් ඕඩරයකට කෑම සපයනු විනා පින් තකා කෑම පාර්සල් අලෙවි කරන්නේ නැත. එය තනිකරම වෙළෙඳාමකි. කෑම වෙළෙඳාමකි.

ජාතික ආහාර ප්‍රතිපත්තියක් පවත්වාගත යුතු යැයි යෝජනාවක් මීට ටික කලකට පෙර ඉදිරිපත් විය. එම යෝජනාව නියෝජනය කළෝ දේශපාලකයෝ හා බුද්ධිමත්හු ය. ඒ පිළිබඳ දීර්ඝ සංවාද ඇති වුව ක්‍රියාත්මක වැඩසටහනක් ආරම්භ වූයේ නැත. බොහෝ රටවල් එබඳු ආහාර ප්‍රතිපත්ති අනුගමනය කරන බව සත්‍යයෙකි. ඊට අදාළ ආහාර සකසා ගනු ලබන්නේ රටේ දේශගුණයට, සංස්කෘතියට හා මිනිසාගේ වැඩ කිරීමේ රටාවට අනුවය. වස - විෂෙන් තොර එබඳු ආහාර රටාවක් ඇති කරගත හැකිනම්; එය රටේ සංවර්ධනයට ද තල්ලුවක් වනු ඇත. කොරියානුවෝ දිනකට පැය දොළහක් පමණ වැඩ කරති. කොන්දේ අමාරු, දණහිස් අමාරු කොරියානුවන් අතර ඉතා අඩුය. ඊට හේතුව ඔවුන්ගේ ආහාර රටාව ය.

කොරියානුවන් සෑම ලෙඩකටම බෙහෙත් පෙති ගිල දමන්නේ නැත. එන්නත් පාවිච්චි කරන්නේ ද කලාතුරෙකින්ය. ඔවුන්ගේ ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සකස් වී ඇත්තේ දේශීය වෙදකමෙහි උපදේශන ද පදනම් කරගෙන ය. ඊට ආහාර වර්ග, කැඳ වර්ග හා ඖෂධීය පාන ඇතුළත් ය. ශ්‍රී ලංකාවට ද ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවත එන වෛද්‍ය ශාස්ත්‍රයක් තිබුණ ද අද එය භාවිතයට ගන්නේ නැත. එම වෛද්‍ය ශාස්ත්‍රයට අදාළ මූලාශ්‍ර ද විනාශ වී ගොසිනි. පවතින මූලාශ්‍ර හෝ සංරක්ෂණයට පියවරක් ගෙන නැත. මේවා අපේ අඩුපාඩු ලෙස සැලැකිය හැකි ය. අපේ යැයි කියන බොහෝ ‍ දේවල් දැන් ගැරහීමට ලක් වී ඇත.

ඕනෑම අවස්ථාවක් සඳහා ඉදිරිපත් කරනු ලබන ආහාර ප්‍රමිතියකින් ‍යුතුව පැවැතිය යුතුය. පුරාණ ගම්වල මිනිස්සු දානයක් සඳහා සති ගණනක සිට සූදානම් වූහ. ඔහුන් ඒවා අතිශය පිරිසුදුව නොඉඳුල්ව පූජා කළහ. අද දානමය පින්කම්වලට සහභාගී වන අයට එබඳු සූදානමක් නැත. එබඳු පරීක්ෂාවක් ද නැත. වෙසක් පොහොයට, පොසොන් පොහොයට දෙන දන්සල්වල ආහාර පරීක්ෂා කර බැලීමට සිදු වී ඇත. ඒවායින් ආහාර ගැනීම සම්බන්ධයෙන් උපදේශන පැවැත්වීමට ද සිදු වී ඇත. මේවායින් පෙනී යන්නේ සමාජය තුළ පවත්නා නොසැලකිල්ල යැයි කිව හැකි ය.

අම්පාර - වානගමුව ප්‍රදේශයේ බැතිමතුන් විශාල ප්‍රමාණයක් රෝගාතුර වූයේ ද දානය දුන් අයගේ නොසැලකිල්ල නිසා ය. මෙබඳු දානවලින් පවක් මිස පිනක් සිදු නොවේ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...