ඇමෙරිකාවෙන් සිරියාවට මිසයිල ප්‍රහාරයක්

සිරියාවේ ඉලක්ක වෙත අමෙරිකාව මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.

බී.බී.සී. ලෝක සේවය වාර්තා කළේ, අමෙරිකානු නාවික යාත්‍රාවක සිට සිරියානු ගුවන් හමුදා කඳවුරකට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව ය.

පෙන්ටගනය නිල වශයෙන් නිවේදනය කළේ, කෘෘස් මිසයිල 50ක් පමණ අදාළ ප්‍රදේශයට එල්ල කළ බව ය.

පසුගියදා සිවිල් වැසියන් රැසකට මරු කැඳවමින් එල්ල වූ රසායනික අවි ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම මිසයිල ප්‍රහාරය එල්ල කළ බව අමෙරිකාව පවසයි.

මේ අතර ප්‍රහාරයෙන් අනතුරුව අමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් පැවසුවේ, සිරියාවේ අනාගතය සම්බන්ධයෙන් එරට ජනපති බෂාර් අල් අසාද්ට තවදුරටත් කාර්යයභාරයක් නොමැති බව ය.

රෙක්ස් ටිලර්සන්ගේ එම ප්‍රකාශය සිරියාව සම්බන්ධයෙන් අමෙරිකානු නව පරිපාලනය ගෙන යන ප්‍රතිපත්තිය වෙනස් වී ඇති බවට වන ඉඟියක් යැයි විදෙස් වාර්තා සඳහන් කළේ ය.

මෙම මිසයිල ප්‍රහාරයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැති අතර, රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ට්‍රම්ප් පවසා සිටියේ සිරියානු යුද්ධය අවසන් කිරීමට සියලු ආකාරයේ සිවිල් රාජ්‍යයන් එක්විය යුතු බවයි.

සිරියාවේ, ඉඩ්ලිබ් ප්‍රාන්තයේ, ඛාන් ෂෙයික්හෝන් නගරය ඉලක්ක කරමින් සැකසහිත රසායනික අවියක් එල්ල කළ බවත්, එය සිරියානු විරුද්ධ සටන් කණ්ඩායම් වෙසෙන පළාතක් නිසා මෙය සිරියානු රාජ්‍ය විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් බවත් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර චෝදනා කළේය.

මෙම රසායනික ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුළු සාමාන්‍ය වැසියන් මිය ගිය බව පැවසුණු අතර, එහි විවිධ රූප රාමුද විදෙස් මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරිණි.

මෙම රූපවාහිනී සාකච්ඡාවේදී ට්‍රම්ප් විසින් සිරියානු නායකයා ඒකාධිපතියෙකු ලෙස හැඳින්වූ අතර, ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පවසා සිටියේ අසාද්ට සිරියාව පාලනය කිරීමේ කිසිදු ආකාර අයිතියක් නොමැති බවයි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...