බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ දී පල්ලේබෝවල ක්‍රීඩිකාවට කැපිල්ලක් | දිනමිණ

බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ දී පල්ලේබෝවල ක්‍රීඩිකාවට කැපිල්ලක්

ෆවුස් මොහොමඩ්

පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග ඉසව්ව නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සඳහා පැවැති තරගාවලියේ දී බාලිකා තරග ඉසව්ව ජයගත් පල්ලේබෝවල මහා විද්‍යාලයේ ක්‍රීඩිකාව නොසළකා හරිමින් බාලක තරග අංශය ජයගත් ක්‍රීඩකයක් දෙදෙනකු පමණක් පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලට යැවීමට ශ්‍රී ලංකා බොක්සිං සංගමය කටයුතු සූදානම් කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ රාජකීය විදුහල් බොක්සිං වළල්ලේ පසුගියදා පැවැති මේ තෝරාගැනීමේ තරගාවලියට කිලෝග්‍රෑම් 49, 52 සහ 56 බරපන්ති යටතේ බාලක තරග පවත්වා ඉන් දක්ෂතම ක්‍රීඩකයා ද, කිලෝග්‍රෑම් 48-51 බර පන්තිය යටතේ බාලිකා තරගය පවත්වා ඉන් දක්ෂතම ක්‍රීඩිකාව ද තෝරාගැනීමට නියමිතව තිබූ බව වාර්තා වෙයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 49 බර පන්තියෙන් තරග වැදුණු බාලක තරග අංශයෙන් පිලිමතලාව ධීරානන්ද විදුහලේ සංජය බණ්ඩාර සමස්ත තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වූ අතර බාලිකා තරග ඉසව්වේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස පල්ලේබෝවල මහා විද්‍යාලයේ එරංගා ප්‍රියදර්ශනී පත්වූවාය. එසේවුවත් බාලක කිලෝග්‍රෑම් 52 සහ 56 බරපන්තිවලින් කොළඹ රාජකීය විදුහලේ ක්‍රීඩකයන් දෙදෙනකු ජයගෙන සිටි බැවින් එහිදී ඇතිවූ විරෝධයක් මත බාලිකා තරග ඉසව්ව ජයගත් ක්‍රීඩිකාව දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නම් නොකොට තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස ඔවුන් සිවුදෙනාම නම් කිරීමට තේරීම් භාරව සිටි නිලධාරීන් කටයුතු කොට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

එලෙස ලැයිස්තුගත කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර පළමු ස්ථානය පිළිමතලාව ධීරානන්ද විදුහලේ ක්‍රීඩකයාට හිමිවී තිබූ අතර දෙවැනි ස්ථානයට රාජකීය විදුහලේ ක්‍රීඩකයකු නම් කොට තිබිණි. එහෙත් බාලිකා අංශය ජයගත් පල්ලේබෝවල මහා විද්‍යාලයේ ක්‍රීඩිකාවට ලබා දී ඇත්තේ තුන්වැනි ස්ථානයයි. එහි සිවුවැනි ස්ථානයට පත්වී සිටින්නේ ද රාජකීය විදුහලේ ක්‍රීඩකයෙකි. මේ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලට ක්‍රීඩිකාවක් ඉදිරිපත් නොකොට ක්‍රීඩකයන් දෙදෙනකු පමණක් ඉදිරිපත් කිරිමේ සැලසුමක් ඇතැයි ආරංචි මාර්ග පවසයි.

හඟුරන්කෙත කලාපයේ ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරමින් බොක්සිං ක්‍රීඩාවෙන් ජාතික තලයට පැමිණි මෙවැනි ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර කීර්තියක් ශ්‍රී ලංකාවට හිමිකර දීමට ඇති අවස්ථා අහිමිකිරිමට නිලධාරීන් ගන්නා අත්තනෝමතික ක්‍රියා පිළිවෙත් ක්‍රීඩාව පිරිහීමට කරුණක් වී ඇතැයි බොක්සිං ක්‍රීඩා කේෂ්ත්‍රයේ ප්‍රවීණයෝ පවසති.

මේ පිළිබඳ බොක්සිං සංගමයේ ලේකම් මහේෂ් දහනායක මහතාගෙන් ‘දිනමිණ’ කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කළේ පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව ප්‍රමාණය ගැන මෙතෙක් අවසන් තීරණයකට එළැඹ නොමැති බවය. කෙසේවුවත් ජාතික ඔලිම්පික් කමිටුවට ඉහත සඳහන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ලැයිස්තුව ඉදිරිපත් කොට සිවුදෙනාටම පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ අවස්ථාව ලබාදීම තම සංගමයේ අරමුණ වී ඇතැයි ද ඔහු කීවේය. එමෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ලැයිස්තුව බොක්සිං විධායක කමිටුවට ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගැනීමෙන් පසුව එය ජාතික ඔලිම්පික් කමිටුවට ඉදිරිපත් කරන බවත්, ජාතික ඔලිම්පික් කමිටුවේ තීරණයට අනුව අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගන්නා බවත් ඔහු කීවේය. මේ සම්බන්ධව අවසන් තීන්දුව ජාතික ඔලිම්පික් කමිටුව විසින් ගනු ඇතැයි ද ඔහු පැවැසීය.

ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගෙන් කළ අප විමසුමකදී ඔහු සඳහන් කළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමේ දී ජාත්‍යන්තර නිර්නායකයට අනුව දෙපාර්ශවයටම සමානතාව (GENDER EQUALITY) හිමිවිය යුතු බවය. එමෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම ක්‍රීඩකයකුගෙන් හා ක්‍රීඩිකාවකගෙන් සමන්විත විය යුතු බව ඔහු පැවසීය. පල්ලේබෝවල මහා විද්‍යාලයේ ක්‍රීඩිකාවට එවැනි අගතියක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා සාධාරණත්වය ඉටු කරන බව මැක්ස්වෙල් ද සිල්වා මහතා කියා සිටියේය. 

අදහස් 3ක් ඇත

කරුණාකර සෑම දරුවෙකුටම සමාන අවස්තාවක් ලබා දෙන්න. කුඩා පාසල්වල ළමුන්ට සිය දක්ෂතාවයට අවස්තාවක් ලබා නොදෙන්ට තරම් නිළදරීන් අනුවන කම් කරයි නම් එය රටටම කරන අපරාධයක් නොවේද? කරුණාකරකර තවත් සුසන්තිකා කෙනෙකු බිහි වන්නට අවස්තාවක් ලබා දෙන්න.

කරුණාකර සෑම දරුවෙකුටම සමාන අවස්තාවක් ලබා දෙන්න. කුඩා පාසල්වල ළමුන්ට සිය දක්ෂතාවයට අවස්තාවක් ලබා නොදෙන්ට තරම් නිළදරීන් අනුවන කම් කරයි නම් එය රටටම කරන අපරාධයක් නොවේද? කරුණාකරකර තවත් සුසන්තිකා කෙනෙකු බිහි වන්නට අවස්තාවක් ලබා දෙන්න.

ක්‍රීඩකයෙක් සමග ක්‍රීඩිකාවක් තෝරාගෑනීම තුලින් ක්‍රීඩාවේ සමබරතාවයද ශ්‍රී ලංකාවේ කාන්තා බොක්සිං ක්‍රීඩාවද රැකගැනීමට හැකිවේවි.එමෙන්ම දකුණු ආසියාවේ කාන්තාවන්ගේ දරාගැනීමේ හැකියාව අතින් ශ්‍රී ලංකාවට ප්‍රමුඛ තැනක් ස්වාභාවයෙන්ම හිමිව ඇත.එබැව්න් හඟුරන්කෙත නගරයේ දුෂ්කර ගම්මානයක් වන පල්ලේබෝවල ප්‍රදේශයේ පල්ලෙබෝවල මහ විදුහලේ එරංගා ප්‍රියදර්ශනී ක්‍රීඩිකාවට පදක්කමක් දිනාගැනීමේ අවස්තාව වැඩිවේ. තවද ඇයට දරා ගැනීමේ හැකියාව සහ ශක්තිය උපතින්ම උරුමව ඇත.මෙම ක්‍රීඩිකාව කෙසේ හෝ මේ තරගාවලියට සහභාගී කළ යුතුයි.ඇයගේ පුහුණුකරු ජමිත ගයාන් මහතාගේ කැපවීමෙන් පල්ලෙබෝවල මහ විදුහල මෙම ජාතික තලයට ඔසවා තැබීම පිළිබදව අගය කලයුතුය.පොලව යට ඇති මිණිකැට ඔපදමා වටිනාකමක් එකතුකලාසේ 2014 වසරේ සිට වසර තුනක් වැනි කෙටිකලකින් බොක්සිං ක්‍රීඩාව ජාතික මට්ටමට රැගෙන ගිය පාසල් ගුරුවරයෙකු මා මීට පෙරාතුව ශ්‍රී ලංකාව දැක නැත.

නව අදහස දක්වන්න